විස්සේ එකඟ වෙන්න බැරි කරුණු තියෙනවා : ව්‍යවස්ථාව ගෝඨාභයට නෙවෙයි පුරවැසියන්ටයි - ගෙවිඳු කුමාරතුංග

විස්සේ එකඟ වෙන්න බැරි කරුණු තියෙනවා : ව්‍යවස්ථාව ගෝඨාභයට නෙවෙයි පුරවැසියන්ටයි - ගෙවිඳු කුමාරතුංග

මේ වන විට ඉදිරිපත් කර ඇති 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට මෙතෙක් පැහැදිලි කිරීමක් කර නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිදු කුමාරතුංග මහතා පැවසීය.

එමෙන්ම මේ වනවිට ගැසට් මගින් ප්‍රකාශයට පත්කර තිබෙන විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ එකඟවිය නොහැකි කරුණු කිහිපයක්ම තිබෙන බවද ඔහු Medialk.com සමග අදහස් දක්වමින් හෙතෙම සඳහන් කළේය.

“20 වැනි සංශෝධනය සම්බන්ධයෙන් ඉතාම සරලව කියනවා නම් එමගින් ඇමතිවරුන් පත්කිරීමේ සීමාව ඉවත් කර තිබෙනවා. නමුත් ඇමතිවරුන් පත්කිරීම සම්බන්ධ සීමාව ඉවත් කිරීම සුදුසු නැහැ. සමානුපාතික ඡන්ද ක්‍රමය තුළ අස්ථාවර රජයක් පත්වෙන්නේ. මේ අස්ථාවර රජයන්ට විවිධ පාර්ශ්ව කොන්දේසි එකතු කරලා පෞද්ගලික වරදාන වෙනුවෙන්, ජාතිවාදී ආගම්වාදී වෙනුවෙන් රට අස්ථාවර තැන්වලට යොමුකිරීම සිදුවුණා. මේ තුළ අපේ රටේ ජනතාවට දේශපාලනය එපා වෙන තැනට පත්කරන්න දේශපාලනඥයෝ කටයුතු කළා. පක්ෂ මාරුකිරීම් සිදුවුණා, කුඩා පක්ෂ තනතුරු ලබාගෙන විශාල ජනමතයක් ලබාගත්තු පාර්ශ්වයන් මෙහෙයවන්න ගියා. කප්පම් දේශපාලනය කියලා හැඳින්වුණේ මේ දෙය. එය අපේ රටේ ජනතාව පිළිකුල් කළ ක්‍රියාවක්. කප්පම් දේශපාලනයේ යෙදීමට ඇමති තනතුරු කියනදේ විශේෂයෙන්ම හේතු සාධකයක් වුණා. මට මතක විදිහට එක්තරා අවස්ථාවක 2010ට පෙර ආණ්ඩු පක්ෂයේ ඉන්න සියලුදෙනාට කැබිනට් ඇමතිකම් හෝ නියෝජ්‍ය ඇමතිකම් ලැබුණා. එය ඉතාම පිළිකුල් සහගත තත්ත්වයක්. මේ තත්ත්වය තුළ තමයි කැබිනට් ඇමතිකම් සඳහා සීමාවක් ඇතිවිය යුතු බවට ජනතාවගෙන් යොජනාවක් ආවේ.

පසුගිය රජය ක්‍රියාවට නැඟුවේ ඒ ජනතා මතය. නමුත් ඔවුනුත් එයට වංචා කළා. 19 වැනි සංශෝධනය යටතේ ඇමතිකම් සීමා කළත් ජාතික රජයක් යටතේ ඇමතිකම් වැඩිකරගත හැකි බව සඳහන් කරමින් ඔවුන් අමාත්‍යධුර සංඛ්‍යාව වැඩිකර ගත්තා. ඒ අනුව ඇමතිවරු 50ක් පමණ වන තුරු වැඩි වුණා. ප්‍රජතන්ත්‍රවාදය විහිළුවක් වන ආකාරය තමයි පසුගිය රජය පවත්වාගෙන ගියේ. ජනතාවගේ ඡන්ද බලය හාස්‍යයට ලක්වීමක් තමයි එතැනදී සිදුවුණේ. ජනතාව ප්‍රතික්ෂේප කරපු අයව ජාතික ලැයිස්තුවෙන් පත්කරලා, ඔවුන්ට ඇමති ධුර දීලා මුළු ප්‍රජාතන්ත්‍රවාදයම විහිළුවකට ලක් කළා. ගෝඨාභය ජනාධිපතිතුමාට දුන්නු ජනවරම පිටුපස තිබෙන්නේ මේ තත්ත්වය නිවැරදි කිරීමේ අභිලාසයයි. එතුමා මේ වනතුරු ඇමතිවරුන්ගේ සීමාව රැකලා තිබෙනවා. ඇමතිවරුන්ගේ සීමාව ඉවත් කරන්න රජයට තිබෙන උවමනාව මොකද්ද? ඇමතිවරුන් වැඩිකිරීම ප්‍රජතන්ත්‍රවාදයේ ලක්ෂණයක් වත්, රටේ යහපත සඳහා හේතු වන දෙයක්වත් නෙවෙයි. ව්‍යවස්ථාව සංශෝධනය කරන්නේ ගෝඨාභය ජනාධිපතිතුමා වෙනුවෙන් නෙවෙයි. රට වෙනුවෙන්. ගෝඨාභය ජනාධිපතිතුමාගෙන් පසුව කවුරු ජනාධිපති වෙයිද කියලා අපි දන්නේ නැහැ. ඉතිං කප්පම් දේශපාලනයේ පවතින වරදාන දීමේ ක්‍රමයට ඇයි අපි දොරටු විවෘත කරන්නේ. එවැනි පරිහානිමය දෙයකට අපේ රජය දොරටු විවෘත කරන්නේ ඇයි. ඒ නිසා මෙය නිවැරදි විය යුතුයි කියලා මම හිතනවා.

ඒ වගේම හදිසි පනත් හැටියට විවිධ පනත් ඉදිරිපත් කිරීමේ හැකියාව 20 වැනි සංශෝධනයෙන් ලබාදී තිබෙනවා. ජනාධිපතිතුමාට විශාල උවමනාවක් තිබෙනවා රට මේ තිබෙන තැනින් නිවැරදි කරන්න. ඒ නිසා වෙන්න පුළුවන් මේ වගන්තිය ඇතුළත් කර තිබෙන්නේ. නමුත් පහුගිය රජය ඉදිරිපත් කළ විවිධාකාර අණපනත් වල රටට හානිකර දේවල් ඇතුළත් වුණාම ග්‍රේෂ්ඨාධිකරණයට ගිහින් එම අණපනත්වල නිවැරදිභාවය ප්‍රශ්න කරන්න පුරවැසියාට ලැබිලා තිබණ අවස්ථාව බොහෝ සංවිධාන, පුද්ගලයෝ රටේ අයිතිය වෙනුවෙන් භාවිත කළා. එවැනි අයිතියක් ජනතාවට අහිමි කිරීම කුමන අර්ථයෙන් ගත්තත් සුදුසුයිද කියලා ආණ්ඩුව හිතලා බැලිය යුතුයි. ව්‍යවස්ථාව සංශෝධනය කරන්නේ ගෝඨාභය ජනාධිපතිතුමා වෙනුවෙන් නෙවෙයිනේ. ව්‍යවස්ථාවක් සැදිය යුත්තේ රටේ පුරවැසියන් වෙනුවෙන්.

ප්‍රශ්නය : 20 වැනි සංශෝධනයේ ඉදිරිපත් කර තිබෙන කරුණු අතරින් ඔබ එකගවන කරුණු මොනවාද?

පිළිතුර : 20 වැනි සංශෝධනය තුළ එකඟවෙන්න පුළුවන් කරුණු තිබෙනවා. උදාහරණයකට පාර්ලිමේන්තුව වසරකට පසුව විසුරුවන්න පුළුවන් බලය ජනාධිපතිතුමාට ලබාදෙන එක හොඳයි. මොකද ජනාධිපතිතුමාට දීලා තිබුණ ඒ බලය 19 වැනි සංශෝධනයෙන් ඉවත් කළා. පසුගිය පාර්ලිමේන්තුව දිහා බැලුවත්, එහි මාස දෙකක් ගතවෙන්නත් පෙරදිම බැඳුම්කර වංචාවක් සිදුවුණා. නැවත මාස 06 කින් යළිත් බැඳුම්කර වංචාවක් සිදුවුණා. මේ ආකාරයට පාර්ලිමේන්තුව දිගටම කටයුතු කළොත් එහෙම මැදිහත් වෙන්න පුළුවන් කාටද? ග්‍රේෂ්ඨාධිකරණයට බැහැ පාර්ලිමේන්තුව විසුරුවන්න. ජනාධිපතිතුමාට පාර්ලිමේන්තුව විසුරුවන්න තියෙන බලය ඉවත් කළ විට එයට මැදිහත් වෙන්න පුළුවන් කාටද? 19ට අනුව වසර හතර හමාරක් යනතුරු පාර්ලිමේන්තුව විසුරුවන්න කාටවත් මැදිහත්වෙන්න බැහැ. මම හිතන විදිහට එය නිවැරදි විය යුතුව තිබුණු දෙයක්. ඒත් එක්කම 20 වැනි සංශෝධනය ගැන තවම රජයෙන් හරිහැටි කරුණු පැහැදිලි කිරීමක් කෙරුණේ නැහැ. ඒ වගේම 20 වැනි සංශෝධනයේ ගැටලු තිබෙනවා නම් ඒවා ඉදිරිපත්කරන්න කියලා කෙහෙලිය ඇමතිතුමා කියලා තිබුණා.

ප්‍රශ්නය : කොමිසම ඉවත් කිරීම, ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වීමට ඉඩ සැලසීම සම්බන්ධයෙන් නීති වෙනස් කිරීම පිළිබඳ ඔබේ මතය කුමක්ද?

පිළිතුර : විගණන කොමිසම පමණක් නොවෙයි, සමස්ත කොමිෂන් සභා ගැනම අපේ මතය රටට කියලා තියෙනවා. පසුගිය රජය කොමිෂන් සභා කියන සංකල්පය දූෂණය කළා.  ඔවුන් බලය සඳහා සමස්ත සංකල්ප පද්ධතියම විනාශ කළා. මේ නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සහ කොමිෂන් සභා අහෝසි කරනවා වෙනුවට නිවැරදි කිරීමයි කළ යුතුව තිබුණේ. 19වැනි සංශෝධනය  මගින් ජනාධිපතිතුමාව සම්පූර්ණයෙන්ම බල රහිත කරලයි තිබුණේ. නමුත් 20 වැනි සංශෝධනය මගින් යෝජනා කරන්නේ ජනාධිපතිතුමා සම්පූර්ණයෙන්ම බලවත් කිරීමක්. සිදුවිය යුත්තේ මේ දෙක අතරමැදි තැනක් විදිහටයි මම දකින්නේ.

ද්විත්ව පුරවැසිකම ගැන මට වෙනස් මතයක් තිබෙන්නේ. බැසිල් රාජපක්ෂ මහත්මයාගේ ද්විත්ව පුරවැසිභාවය හා සම්බන්ධ කර ගනිමිනුයි මේ කථිකාව ගොඩනැගී තිබෙන්නේ. මම හිතන විදිහට ඒක අවාසනාවන්ත තත්ත්වයක්. 2015දී මහින්ද රාජපක්ෂ රජය පරාජය වෙලා ඔහු ඇමරිකාවට ගියාට පසුව ඔහුට එරෙහිව විවිධ අධිකරණ ක්‍රියාමාර්ග ගත්තා. ඒවාට මුහුණ දීමට එතුමා ලංකාවට ආවා. ද්විත්ව පුරවැසිකමේ ආරක්ෂාව ලබන්නේ නැතිව එතුමා ලංකාවට ඇවිත් හොඳ ආදර්ශයක් දුන්නා. ලංකාවේ ඕනෑම ද්විත්ව පුරවැසියෙක් ඒ ආකාරයට කටයුතු කරනවා නම් මේ නීතිය අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. ද්විත්ව පුරවැසියෙක් වූ විට ලංකාවේ අධිකරණය මඟහැරීමට එය යොදාගන්න පුළුවන්. කොහොම උනත් පාර්ලිමේන්තුවට තේරී පත්වෙන්නේ 225යි. ඒ නිසා කවුරුන් හෝ රටට සේවය කරන්න බලාපොරොත්තු වෙනවා නම් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා දුන්න ආදර්ශය අනුගමනය කරලා වෙනත් රටවලට තිබෙන බැඳියාවෙන් ඉවත්වෙලා මවුබිමට සේවය කරන්න පුළුවන්. එය එසේ විය යුතුයි.

ඒ වගේම 13 වැනි සංශෝධනය මගින් ඇති කරපු වගන්තිවලත් හානිකර වගන්ති කිහිපයක්ම තිබෙනවා. පළාත් සභාවලට වෙන වෙනම නීති සම්පාදනය කරන්න පුළුවන්. පාර්ලිමේන්තුවට අමතරව වෙන වෙනම නීති සම්පාදනය කරන ආයතන 09ක් අපේ රටේ තිබෙනවා නම් අපි කොහොමද එක රටක එක නීතියක් කියන ජනතා පැතුම ඉෂ්ට කරන්නේ. 13 වැනි සංශෝධනය මගින් පළාත් සභාවක අවසරයකින් තොරව රජයේ ඉඩමක් සංවර්ධන කටයුතු සඳහා යෙදවීමේ බලය ජනාධිපතිවරයාට අහිමි කරලා තියෙන්නේ. මේ නිසා 20 වැනි සංශෝධනයෙන් 19 දේවල් පමණක් නිවැරදි කරන්න කියලා නියමයක් නැහැනේ. අපි  19 වැරදි ඉක්මණින් නිවැරදි කරන්න 20 ගේනවා නම් ඒ හා සමානවම 13 වැනි සංශෝධනයේ තියෙන වැරදි සංශෝධනය කරලා 20ට ඇතුල් කරන්න පුළුවන්. මේ සම්බන්ධයෙනුත් රජය ගැඹුරින් කල්පනා කළයුතු වෙනවා. ඒ වගේම අපේක්ෂකයන්ට වැඩියෙන් වියදම් කරන්න වෙන කප්පම් දේශපාලනයට යොමුවෙන අස්ථාවර ආණ්ඩු බිහිවෙන මේ ඡන්ද ක්‍රමය වෙනස් කළයුතු බවට පක්ෂ විපක්ෂ බොහෝ දෙනෙකුගේ අදහස වී තිබෙනවා. මේ දේවල් එකිනෙකට බැඳිලා තියෙන්නේ. මේ වැරදි නිවැරදි කරන්නේ ගෝඨාභය ජනාධිපතිතුමාට ජනවරමක් දුන්නේ. ඒ නිසා ඒවා නිවැරදි කරන්න නොපමාව මැදිහත්වීම අපේ ආණ්ඩුවේ වගකීම කියලා මම හිතනවා.

 

Share