ප්‍රසූත නිවාඩු ගැටළුව : උපාධිධාරීන්ට දුන්නේ පත්වීමක් නෙමෙයි - ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල්

නිලුක සදුන් | Author . Translate to English or தமிழ் 9/7/2020 3:59:00 PM
ප්‍රසූත නිවාඩු ගැටළුව : උපාධිධාරීන්ට දුන්නේ පත්වීමක් නෙමෙයි - ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල්

නව රැකියා පත්වීම් ලද උපාධිධාරීනියන්ගේ ප්‍රසූත නිවාඩු කප්පාදු කිරීම සම්බන්ධයෙන් ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානයේ ලේකම් ධම්මික මුණසිංහ මහතා අද (07) මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් භාර දුන්නේය.

සැප්තැම්බර් 02 වැනිදා රැකියා පත්වීම් ලද උපාධිධාරීනියන්ට දින 84ක් ලබාදිය යුතු ප්‍රසූත නිවාඩු දින සංඛ්‍යාව 42ක් දක්වා මෙලෙස අඩු කර ඇතැයි එම පැමිණිල්ලේ දැක්වෙයි.

අනෙකුත් රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවිකාවන්ට ප්‍රසූත නිවාඩු වැඩකරන දින 84 ක් ලබා දෙන බවත් නව අභ්‍යාසලාභිනියන් සඳහා ලබාදෙන දින 42ක ප්‍රසූත නිවාඩු ප්‍රමාණවත් නොවන බවත් එම පැමිණිල්ලේ සඳහන් වෙයි.

දින 42 වෙනුවට සම්පූර්ණ ප්‍රසූත නිවාඩු දින ගණන ලබාදෙන ලෙසට අදාළ අමාත්‍යාංශයට නිර්දේශ කරන ලෙස ද එම පැමිණිල්ලෙන් ඉල්ලා තිබේ.

රජය විසින් පසුගියදා ලබාදුන් පත්වීම් 51000න් 39000 දෙනකුම කාන්තාවන් බව ද එහි සඳහන් වෙයි.

රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ රත්නසිරි මහතා වගඋත්තරකරුවකු ලෙස නම් කර තිබේ.

මේ සම්බන්ධයෙන් රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ රත්නසිරි මහතාගෙන් කළ විමසීමකදී පැවසූවේ මේ ගැන ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල් ජනරාල්වරයාගෙන් විමසන ලෙසයි.

ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල් ආලෝකබණ්ඩාර මහතා පැවසූවේ එලෙස ලබාදී ඇත්තේ පත්වීමක් නොව වසරක පුහුණු කාලයක් පමණක් බවයි. 

ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානය මේ පිළිබඳ රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයට ලිපියක් මගින් ඉල්ලීමක් කර තිබිණි.

එම ලිපිය පහත දැක්වෙයි.

ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානයේ අදහස

"සැප්තැම්බර් 02 වැනිදා පත්වීම් උපාධිධාරීන් 51000කට පත්වීම් දුන්නා. වසර ගණනාවක අඛන්ඩ අරගලයක ප්‍රතිඵලයක් විදියට තමයි මේ පත්වීම් ලැබුණේ.

ජනපති අගමැති බලයට ආවේ අප්පච්චි කියලා. යන එන තැන්වල දරුවෝ වඩාගත්තා බදාගත්තා. හැබැයි දැන් මොකද කරන්නේ එයාලා. දරුවන්ට අම්මත් එක්ක ඉන්න කාලය අඩු කරලා. ප්‍රසූත නිවාඩු සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ පිළිගත් ක්‍රමවේදය මාස හයක්. 

මාස හයක් නිවාඩු ලබාදෙන්නේ දරුවාට මව්කිරි ලබාදෙන්නයි දරුවාට අම්මා ළඟ ඉන්නයි. මාස හයක් වගේ කාලයක් දෙන්නේ ඒකයි. වැඩ කරන දින 84ක් දෙන්නේ ඒකයි. ආණ්ඩුවට අවධාරණය කරනවා වැඩ කරන දින 84ක් ලබාදෙන්න කියලා. මේවාට පිළිතුරු ලැබුණේ නැත්තම් විරෝධතා ව්‍යාපාරයක් දියත් කරනවා." යැයි ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානයේ ලේකම් ධම්මික මුණසිංහ මහතා Medialk.com වෙත පැවසීය.

අමාත්‍යාංශයේ ප්‍රතිචාරය

ප්‍රසූත නිවාඩු කප්පාදු කිරීම සම්බන්ධයෙන් කළ විමසීමකදී ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසූවේ එලෙස ලබාදී ඇත්තේ පත්වීමක් නොව වසරක පුහුණු කාලයක් පමණක් බවයි. 

එම පුහුණු කාලයට අදාළව පමණක් මෙම ප්‍රසූත නිවාඩු සංඛ්‍යාව ලබාදී ඇතැයි ද එය ලබාදී ඇත්තේ අදාළ චක්‍රලේඛ අනුව බවද ඒ මහතා සඳහන් කළේය.

එම පුහුණුව ලබන පෙබරවාරි තෙක් පැවැත්වෙන බවත් ඉන්පසු එම පුහුණුව සම්පූර්ණ කරන අයට පමණක් පත්වීම් ලබා දෙන බවත් ඔහු අවධාරණය කළේය.

පුහුණුවීම් සඳහා සහභාගි වීම අවශ්‍ය හෙයින් දින 42ක පමණක් ප්‍රසූත කාලයක් ලබාදී ඇතැයි ඔහු පෙන්වා දුන්නේය.

Share