විස්සට එරෙහිව අපි උසාවි යන්නෙ නෑ - විජිත හේරත්

විස්සට එරෙහිව අපි උසාවි යන්නෙ නෑ - විජිත හේරත්

20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට යෑම සම්බන්ධයෙන් මැදිහත් වීමට  බලාපොරොත්තුවක් නැති බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පැවසීය.

ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් බැලීමට ඇත්තේ මෙම කෙටුම්පත ව්‍යවස්ථාවට පටහැනිද යන්න බවත් තමන් විශ්වාස කරන ආකාරයට මෙය නීතියෙන් විසඳගත යුතු දෙයක් නොවන බවත්
ඒ මහතා සඳහන් කළේය.

යම් යම් පාර්ශ්ව ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට යනු ඇතැයිද එතැනදි ව්‍යවස්ථානුකූලභාවය තීරණය වනු ඇතැයි ද විජිත හේරත් මහතා සඳහන් කළේය.

මෙම කෙටුම්පත සම්මත කරගැනීමට ජනමත විචාරණයක් අවශ්‍ය නැති බවටත් පාර්ලිමේන්තුවෙ තුනෙන් දෙකක ඡන්දයෙන් එය සම්මත කරගත හැකි බවටත් නීතිපතිවරයා දැනටමත් ප්‍රකාශ කර ඇති බැවින් ශ්‍රේෂ්ඨාධිකරණයට යාමට බලාපොරොත්තු නොවන බව ඒ මහතා කීවේය.

ඒ මහතා මේ බව පැවසූවේ medialk.com සමග කළ සම්මුඛ සාකච්ඡාවකදීය.

එම සම්පූර්ණ සම්මුඛ සාකච්ඡාව පහත දැක්වෙයි.

ප්‍රශ්නය : විසිවැනි ව්‍යවස්ථා සංශෝධනය ගැන මොකක්ද දැනෙන්නෙ ?

පිළිතුර : මේක රටේ ප්‍රජාතන්ත්‍රවාදයට මරු පහරක්. ප්‍රජාතන්ත්‍රවාදය ආපස්සට යෑමක්. ජේ.ආර්ගෙ ව්‍යවස්ථාවෙ නැවත ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කිරීමේ උත්සාහයක්. මේ තියෙන්නෙ ඒකාධිපති ගමනක ආරම්භයක්. දහනව වැනි සංශෝධනයේ තිබුණු ජනාධිපති ධුර කාලය අවුරුදු පහක් වීම, දෙවරක් පමණක් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සහ තොරතුරු දැනගැනීමේ අයිතිය වගේ කරුණු හැර අනෙක් සියල්ල මේ කෙටුම්පතින් ඩෝසර් කරලා තියෙන්නෙ.
 
ස්වාධීන කොමිෂන් සභා ක්‍රියාත්මක වීම මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ ඉදිරි පිම්මක්. මැතිවරණ කොමිසම ක්‍රියාත්මක වුණු නිසා තමයි, පසුගිය මැතිවරණ ඉතිහාසයේ පවත්වපු සමහර මැතිවරණවලට සාපේක්ෂව සාධාරණව සහ මැතිවරණ නීතිවලට අනුකූලව පැවැත්වුණෙ. වෙඩිතබාගැනීම්, මිනීමැරුම් සිදුවුණේ නැහැ. ඉස්සරහට නැවත ඒ තත්ත්වය එන්නෙ නැහැ. ජනාධිපතිවරයා තමයි, මේ කොමිෂන්වලට සාමාජිකයන් පත්කරන්නෙ. එවැනි පත්කිරීම් කියන්නෙ සම්පූර්ණයෙන් පාක්ෂිකයි. ඒ කියන්නෙ සියල්ල සිද්ධවෙන්න නියමිත ජනාධිපතිට ඕනෙ විදිහට.

ප්‍රශ්නය : මේ ව්‍යවස්ථා කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට යනවද, මොකක්ද ඔබ නියෝජනය කරන දේශපාලන කඳවුරේ තීරණය ...?

පිළිතුර : ශ්‍රේෂ්ඨාධිකරණයෙන් බලන්න තියෙන්නෙ මේ කෙටුම්පත ව්‍යවස්ථාවට පටහැනිද කියන එක. අපි විශ්වාස කරන විදිහට මේක නීතියෙන් විසඳගන්න ඕනෙ එකක් නෙමෙයි. පාර්ලිමේන්තුවෙ තුනෙන් දෙකේ බලයකුත් ඒගොල්ලොන්ට තියෙනවා. ඒ බලය පාවිච්චි කරලා මේක සම්මත කරන්න පුළුවන්. ජනතාවත් එක්ක කරන සටනක් ඉදිරියට තියෙන්නෙ. යම් යම් පාර්ශ්ව ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට යයි. එතැනදි ව්‍යවස්ථානුකූලභාවය තීරණය වෙයි. නීතිපතිවරයා දැනටමත් කියලා තියෙනවා, මේ කෙටුම්පත සම්මත කරගන්න ජනමත විචාරණයක් අවශ්‍ය නෑ, පාර්ලිමේන්තුවෙ තුනෙන් දෙකෙන් පුළුවන් කියලා. ඒ නිසා ශ්‍රේෂ්ඨාධිකරණයට යෑම සම්බන්ධයෙන් මැදිහත් වෙන්න අපේ බලාපොරොත්තුවක් නෑ. ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන්, ප්‍රජාතන්ත්‍රවාදය දිනාගැනීම වෙනුවෙන් අපේ සටන තියෙන්නෙ ජනතාවත් එක්ක. ඒක අපි ශක්තිමත්ව ඉදිරියට ගෙනියනවා.

ප්‍රශ්නය : ගෝඨාභය රාජපක්ෂ පාර්ශ්වය මැතිවරණ කාලෙදිත් කිව්වා, 19 වැනි සංශෝධනය අහෝසි කරන බව. රටේ ජනතාවගෙන් අති බහුතරය ඒක අනුමත කරලා, ඔවුන්ට ශක්තිමත් බලයක් දීලා තියෙන නිසා මේ කරන්නෙ ජනතා අරමුණු ඉෂ්ඨ කිරීම කියලා අදහසක් තියෙනවා. ඒ සම්බන්ධයෙන් අදහස ?

පිළිතුර : ඇත්තටම මේ ඉෂ්ඨවෙන්නෙ ජනතාවගෙ අභිලාෂය නෙමෙයි. මේ ඉෂ්ඨවෙන්නෙ රාජපක්ෂලාගෙ අභිලාෂය. ජනතාව ඡන්දෙ දුන්නෙ පහුගිය පාලනය එපා වෙලා, ඒකෙන් බැටකාලා, හෙම්බත් වෙලා හිටපු නිසා. රට අස්ථාවර වුණා, රට අරාජික වුණා, ආර්ථික වශයෙන් කඩාගෙන වැටුණා. ඒ නිසයි ලොකු ජනවරමක් දුන්නෙ. ජනතාව බලාපාරොත්තු වුණේ රටේ ආර්ථිකය ශක්තිමත් කරලා, ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරයි කියලා. නමුත් මේ කරන්නෙ ඒක නෙමෙයි. ඒ අරමුණ ඉටුකිරීම නෙමෙයි. බලය පවත්වාගෙන යෑම සඳහා ව්‍යවස්ථාව වෙනස් කරන එක. දෙදාස් දහයෙත් මහින්ද රාජපක්ෂ කළේ ඕකමයි. ඡන්දෙ දිනපු ගමන්, ඉක්මනට දහඅට වැනි සංශෝධනය ගෙනාවා. අලුතින් පත්වුණු මන්ත්‍රීවරු හයක්-හතරක් දන්නෙ නෑ, මේවට අත උස්සනවා. හැබැයි ඒගොල්ලොන්ට බැටකන කොට තමයි තේරෙන්නෙ. ගිය පාරත් එහෙම වුණා, බැට කනකොට ජාතියෙන් සමාව ඉල්ලුවා, අපිට වැරදුණා කියලා. 
ජනතාවත් මේ වෙලාවෙ මේකෙ ඇත්ත තත්ත්වය හරියටම තේරුම්ගන්නෙ නෑ. ඔටුන්න පැළැන්දුවෙ තමන්ගෙ හිස ගසාගෙන කියලා ජනතාවට තවම තේරෙන්නෙ නෑ. ඒක තේරෙන්නෙ විරැකියාවට, අධ්‍යාපනය, සෞඛ්‍ය වගේ අයිතිවාසිකම් අහිමිකිරීම්වලට එරෙහිව සටන් වදින්න වෙනකොට. ඒවා පොඩිපට්ටම් වෙනකොට. නමුත් එතකොට ප්‍රමාද වැඩියි.

ප්‍රශ්නය : ආණ්ඩුව පැත්තකට කළහම, විපක්ෂයේ දේශපාලන පක්ෂ රැසක් තියෙනවා. මෙතැනදි ජාතික ජන බලවේගය ඔවුන් එක්ක පොදු සටනකට යනවද, විශේෂයෙන්ම සමගි ජන බලවේගය සහ දෙමළ ජාතික සන්ධානය මෙතැනදි තීරණාත්මකයි නේද ?

පිළිතුර : ජාතික ජන බලවේගය මේ රටේ ජනතාවත් එක්ක පොදු සටනකට තමයි යන්නෙ. එක්සත් ජාතික පක්ෂය හෝ ඒකෙන් කැඩුණු කොටස් එක්ක එකතු වෙලා සටනක් කරන්න බෑ. දෙමළ ජාතික සන්ධානය සම්බන්ධයෙනුත් විශ්වාසයක් තියන්න බෑ. නමුත් ජනතාවත් එක්ක අපි ශක්තිමත් සටනක් කරනවා. කෙහොම වුණත් රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් අපිට විවිධ බලවේග එක්ක අවස්ථානුකූලව පොදු සටන් කරන්න වෙයි. ඒ වගේ තැන්වලදි ප්‍රතිපත්තිමය වවශයෙන් බරපතළ වෙනස්කම් තිබුණත්, ප්‍රජාතන්ත්‍රවාදය දිනාගැනීම සඳහා එකතු කරගත හැකි සියලුදෙනා එක්ක එකතු වෙලා සටන් කරන්න සූදානම්.

 

Share