ඉන්ධන කාන්දු වුවහොත් බලපෑම වසර 25ක් යනතුරු

ඉන්ධන කාන්දු වුවහොත් බලපෑම වසර 25ක් යනතුරු

නැගෙනහිර මුහුදේ ගිනි ගැනීමට ලක්ව ඇති “MT Diamond“ නෞකාවෙන් ඉන්ධන කාන්දු වීමක් සිදු වුවහොත් එහි බලපෑම වසර 25කට වැඩි කාලයක් පැවතිය හැකි බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සඳහන් කරයි.

මේ හේතුවෙන් ශ්‍රී ලංකාවේ යාපනයේ සිට හම්බන්තොට දක්වා වෙරළ තීරය ඇතුළු සංවේදී පරිසර පද්ධතිය ආරක්ෂා කිරීමට දේශිීය වශයෙන් ගතහැකි සියලු කටයුතු සූදානම් කර ඇති බව පරිසර අමාත්‍යාංශය පවසයි.

මෙම නෞකාවෙන් දැවැන්ත ඉන්ධන කාන්දුවක් සිදු වුවහොත් එයින් එම ඉන්ධන වලින් ඉවත් කළ හැක්කේ ඉන්ධන 60%ක් පමණ ප්‍රමාණයක් බවත් ඉතිරි 40% ඉවත් කළ නොහැකි බවත් සමුද්‍රීය පරිසර ආකර්ෂණ අධිකාරයේ අධ්‍යක්ෂ ආචාර්ය ටර්නි ප්‍රදීප් මහතා සඳහන් පැවසීය.

එසේ ඉන්ධන ඉවත් කළද එහි බලපෑම වසර 25 පමණ වනතුරු තිබිය හැකි බව ද ඇතැම් විට ඊටත් වඩා කාලයක් පැවැතිය හැකි බවද හෙතෙම පෙන්වා දුන්නේය.

මෙලෙස ඉන්ධන කාන්දුවක් සිදු වුවහොත් එම පරිසර පද්ධතියේ ජීවත් වන තල්මසුන් , ඩොල්ෆින්, කැස්බෑවන් ඇතුළු ජීවීන්ට හානිවන බවද ප්‍රදීප් මහතා පැවසීය.

මේ අතර අනතුරට ලක්වූ නෞකාවෙන් ශ්‍රී ලංකා වෙරළ තීරයට ඉන්ධන ගලා ඒමේ කිසිදු හැකියාවක් නොමැති බව ශ්‍රී ලංකා නාවික හමුදා මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් මෙහෙයුම් රියර් අද්මිරාල් වයි.එන්. ජයරත්න මහතා පැවසීය.

අදාළ නෞකාව ගැඹුරු මුහුදේ ස්ථානගතව පැවතීම හේතුවෙන් සහ එම මුහුදු ප්‍රදේශයේ දියවැල්වල ස්වභාවය සැළකිල්ලට ගැනීමේ දී එය තහවුරු කළ හැකි බවද හෙතෙම කීවේය.

නෞකාවේ හටගත් ගින්න පාලනය කිරීම සඳහා විශේෂඥ පුහුණුවක් සහිත ඉන්දීය වෙරළාරක්ෂක බලකා නෞකා එක්ව සිටින බව ඒ මහතා පැවසීය.

 

Share