තෙල් නැව දිවයින දෙසට පාවෙයි - පිපිරුවොත් විශාල පරිසර හානියක්

නිලුක සදුන් | Author . Translate to English or தமிழ் 9/4/2020 10:57:00 AM
තෙල් නැව දිවයින දෙසට පාවෙයි -  පිපිරුවොත් විශාල පරිසර හානියක්

ශ්‍රී ලංකාවේ නැගෙනහිර මුහුදු වෙරළේ ගිනිගනිමින් පවතින “නිව් ඩයමන්ඩ්“ නැමැති පැනමාවට අයත් ඉන්ධන ප්‍රවාහන නෞකාව සැතපුම් 13ක් පමණ දිවයින දෙසට පාවී පැමිණ ඇතැයි නාවික හමුදාව පවසයි.

මෙම නෞකාව පිපිරුවහොත් සිදුවන පරිසර හානිය සිතාගත නොහැකි බවත් එය ⁣මෙරට ඉතිහාසයේ සිදුවූ දැවැන්තම සාගර දූෂණය වනු ඇති බවත් පරිසරවේදීහු අනතුරු අඟවති.

නාවික හමුදාවේ එකම අරමුණ මෙම නැවේ ගින්න නිවා දමා සිදුවීමට යන විශාල විනාශයක් වැළැක්වීම බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා Medialk.com වෙත පැවසීය.

යුද නැව් පහක් සහ ටග් යාත්‍රා තුනක් ගින්න නිවීම සඳහා මේ වන විට යොදවා ඇති බව පැවසූ නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා කෙසේ හෝ ගින්න නිවීමට උත්සාහ ගන්නා බව ද සඳහන් කරයි.

මෙහිදී සිදුවිය හැකි ඕනෑම අවස්ථාවකට ක්‍රියාකිරීම සඳහා සූදානම් වී සිටින බව ද ඔහු පවසයි.

මෙම නැව පිපිරුවහොත් විශාල පරිසර හානියක් සිදුවිය හැකි බවත් විසිවන තෙල් නිසාද ඉතා හානිදායක් තත්ත්වයක් ඇති විය හැකි බවත් සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා පවසයි.

මේ හේතුවෙන් නැගෙනහිර, බස්නාහිර සහ දකුණු වෙරළ තීරයට හානි විය හැකි බව පවසන සාමාන්‍යාධිකාරීවරයා මෙය වළක්වාගැනීමට යුහුසුළුව ක්‍රියාකරන බව ද ප්‍රකාශ කරයි.

මෙම නෞකාවේ ඇති වූ ගින්නෙන් එහි ගබඩා කර ඇති මෙට්‍රික් ටෝන් 2,70,000ක් වූ බොරතෙල් සංචිතයට මේ වන තෙක් කිසිදු බලපෑමක් සිදු වී නොමැති බව ද ගින්න එම බොරතෙල් සංචිත ගබඩාවන් වෙත පැතිරයාම වැළැක්වීම සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටින බව ද නාවික හමුදාව සඳහන් කරයි.

එමෙන්ම එම නෞකාවෙන් මුහුදට තෙල් කාන්දු වීමේ කිසිදු අවදානමක් මේ වන තෙක් ඇති වී නොමැති බව සඳහන් කරන නාවික හමුදාව තෙල් කාන්දු වුවහොත් එයින් සිදුවන හානිය අවම කිරීමට හා එ‍මගින් ඇතිවිය හැකි තත්ත්වය පාලනය කර ගැනීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව, ‍ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා වරාය අධිකාරිය, සමුද්‍රීය පරිසර ආරක්‍ෂක අධිකාරිය, ඇතුළු පාර්ශවකරුවන් මේ වන විට අවශ්‍ය පියවර ගැනීමට සූදානම්ව සිටින බව ද පවසයි.

ආපදාවට පත් බොරතෙල් නෞකාව අද (04) උදෑසන වන විට ආසන්නම ගොඩබිම සිට නාවික සැතපුම් 25 ක් (දල වශයෙන් 50 km) පමණ දුරකින් මීටර් 3100 ක ගැඹුරු මහ මුහුදේ ඇති බව නාවික හමුදාව කියයි. 

අද උදෑසන වන විට ශ්‍රී ලංකා නාවික හමුදාවේ ප්‍රධාන නෞකා තුනක්, වේග ප්‍රහාරක යාත්‍රා දෙකක්, ඉන්දීය වෙරළාරක්‍ෂක නෞකාවක්, ඉන්දීය නාවික හමුදා නෞකාවක් සහ ටග් යාත්‍රා තුනක් ආපදාවට ලක් වූ නෞකාව සමීපයේ ඇති බව ද අද අළුයම සිට ගුවන් මගින් ද ගිනි නිවන කටයුතු නැවත ආරම්භ වූ බව ද නාවික හමුදාව සඳහන් කරයි.

ආපදාවට ලක් වූ නෞකාවේ පසුපස ඇති පාලක මැදිරි කලාපය (Super structure) තවමත් ගිනිගනිමින් ඇතැයි ද එය නෞකාවේ බොරතෙල් ගබඩා කර ඇති කළාපයට බලපෑමක් ඇති කර නැතැයිද පවසන නාවික හමුදාව නෞකාවේ සැලැස්ම අධ්‍යයනය කර මෙම ගිනි නිවීමේ කටයුතු එම නෞකාවේම ග්‍රීක ජාතික කපිතාන්වරයාගේ උපදෙස් මත මුහුදු ගිනි නිවාරණය පිළිබඳ විශේෂඥ දැනුමක් ඇති නාවික හමුදා කණ්ඩායම් මගින් සිදු කරනු ලබන බව ප්‍රකාශ කරයි.

එම නෞකාවේ ගින්න හටගත්තේ, කුවේට් හී මිනා අල් අහමදී වරායේ සිට ඉන්දියාවේ ඔඩිෂා ප්‍රාන්තයේ පැරඩිප් වරාය වෙත ගමන්කරමින් සිටින අතරතුරදිය.

එම නෞකාවේ බොයිලේරුවේ සේවය කළ අයෙකු මියගොස් ඇති බව ද නාවික හමුදාව කියයි.

අනතුරට ලක්වන අවස්ථාවේ එම නෞකාව ශ්‍රී ලංකා නැගෙනහිර මුහුදු කළාපයේ සංගමන්කන්ද තුඩුවේ සිට නාවික සැතපුම් 38ක් දුර මුහුදේ යාත්‍රා කරමින් තිබිණි.

නිව් ඩයමන්ඩ් (MT New Diamond) නැමති එම ඉන්ධන ප්‍රවාහන නෞකාවේ ප්‍රධාන යන්ත්‍ර කාමරයේ ‍බොයිලේරුවක ඊයේ (03) උදෑසන 08.00ට පමණ සිදුවූ පිපිරුමක් මේ ගින්නට හේතුවී ඇතැයි නාවික හමුදාව පවසයි.

ගින්න මැඩපැවැත්වීම සඳහා මේ වන විට ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ශ්‍රී ලංකා වරාය අධිකාරිය, ඉන්දියානු නාවික හමුදාව සහ ඉන්දීය වෙරළ ආරක්‍ෂක බලකාය ඒකාබද්ධව කටයුතු කරමින් සිටින බව නාවික හමුදාව සඳහන් කරයි.

ඒ අනුව ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් එම්අයි 17 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් මෙම ගින්න පාලනය කිරීම සඳහා ගුවනින් ජලය දැමීමේ ගුවන් මෙහෙයුම් වාර කිහිපයක් ඊයේ සවස් වන තෙක් සිදු කළ බවත් බීච් ක්‍රාෆ්ට් යානාවක් මගින් වරින් වර ගුවනින් අවශ්‍ය නිරීක්‍ෂණ කටයුතු සිදු කරනු ලබන බවත් නාවික හමුදාව කියයි. 

ඉන්දියානු වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවට අයත් ඩ්‍රෝනියර් යානයක් ද මෙම නෞකාව ගුවනින් නිරීක්‍ෂණය කරනු ලැබූ බව ද ශ්‍රී ලංකා නාවික හමුදාවේ සයුර, සිඳුරළ සහ රණරිසි නෞකා සමගින් වේග ප්‍රහාරක යාත්‍රා දෙකක් මෙම ආපදා තත්වය කළමණාකරණය කිරීමේ මෙහෙයුමට යොදවා තිබෙන බවද නාවික හමුදාව ප්‍රකාශ කරයි.

ඊයේ (03) සවස් කාලයේදී ආපදාව සිදුවූ නෞකාව අසලට ලඟාවූ ඉන්දීය වෙරළාරක්‍ෂක සෞර්යා (ICGS Shaurya) නෞකාව ශ්‍රී ලංකා නාවික නෞකා සිඳුරළ සමඟ එක්ව ආපදාවට ලක්වූ නෞකාවේ දෙපස සිට සිසිලන ආවරණය ලබාදීම ආරම්භ කරන ලදී.

එමෙන්ම අද (04) අළුයම වන විට හම්බන්තොට වරායෙන් පිටත් වූ රාවණා සහ වසඹ යන ටග් යාත්‍රා ද්විත්වය සහ නෞකාව අයත් විදේශීය සමාගම මගින් සූදානම් කරන ලද ALP Winger යන ටග් යාත්‍රාව මෙම මෙහෙයුමට එක්වී තිබේ. 

අද අළුයම ඉන්දියානු නාවික හමුදාවට අයත් යුධ නෞකාවක් වන ශෙහාද්‍රි (INS Sahyadri) නෞකාවද මෙම ආපදා කළමණාකරණ මෙහෙයුමට එක්වී ඇති අතර තවත් ඉන්දියානු වෙරළ ආරක්‍ෂක නෞකා දෙකක් අද දහවල් වන විට මෙම මෙහෙයුම් සඳහා එක්වීමට නියමිත බව නාවික හමුදාව සඳහන් කරයි.

මෙම ‍ආපදා සහන මෙහෙයුම සඳහා සහභාගී වූ රුසියානු නෞකා දෙකක් අවශ්‍ය සහයෝගය ලබා ඊයේ සවස එම මෙහෙයුමෙන් ඉවත්ව ගොස් තිබේ.

ආපදාවට ලක්වූ නෞකාවේ කාර්ය මණ්ඩලයේ 19 දෙනකු ඇතුළුව 21 දෙනකු හෙලන් එම් (Helen M) වෙළඳ නෞකාවට යොමු කෙරුණු අතර ඔවුන් මේ වන විට නාවික හමුදා නෞකා‍ වෙත රැගෙන සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන්ට අනුව වෙන් කර තබා ඇතැයි නාවික හමුදාව කියයි.

අනතුර හේතුවෙන් තුවාල ලබා සිටි එම නෞකාවේ තෙවන ඉංජිනේරු නිලධාරියා කල්මුණේ රෝහල වෙත යොමුකර ප්‍රතිකාර කිරීමෙන් පසු ඔහුගේ සෞඛ්‍ය තත්වය ස්ථාවරව පවතින බව ද නාවික හමුදාව ප්‍රකාශ කරයි.

එම කාර්මණ්ඩලයේ සිටි පිලිපීන් ජාතික නාවිකයෙකු බොයිලෙරු පිපිරීමෙන් මරණයට පත්ව ඇති බව නෞකා කාර්ය මණ්ඩලයේ මූලික තොරතුරු අනුව තහවුරු වී ඇති බවත් ඒ අනුව එහි සිටි 23 ක් වූ කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් අතරින් 22 ක් මුදවා ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාව සමත්වී ඇත.






ඡායාරූප - ශ්‍රී ලංකා ගුවන් හමුදාව | ශ්‍රී ලංකා නාවික හමුදාව 

Share