18 ටත් එහා ගිය 20

18 ටත් එහා ගිය 20

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත මගින් ව්‍යවස්ථාදායකය සතුව තිබූ බලතල සහ රාජ්‍ය සේවයේ ස්වාධීනත්වය වෙනුවෙන් ස්වාධීන කොමිෂන් සභාවලට පවරා තිබූ බලතල සියල්ල ජනාධිපතිවරයා යටතට පවරාගෙන තිබේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් දහඅට වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් තහවුරු කර ගත් බලතලවලට, වැඩි බලතල වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට මෙමගින් හිමි වීමට නියමිත අතර, ජ්‍යෙෂ්ඨ නීතිවේදීන් පෙන්වා දෙන්නේ, මෙය ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමේදී බරපතළ අභියෝගයක් වන බවයි.

ව්‍යවස්ථාදායක සභාව අහෝසියි !

රාජ්‍ය සේවයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමේ අරමුණින් බලය පවරන ලද ව්‍යවස්ථාදායක සභාව මුළුමනින්ම අහෝසි කොට, නැවත පාර්ලිමේන්තු කවුන්සිලය පිහිටුවීමට මෙමගින් යෝජනා කර ඇත. දහනව වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් බලාත්මක කිරීමෙන් පසු අගවිනිසුරු, නීතිපති, පොලිස්පති ඇතුළු රජයේ ප්‍රධාන තනතුරු පත්කිරීම සිදු කෙරුණේ ව්‍යවස්ථාදායක සභාව මගින් ය. 

එසේම ස්වාධීන කොමිෂන් සභාවලට සාමාජිකයන් පත්කිරීම ද එමගින් සිදු කෙරුණු අතර, ජනාධිපතිවරයා සතුව තිබූ පත්කිරීමේ තනි බලය ඉවත් කරන ලදි. ජනාධිපතිවරයාට ස්වාධීන කොමිෂන් සභා සඳහා සාමාජිකයන් පත්කිරීමේ සහ ඉවත් කිරීමේ බලය මෙමගින් පැවරීමට යෝජිත ය.
අහෝසි කෙරෙන වස්ථාදායක සභාව වෙනුවට 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් හඳුන්වා දී තිබූ පාර්ලිමේන්තු කවුන්සිලය වැනි ආයතනයක් යළිත් ස්ථාපිත කිරීමට යෝජනා කර තිබේ. 18 වැනි සංශෝධනය මගින් පිහිටවූ මෙම කවුන්සිලයේ සාමාජිකයන් වූයේ කතානායක, අගමැති, විපක්ෂ නායක සහ තවත් පාර්ලිමේන්තු ගමන්ත්‍රීවරුන් දෙදෙනෙකි. එහෙත් ඔවුන්ට ජනාධිපතිවරයාගේ පත්කිරීම්වලට අනුමැතිය දෙනවා හැර වෙනස් කිරීමේ  හැකියාවක් නොවීය.

යළිත් මුක්තිය 

කැබිනට් අනුමැතිය ලැබී ඇති පනත් කෙටුම්පතට අනුව ජනාධිපතිවරයාට යළිත් මුක්තිය ලබාදීමට ද යෝජනා කර තිබේ. එනම් ජනාධිපතිවරයා ධුරය දරන කාලයේදී සිදු කරන කිසිදු කාර්යයක් අධිකරණයක් ඉදිරියේ ප්‍රශ්න කිරීමට හැකියාවක් නොමැති වීමයි. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබූ අත්තනෝමතික බලයක් ලෙස විවේචනයට පත්වූ මෙම බලය, 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ඉවත් කෙරිණි. අප්‍රේල් 21 ප්‍රහාරය වළක්වාගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට එරෙහිව අධිකරණය ඉදිරියේ චෝදනා ගොනු කිරීමට හැකියාව ලැබී ඇත්තේ ඔහුට මුක්තිය හිමි නොවූ නිසා ය. එසේම අදාළ කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත වන තුරු වර්තමාන ජනාධිපතිවරයාට ද එවැනි බලයක් නැත.

අධිකරණ සේවය

මේ අතර ජ්‍යෙෂ්ඨ නීතිවේදීන් පෙන්වා දෙන්නේ අධිකරණ සේවා කොමිෂන් සභාවේ සාමාජිකයන් ඉවත් කිරීමේ බලය ද ජනාධිපතිවරයා යටතට පත්කර ගැනීම බරපතළ තත්ත්වයක් බවයි. එමගින් අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳව ද ගැටලු මතු වන බව ඔවුහු අවධාරණය කරති. එසේම විගණන කොමිසමේ සහ ජාතික ප්‍රසම්පාදන කොමිසමේ ස්වාධීනත්වය මුළුමනින් ම මේ මඟින් අහෝසි කර ඇත. රාජ්‍ය මූල්‍ය අක්‍රමිකතා වැළැක්වීමේ අරමුණින් මෙම ස්වාධීන කොමිෂන් සභා දෙකටම බලය පැවරිණි.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම

19 වැනි සංශෝධනය මගින් ඉවත් කර තිබූ හදිසි පනත් ඉදිරිපත් කිරීමේ බලය යළිත් ලබාදී ඇති අතර, ශ්‍රේෂ්ඨාධිකරණය එම පනත් කෙටුම්පත් සම්බන්ධයෙන් පැය 24 ක් තුළ නිර්දේශ ලබාදිය යුතු බව ද සඳහන් ය. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ කාලය ද මේ වන විට පවතින්නේ වසර හතරහමාරක් ලෙස ය. එය නැවතත් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට පෙර තිබූ තත්ත්වය වන වසරක් දක්වා අඩු කර ඇත. ජ්‍යෙෂ්ඨ නීතිවේදීන් පෙන්වා දෙන්නේ මේ හරහා යළිත් ජනාධිපතිවරයාගේ පාලනය යටතට ව්‍යවස්ථාදායකය යටත් කිරීමක් සිදු වන බවයි.

අමාත්‍යංශ තබාගැනීම

එසේම 19 වැනි සංශෝධනය මගින් ජනාධිපතිවරයාට අමාත්‍යාංශ තබාගැනීම වළක්වා තිබුණද, මෙම යෝජිත කෙටුම්පතින් එය ඉවත් කර, ඕනෑම අමාත්‍යාංශයක් ජනාධිපතිපතිවරයා යටතේ තබාගැනීමේ බලය ලබා දීමට යෝජනා කර ඇත. ඇමැතිවරුන් සංඛ්‍යාව පිළිබඳ  තීරණ ගැනීම මෙන්ම ඇමැතිවරුන් පත්කිරීමේදී අගමැතිවරයාගෙන් විමසිය යුතුය යන කොන්දේසිය ද මෙමගින් ඉවත් කොට තිබේ.

ද්විත්ව පුරවැසියන් පාර්ලිමේන්තුවට

මේ අතර ද්විත්ව පුරවැසිභාවය සහිත පුද්ගලයන්ට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරිය නොහැකි බවට 19 වැනි සංශෝධනය මඟින් ඉදිරිපත් කර තිබූ කොන්දේසිය මෙමඟින් ඉවත් කර තිබේ. බැසිල් රාජපක්‍ෂ හිටපු ඇමතිවරයාට පාර්ලිමේන්තු පැමිණීමට ඉඩ ලබා දීම මෙහි අරමුණ බව දේශපාලන විචාරකයෝ පවසති. 

ජනාධිපති අපේක්ෂක අවම වයස

එසේ ම ජනාධිපති ධුර අපේක්‍ෂකයකු වීමේ අවම වයස් සීමාව අවුරුදු 30 දක්වා අඩු කර තිබේ. එය මීට පෙර පැවැතියේ අවුරුදු 35ක් ලෙස ය.

කෙටුම්පත අභියෝගයට 

ජ්‍යෙෂ්ඨ නීතිවේදීන් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අවධාරණය කරන්නේ දහනව වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් ජනතාවට ලබා දුන් අයිතීන් අහිමි කිරීමට එරෙහිව ශේෂ්ඨාධිකරණය ඉදිරියේ කෙටුම්පත අභියෝගයට ලක්කළ යුතු බවයි. කෙසේ වෙතත් තොරතුරු දැනගැනීමේ පනත, ජනාධිපතිවරයාගේ ධුර කාලය සහ ධුරය දැරිය හැකි වාර ගණන වෙනස් කිරීම වැනි කතාබහට ලක් වූ කරුණු කිහිපයක් මෙම කෙටුම්පතට ඇතුළත් කර නැත.

Share