මාධ්‍ය සංදර්ශන බොරු : මැදපෙරදිග ශ්‍රමිකයින් එන්නේ සල්ලි ගෙවලා - මැදපෙරදිග ලාංකික තරුණියක්

නිලුක සදුන් | Author . Translate to English or தமிழ் 9/3/2020 4:11:00 PM
මාධ්‍ය සංදර්ශන බොරු : මැදපෙරදිග ශ්‍රමිකයින් එන්නේ සල්ලි ගෙවලා - මැදපෙරදිග ලාංකික තරුණියක්

⁣කොතරම් මාධ්‍ය සංදර්ශන දැම්මත් මැදපෙරදිග සිට එන කොරෝනා නිසා අසරණ වූ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් ලංකාවට එන්නේ නොමිලේ නොව නියමිත ගුවන් ටිකට් පතට වඩා දෙගුණයක් පමණ මුදල් ගෙවා බව ඩුබායි සේවයට ගිය තරුණියක Medialk.com වෙත පැවසුවාය.

තමන් ගැන ඩුබායිහී පිහිටි ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලය කිසි තැකීමක් නොකරන බව ද ඇය කීවාය.

මැදපෙරදිග ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් වසර ගණනක් තිස්සේ විදෙස් විනිමය ලංකාව⁣ට ගෙන ඒමට කැප වූ බවත් ඔවුන් අසරණ වී සිටින මේ මොහොතේ යම් අයුරින් හෝ සහය වන ලෙසත් ඇය ඉල්ලා සිටියාය.

ඇතැම් ශ්‍රී ලාංකිකයින්ට කෑම බීම පවා නොමැති තත්ත්වයක් ඇතිව තිබෙන බවද මේ හේතුවෙන් ශ්‍රී ලාංකිකයින් රැසක් අපහසුතාවට පත්ව ඇති බවද ඩුබායිහි රැකියාවට ගොස් කොරෝනා වසංගතය නිසා සිරවී සිටින එම තරුණිය කීවාය.

තානාපති කාර්යාලය සමග කතා කිරීමට ගිය තමන්ට අව්වට වී පැය ගණනක් රස්තියාදු වීමට සිදුවූ බවද මෙලෙස මව්රටින් දුර ඈතක සිටින අවස්ථාවක මෙවන් ව්‍යසනයකදී තමන්ට පිළිසරණක් වන්නට සිටින බලධාරීන් පවා නොසලකා හැරීම දුකට කරුණක් බව ඇය කීවාය.

ඇගේ සුබ සිද්ධිය සඳහාත් සහ නම පළ කිරීමට ඇගේ අකැමැත්ත නිසාත් මෙහියගේ නම පළ නොකරේ.

ඇය මේ බව පැවසූවේ Medialk.com සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.

සම්පූර්ණ සාකච්ඡාව පහත දැක්වෙයි.

ප්‍රශ්නය : කොහොමද මේ දවස්වල තත්ත්වය ?

පිළිතුර : ඇත්තටම මෙහෙ ගොඩක් අයට රැකියාව නැති වෙලා. හරිම අමාරුවෙන් තමයි ජීවත් වෙන්නේ. මෙහේ වියදම ලංකාවේ වගේ නෙමෙයි. රැකියාවක් නැතුව හරිය⁣ට ජීවත් වෙන්න විදියක් නෑ. අපිට ගෙවල් වලින් තමයි වියදමට සල්ලි ⁣එවන්නේ.  අම්මලා තාත්තලා ණය වෙලා තමයි මෙහෙම එවන්නේ. අපි අසරණ වෙන්නේ නැතිව ඉන්නේ එයාලා එවන නිසා. එහෙමවත් සල්ලි එවන්න බැරි අය කොහොම ඉන්නවා ඇති ද? පවු ඒ මිනිස්සු අපිට පුළු පුළුවන් විදියට උදව් කරගන්නවා.

අපිට ජොබ් නැති වෙලා දැන් මාස ගාණක්. තව කොච්චර කල් ඉන්නද. තව මාස කිහිපයක් හිටියොත් එහෙම අපේ අම්මලට ගෙවල් උකස් කරලා එහෙමත් නැත්නම් විකුණලා තමයි සල්ලි එවන්න වෙන්නේ. ගෙදරින් එහෙමවත් එව්වේ නැත්නම් අපිට ඉන්න වෙන්නේ පාරේ තමයි. මොකද මෙහේ මිනිස්සුත් දැන් අමාරුවෙන් ජීවත් වෙන්නේ එතකොට එයාලා අපිට නිකම් ඉන්න දෙන්⁣නේ නෑනේ.අනික එච්චර කරුණාවන්තකම් මෙහේ ⁣බලාපොරොත්තු වෙන්න බෑ. මෙහේ ඕනතරම් අය ඉන්නවා ඉන්න හිටින්න තැනක් නැතුව. කවදා බලධාරීන්ගේ ඇස් ඇරෙයිද අපිනම් දන්නේ නෑ.

ප්‍රශ්නය : කෑම බීම කොහොමද සපයාගන්නේ ?

පිළිතුර : ඇත්තම කිව්වොත් මෙහේ කෑමබීමවලට නෙමෙයි වැඩි වියදම යන්නේ. ඩිර්හම් එකකට ගොඩක් කෑම ගන්න පුළුවන්. ඒත් කොරෝනා වලින් පස්සේ ඒ ඩිර්හම් එකවත් නැතුව අන්ත අසරණ වෙලා ඉන්නේ මෙහේ අය. ජොබ් නැතුව කොහෙන්ද සල්ලි? .

මට කෑම බීමවලටත් අම්මලා තමයි සල්ලි එවන්නේ. අපි රෙන්ටි එකට දැන් ඉන්නේ. අම්මලා ණය වෙලා සල්ලි දානවා කුලිය ගෙවන්නත් එක්ක. ඒවගෙන් කුලිය ගෙව්වම කෑමට කොහොමහරි ඉතුරු කරගන්නවා. එතකොට ගෙදරින් සෑහෙන ගාණක් එවන්න වෙනවා. ඉතුරු කරගත්තත් ඒවාගෙන් හොදට කන්න බොන්න බෑ. ගොඩක් අරපිරිමැස්මෙන් තමයි කන්න බොන්න වෙන්නේ. මෙහේ ගොඩක් අයට හරිය⁣⁣⁣ට කෑම බීම නෑ. 

මෙහේ සල්ලි තියෙන ශ්‍රී ලාංකිකයින් ඉන්නවා හොඳ අය එයාලා කෑම ගෙනත් දෙනවා.අපටත් දෙපාරක් විතර හම්බුණා. ඒ ඇරෙන්න වෙන කවුරුත් අපිට කන්න බොන්න දෙන්නේ නෑ. මේක හැමෝටම අමාරු වෙලාවක්. එහෙම වෙලාවක හැමෝටම උදව් කරන්න අමාරුයි. එහෙම හරි කෑම බීම දෙන අයට ගොඩක් ස්තූතිවන්ත වෙන්න ඕනේ.

ප්‍රශ්නය : හදිසියේ හරි මේ රැකියාවලට ආව අයට මේ තත්ත්වය එක්ක ලෙඩක් හැදුණොත් මොන වගේ තත්ත්වයක් ද ඇති වෙන්නේ?

පිළිතුර : ඉන්ෂුවරන්ස් එක තියෙන කෙනෙක් නම් ගැටළුවක් වෙන්නේ නෑ. හැබැයි ඉන්ෂුවරන්ස් තියෙන්නේ ජොබ් තියෙන අයට විතරයි.ජොබ් නැති ⁣අයට ඉන්ෂුවරන්ස් නෑ. එහෙම කෙනෙක්ට හැදු⁣ණොත් අනාථයි. කරන්න දෙයක් නෑ.සල්ලි ඉන්ෂුවරන්ස් නැතිව මෙහේ බේත් ගන්න අමාරුයි. මෙහේ අනන්තවත් අය ඇති එහෙම අසරණ වුණ අය. මමනම් කියන්නේ කාටවත්ම  ලෙඩක් දුකක් නම් හැදෙන්න එපා. කියන්න කවුරුත් නෑ මෙහේ. කියන්න ඉන්න බලධාරීනුත් අපිව ගණන් ගන්නේ නැති කොට.

ප්‍රශ්නය : තානාපති කාර්යාලය කොයි වගේ සහයෝගයක්ද දක්වන්නේ ?

පිළිතුර : කියලා වැඩක් නෑ ඒකනම්.අපි තානාපති කාර්යාලයට ප්‍රශ්න කියන්න යන්නත් හෙන කට්ටක් කන්න ඕනේ. දිග පෝලිම්වල අව්වෙ පැය ගණන් කට්ට කන්න ඕනේ. ඒ ගියත් අපිව ගණන් ගන්නේ නැති ගාණයි. අපිව රෙජිස්⁣ටර් කළා කියලා අංකයක් දීලා එවන එකයි කරන්නේ. ඊට එ⁣හා දෙයක් වෙන්නේ නෑ. 

ඩුබායිවල තත්ත්වයට වඩා අනික් මැදපෙරදිග රටවල තත්ත්වය අන්තයි.මැදපෙරදිග ගොඩක් අය ඉල්ලන්නේ අවම පහසුකම්වත් සලසාගන්න මැදිහත් වෙන්න කියලයි. නැතිව ලොකු ලොකු දේවල් නෙමෙයි. එහෙම නැත්නම් අපිව ලංකාවට ගෙන්නගන්න විදියක් හදන්න. සල්ලි ගෙවලා හරි එන්න විදියක් වුණත් කමක් නෑ. කියන දවසක් නිරෝධයනය වෙන්න කැමතියි මේ අය. මේ අන්ත අසරණ තත්ත්වයෙන් මේ මිනිස්සු ගොඩ ගන්න කියලයි ඉල්ලන්නේ.

ප්‍රශ්නය : ඩුබායි ඉන්න ශ්‍රමිකයෝ දැන් ලංකාවට ගෙන්වනවා නේද?

පිළිතුර : ගෙන්වනවා කියන්නේ ටිකට් අ⁣රගෙන තමයි එන්න ඕනේ. නැතුව නිකම් නෙමෙයි. ලංකාවේ කොච්චර මාධ්‍ය සංදර්ශන දැම්මට රජයෙන් ගෙන්වනවා කියලා මෙහෙ ඉන්න අය නියමිත ගණනට වඩා දෙගුණයක් පමණ ගෙවලා තමයි මේ ලංකාවට එන්නේ. එහෙම එන්නත් හැමෝටම ෆ්ලයිට් නෑ. සීමිත ගණනක් එහෙම නැත්නම් සීට් බුක් කරගන්න පුළුවන් කට්ටියට විතරයි එන්න අවස්ථාව ලැබෙන්නේ. ඒකටත් සල්ලි තියෙන්න ඕනේ. අන්ත අසරණ වෙච්ච අයට ඒ අවස්ථාව ලැබෙන්නේ නෑ. මේකට රජය සහනයක් දෙන්න ඕනේ. හැමෝටම සල්ලි දෙගුණයක් දීලා එන්න බෑ. එන්න පුළුවන් අය ඉන්නවා තමයි. ඒත් බැරි අය මොකද්ද කරන්නේ. ⁣සහනදායි ක්‍රමයකට හරි ලංකාවට ගෙන්වන්න රජය කටයුතු කරන්න ඕනේ. මෙහෙ ඉන්න අයට කෑමවේලකට සල්ලි හොයාගන්නේත් අමාරුවෙන්. ඉතින් කොහොමද ලක්ෂ ගණන් තව වියදම් කරලා ටිකට් ගන්නේ.

ප්‍රශ්නය : රජයෙන් මොන වගේ ඉල්ලීමක්ද කරන්න තියෙන්නේ?

පිළිතුර : වෙන කිසිම ඉල්ලීමක් අපට කරන්න නෑ දැන්. අපිට පුළුවන් තරම් ඉක්මණින් ලංකාවට එන්න අවස්ථාවක් සලස්වන්න කියලාත්. මෙහේ අන්ත අසරණ වෙලා ඉන්න අපට යම් සහනයක් හෝ ලබාගන්න පුළුවන් තත්ත්වයට තානාපති කාර්යාලය පත් කරන්න කියලා තමයි ඉල්ලන්නේ. අපිට උදව් කරන්න. මෙහේ වැඩ කරන ලංකා⁣වේ අය අවුරුදු ගණනක් ලංකාවට විදේශ විනිමය අරන් දුන්නා. ඉතින් අපිට බැරි වෙලාවේ අපිට පොඩි හරි සහනයක් ලබා දෙන්න කියලා තමයි ඉල්ලන්නේ.


මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මංගල රන්දෙණිය මහතා පැවසූවේ විදෙස් රටවල සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් ගෙන්වීම ඉදිරියටත් සිදු කරන බවත් එය සිදු කිරීමට වන්නේ රටේ පවතින පහසුකම්වලට අනුව බවත් ය.

මේ සම්බන්ධයෙන් ඩුබායි කොන්සියුලර් කාර්යාලයෙන් කළ විමසීමට ප්‍රතිචාර නොලැබුණු අතර විදේශ අමාත්‍යාංශයෙන් කළ විමසීමටද පසුව පිළිතුරු ලබාදෙන බව පැවසුවද මෙතෙක් ප්‍රතිචාර නොලැබිණි.

ගුවන් ටිකට්පතට දෙගුණයක් අය කරන බවට එල්ල වන චෝදනාව සම්බන්ධයෙන් විමසීමට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සභාපති අශෝක් පතිරගේ මහතාට ගත් ඇමතුම්වලට ප්‍රතිචාර නොදැක්වීය.


Cover photo : අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී

Share