සැකකරුවන් ඝාතනය කිරීම - මහේස්ත්‍රාත් වගකීම පැහැරහැරීම බරපතළ කරුණක් 

සැකකරුවන් ඝාතනය කිරීම - මහේස්ත්‍රාත් වගකීම පැහැරහැරීම බරපතළ කරුණක් 

පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලබන සැකකරුවන් ඝාතනය කිරීමේ සිදුවීම්වලදී අදාළ මරණ පරීක්ෂණය සිදු කරන මහේස්ත්‍රාත්වරයාට බරපතළ වගකීමක් පැවරුණද, කිසිදු අවස්ථාවක එය ඉටු නොවන බව ජ්‍යෙෂ්ඨ නීතිඥ එස්.ජී.පුංචිහේවා අවධාරණය කරයි.

එම පරීක්ෂණයේදී පොලිසිය පවසන කරුණු ඒ ආකාරයෙන්ම සටහන් කරගැනීම වෙනුවට, සාක්ෂිකරුවන් කැඳවීම, කැඳවූ ආකාරය, ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ පවුලේ සාමාජිකයන් කැඳවූයේද යන්න වැනි ප්‍රශ්නවලට අනිවාර්යෙන්ම පිළිතුරු ලබාගත යුතු බව ද පෙන්වා දෙන ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා, මහේස්ත්‍රාත්වරුන් එම වගකීම මගහැරීම බරපතළ කරුණක් බව ද සඳහන් කරයි.

සාමාන්‍යයෙන් පොලිසිය මෙවැනි අවස්ථාවකදී ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ පවුලේ සාමාජිකයන් කැඳවීමක් පවා සිදු නොකරන බවත්, සාක්ෂිකරුවන්ට බැණවැදීමේ අවස්ථා සුලබ බවත් අවධාරණය කරන තොරතුරු කොමිසමේ සාමාජිකයකු ද වන ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා, එමගින් ජනතාවට ඇත්ත දැනගැනීමට ඇති අයිතිය ඇහිරීමක් සිදු වන බව පෙන්වා දෙයි.

පොලිස් ස්ථානාධිපතිගේ වගකීම

1994 වධහිංසාවලින් වැළකීමේ පනතට අනුව අත්අඩංගුවට ගන්නා සෑම සැකකරුවකුගේම වගකීම අදාළ පොලිස් ස්ථානය භාර ස්ථානාධිපතිවරයා විසින් දැරිය යුතුය. එහෙත් කිසිදු අධිකරණයකින් මෙවැනි ඝාතන සම්බන්ධයෙන් පොලිස් ස්ථානාධිපතිවරයාගේ එම වගකීම ප්‍රශ්න කිරීමක් සිදු නොවන අතර, පොලිසියේ සටහන් සියල්ල ඒ ආකාරයෙන්ම පිළිගනු ලබයි. 

විශේෂයෙන්ම මෙවැනි ඝාතනවලදී සුලබව ප්‍රකාශ කෙරෙන්නේ ආයුධ පෙන්වීමට ගෙන ගිය අවස්ථාවේ, සොයාගත් ආයුධයකින් පහරදීමට උත්සාහ දැරීමේදී ආත්මාරක්ෂාව පවා වෙඩි තැබීම, පළායෑමට උත්සාහ කිරීමේදී වෙඩි තැබීම වැනි කරුණු ය.
සැකකරුවකු අත්අඩංගුවට ගැනීමෙන් පසු විමර්ශන සඳහා රැගෙන යන්නේ නම්, ඔහුට මාංචු දැමීම අනිවාර්ය බවත්, එසේ මාංචු දමා ඇති සැකකරුවන් ආයුධවලින් පහර දීමට උත්සාහ කිරීම, ගංගාවලට පැන පළායෑමට උත්සාහ කිරීම වැනි දේවල් සිදු කරන්නේ කෙසේද යන්න සාමාන්‍ය ජනතාවට පවා ඇති වන ප්‍රශ්නයක් වුවද, එය මහේස්ත්‍රාත්වරුන් විසින් ප්‍රශ්න නොකිරීම බරපතළ ලෙස අවධානයට යොමු විය යුතු කරුණක් බව ද ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා පෙන්වා දෙයි.

අත කැඩුණු සැකකරුගේ පළායෑමේ උත්සාහය

අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් රැසක් පසුගිය කාලය තුළදී මෙසේ ඝාතනයට ලක් විය. ඒ අතරින් පසුගිය 29 දා ඝාතනයට ලක්වූ ඉඳුනිල් වජිර කුමාර හෙවත් ඉන්ද්‍රා නමැති සැකකරු අතක් කැඩී සිටි අයෙක් බව පොලිස් ආරංචි මාර්ග තහවුරු කරයි. 

පොලිසිය උපුටා දක්වමින් මාධ්‍ය මේ සිද්ධිය වාර්තා කර තිබුණේ අදාළ සැකකරු විසින් සැඟවූ ආයුධ පෙන්වීමට රැගෙන ගොස්, නැවත එමින් සිටියදී පොලිස් ජීප් රථය පැදවූ කොස්තාපල්වරයාගේ ගෙල මාංචු කුට්ටමින් සිර කිරීමට උත්සාහ කළ බවයි. ජීප් රථයේ සිටි නිලධාරීන් සැකකරුගෙන් රියදුරු බේරාගැනීමට උත්සාහ කළද, එය ව්‍යර්ථ වූ බවත්, ඒ අවස්ථාවේ පොලිස් නිලධාරියකු විසින් සැකකරුට වෙඩි තබා ඇති බවත් මාධ්‍ය වාර්තා කර තිබිණි. 

මෙවැනි අවස්ථාවකදී සාමාන්‍යයෙන් ජීප් රථයේ රියදුරු සමග ඉදිරි අසුනේ පොලිස් නිලධාරියෙකු සිටින අතර, පසුපස අසුනේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට මැදිව සැකකරු රැගෙන යෑම සිදු වේ. එමගින් අපේක්ෂා කරන්නේ සැකකරුගේ ආරක්ෂාව තහවුරු කිරීමත්, පළායෑමට අවස්ථාවක් ලබානොදීමත් ය. එවැනි තත්ත්වයක් යටතේ අතක් කැඩුණු සැකකරුවෙකුට මෙසේ පළායෑමේ උත්සාහයක් දැරිය හැකිද යන්න සහ එවැන්නකු පාලනය කර ගැනීමට රියැදුරු හැර තවත් නිලධාරීන් තිදෙනකුට නොහැකිද යන්න බරපතළ ගැටළුවක් සහ ප්‍රශ්න කළ යුතු කරුණක් බව නීතිවේදීහු පෙන්වා දෙති.   

පොලිසියට මල් ඉසීම

ඉන්දියාවේ තෙලඟානා ප්‍රාන්තයේ පශු වෛද්‍යවරියක වූ ප්‍රියංකා රෙඩ්ඩි අපයෝජනය කොට ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගැනිණි. සීසීටීවී දර්ශන මගින් ඔවුන් මේ අපරාධයට සම්බන්ධ යැයි හඳුනාගත් බව පොලිසිය නිවේදනය කළේය. සැකකරුවන් අත්අඩංගුවට ගැනීමෙන් පසු හයිද්‍රාබාද් පොලිසිය ඉදිරිපිටට රැස්වූ සිය ගණනක් ඉල්ලා සිටියේ ඔවුන්ට දඬුවම් කිරීම සඳහා තමන්ට භාර දෙන ලෙසයි. ඉන්පසු සැකකරුවන් අදාළ ස්ථානයට රැගෙන යමින් සිටියදී පළා යෑමට උත්සාහ කළ බවත්, එම නිසා පොලිසියට වෙඩි තබන්නට සිදු වූ බවත්, ඔවුන් එහිදී මිය ගිය බවත් පොලිසිය නිවේදනය කළේය.

සැකකරුවන්ට වෙඩි තැබූ පොලිස් නිලධාරීන්ට තෙලඟානා ජනතාව මල්වලින් උපහාර පවත්වා තිබූ අතර, ඔවුන්ට ආශිර්වාද පූජා රැසක් ද පවත්වා තිබිණි. මේ වෙනුවෙන් නර්තන උත්සව පැවැත්වීම ද එහි සිදු කර තිබිණි. එම සැකකරුවන් ඝාතනය කර තිබූ ස්ථානයට ආරක්ෂාව සැපයූ පොලිස් නිලධාරීන්ට මල් ඉසිමින්, ඔවුන් ඉදිරියේ නැටුම් නටමින්, ඔවුන්ට ප්‍රශංසා කරන්නට එම ජනතාව කටයුතු කිරීම ඡායාරූප සහිතව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබිණි.

මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ වගකීම

‘සැඟවූ ආයුධ පෙන්වීමට ගොස්' 2010 වසරේදී වෙඩි තබා මරාදැමූ ඇඹිලිපිටියේ අජිත් ප්‍රසන්නගේ බිරිඳට වන්දි ගෙවන්නැයි එවකට ඇඹිලිපිටිය පොලිසියේ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති, ඇඹිලිපිටිය පොලිස් ස්ථානාධිපති ඇතුළු පොලිස් නිලධාරීන් හත් දෙනකුටත්, ශ්‍රී ලංකා රජයටත් ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය දෙසැම්බර් 17 දා නියෝග කළේය. මිය ගිය තරුණයාගේ බිරිඳට රුපියල් දෙලක්ෂ පනස් දහස බැගින් පෞද්ගලික මුදලින් ගෙවන ලෙස ඇඹිලිපිටිය පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිරෝෂන් අබේකෝන්, පොලිස් සැරයන් සුරවීර ආරච්චිගේ වසන්ත සුරවීර, කොස්තාපල් හේවා සිංගප්පුලිගේ චමින්ද සහ කොස්තාපල් 20527 පුෂ්කුමාර යන නිලධාරීන්ට (මූලික අයිතිවාසිකම් නඩුවේ 01 - 04  වගඋත්තරකරුවන්ට) ශ්‍රේෂ්ඨාධිකරණය වැඩිදුරටත් නියෝග කරන ලදි.

ඊට අමතරව වගකීම් පැහැර හැරීම හේතුවෙන් මූලික අයිතිවාසිකම් නඩුවේ පස් වැනි, හය වැනි සහ හත්වැනි වගඋත්තරකරුවන් වූ ඇඹිලිපිටිය පොලිසියේ හිටපු පොලිස් පරීක්ෂක පීටර්, හිටපු මූලස්ථාන පොලිස් පරීක්ෂක විජිත කුමාර සහ ඇඹිලිපිටිය පොලිසිය භාරව කටයුතු කළ සහකාර පොලිස් අධිකාරී ආනන්ද සමරසේකර යන මහත්වරුන්ට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේ පෞද්ගලික මුදලින් රුපියල් විසි පන් දහස බැගින් මියගිය තරුණයාගේ බිරිඳට ගෙවන ලෙසයි. 

මිය ගිය තරුණයාගේ මූලික අයිතිවාසිකම් රැකීමට රජය අපොහොසත්වී ඇති බව තීරණය කළ ශ්‍රේෂ්ඨාධිකරණය, මිය ගිය පුද්ගලයාගේ  බිරිඳට රුපියල් දස ලක්ෂයක වන්දියක් ගෙවන ලෙස ශ්‍රී ලංකා රජයට ද නියම කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝග නිකුත් කරනු ලැබුවේ මිය ගිය අජිත් ප්‍රසන්නගේ බිරිඳ විසින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක තීන්දුව ලබා දෙමිනි.

Share