කොළඹ - කළුතර මුහුදේ පාට වෙනස් වීම⁣ට හේතුව නාරා ආයතනය පහදයි

කොළඹ - කළුතර මුහුදේ පාට වෙනස් වීම⁣ට හේතුව නාරා ආයතනය පහදයි

කොළඹ සිට කළුතර දක්වා ගැඹුර මුහුද කොළ පැහැති වීමට හේතුව Navicula විශේෂයක් වන ඩයටම ඒක සෛලික ජීවින්ගේ වර්ධනයක් බවට අද(02) සොයාගත් බව ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනය (නාරා) පවසයි.

මේ සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ පවත්වන බව නාරා ආයතනය සඳහන් කරයි.මේ ජීවින් විෂ සහිත නොවන බව ද එම ආයතනය පවසයි.

ධීවර ආම්පන්න, බෝට්ටු මෙන්ම අල්ලාගත් මසුන් පවා කොළ පැහැති වී ඇති බවට දෙහිවල, අගුලාන, පයාගල සහ කලුතර ප්‍රදේශවල ධීවරයින්ට ඉකුත් 30 සහ 31 යන දිනවල නිරික්ෂණය වී තිබිණි.

ධීවරයන්ගේ දෑත් සහ දෙපාවල නියපොතුද කොළ පැහැ වී ඇති ආකාරයක් දක්නට ලැබුණු බවට ධීවරයින් අදාළ ආයතන දැනුම්වත් කර තිබිණි.

වෙරළ තීරයේ සිට කිලෝමීටර 17 ක පමණ දුරින් පිහිටි ගැඹුරු මුහුදේ විශාල තීරයන් මේ ආකාරයට කොළ පැහැති වී තිබිණි.

මේ සම්බන්ධයෙන් දැනුම්දීමෙන් අනතුරුව නාරා ආයතනයේ නියෝජිතයින් පැමිණ මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කළේය.

එම පරීක්ෂණ අනුව මෙම තත්ත්වය Navicula විශේෂයක් වන ඩයටම ඒක සෛලික ජීවින්ගේ වර්ධනයක් නිසා ඇති වී ඇතැයි ද මෙය විෂ සහිත නොවන ජීවි විශේෂයක් බව ද නාරා ආයතනය අද පැවසීය.

Share