මුහුදේ පාට වෙනස් වෙනස් වීම ධීවරයින්ට අහිතකර ද ? - ධීවරයෝ උත්තර ඉල්ලති

මුහුදේ පාට වෙනස් වෙනස් වීම ධීවරයින්ට අහිතකර ද ? - ධීවරයෝ උත්තර ඉල්ලති

කොළඹ සිට කලුතර දක්වා ගැඹුර මුහුද කොළ පැහැති වී ඇති බවත් ධීවර ආම්පන්න මෙන්ම අල්ලාගත් මත්ස්‍ය අස්වැන්න පවා කොළ පැහැති වී ඇති බව දෙහිවල අගුලාන පයාගල කලුතර ප්‍රදේශවල ධීවරයෝ ප්‍රකාශ කරති.

ඊයේ (31) සහ පෙරේදා (30) ධීවර කර්මාන්තයේ යෙදුණු ධීවරයන් මෙම තත්ත්වය නිරීක්ෂණය කර ඇති අතර බෝට්ටු, දැල් මෙන්ම ධීවරයන්ගේ දෑත් සහ දෙපාවල නියපොතුද කොළ පැහැ වී ඇති බව ධීවරයෝ පවසති.

වෙරළ තීරයේ සිට කිලෝමීටර 17 ක පමණ දුරින් පිහිටි ගැඹුරු මුහුදේ විශාල තීරයන් මේ ආකාරයට කොළ පැහැති වී ඇති අතර මෙවැනි සිදුවීමක් මීට පෙර අත්විද නොමැති බව එහි ධීවර කටයුතු වල නිරතවන ධීවරයෝ සඳහන් කරති.

මේ සම්බන්ධයෙන් දැනුම්දීමෙන් අනතුරුව ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනය (නාරා) හි නියෝජිතයින් පැමිණ මේ සම්බන්දයෙන් පරීක්ෂණයක් ආරම්භකර තිබේ.

ඒ කොළ පාට බෝට්ටුවලට කාවැදිලා, දැල්වල පාට වෙනස් වෙලා, අත්වල තැවරිලා - අඟුලාන සුහද ධීවර සමිතියේ ලේකම් සනත් නන්දසිරි

“අඟුලානේ සිට දියඹෙන් කිලෝමීටර 07ක් වගේ ගියාම මුහුදේ වතුර කොළ පැහැයක් දකින්න ලැබුණා. මේ කොළපාට අපේ බෝට්ටුවල තැවරිලා තිබෙන ආකාරය 30 වැනිදා ධීවර රැකියාවට ගිය අපට දැකගන්න ලැබුණා. අපි මේ පිළිබඳ නාරා ආයතනය ඇතුළු වගකිවයුතු ආයතන දැනුවත් කළා. ඔවුන්ගේ නිලධාරීන් ඇවිත් සාම්පල අරගෙන ගියා. මගේ අවුරුදු 30කට වැඩි ධීවර ජීවිතේ මෙහෙම සිදුවීමකට මුහුණදුන්නේ පළමු වරටයි. සාමාන්‍යයෙන් මුහුදෙ වතුර කොළපාටට දැකගන්න පුළුවන්. නමුත් ඒ කොළ පාට බෝට්ටුවලට කාවැදිලා, දැල්වල පාට වෙනස් වෙලා, අත්වල තැවරිලා නැහැ. අපේ අත් කොච්චර හේදුවත් මේ පාට ගියේ නැහැ. මේ කොළපාට ඩයි පැච් එක කොළඹ මුහුදේ සිට පානදුර මුහුද දක්වා පැතිරිලා තිබෙනවා. ධීවරයන් ලෙස අපට සැක හිතෙන්නේ මේවා මෑතකදී ඉන්දියානු මුහුදේ පෙරළුණ නැවෙන් කාන්දු වුණ දෙයක්ද කියලයි. එහෙම නැත්නම් මුහුදු පතුලේ තැන්පත් වෙලා තිබ්බ දෙයක් මතු වුණාද කියලත් හිතෙනවා. අපි අල්ලගත්ත මාළුන්ගෙත් මේ ඩයි තිබුණා. අපි මාළු සාම්පලත් නාරා එකට දුන්නා. මීට සති දෙකකට පෙර සිට අපි මුහුදේ වෙනසක් දැක්කා. ඒ තමයි රොන්මඩ වගේ යම්කිසි තෙල් ස්වභාවයක් දැල්වල තැවරිලා ආවා. දැල්වල අසාමාන්‍ය බරක් දැනුණා මේ නිසා. මේ තත්ත්වය කුමන හේතුවක් නිසා සිදුවුණ දෙයක්ද කියලා සොයා බලන්න කියලයි අපි කියන්නේ"

අවුරුදු 37ක කාලය තුළ මේ වගේ දෙයක් දැකලා නැහැ - අඟුලාන සුහද ධීවර සමිතියේ සභාපති කුලරත්න පෙරේරා

“අපි පෙරේදා ධීවර රස්සාවට ගියා. එතකොටයි දැක්කේ මහ මුහුදේ ඩයි එකක් තිබෙනවා කියන එක. මේ ඩයි එක නිසා අපේ බෝට්ටු කොළ පාට වුණා. මේ වතුර ඇල්ලුව අපේ අත්වල නියපොතු පවා කොළ පාටයි. මගේ මුහුදු රස්සාවේ අත්දැකීම් අවුරුදු 37ක කාලය තුළ මේ වගේ දෙයක් දැකලා නැහැ. අපි මේ සම්බන්ධයෙන් නිලධාරීන්ගෙන් සත්‍ය තොරතුරු දැනගන්න කැමතියි. මේ ඩයි වර්ගය ධීවර කර්මාන්තයට අහිතකරද? නැද්ද? කියන එක අපට දන්වන්න"

මෙය නීල හරිත ඇල්ගී විශේෂයක අධික වර්ධනයක් කියලා සැක කරනවා - නාරා ආයතනය

මෙය ඩයි විශේෂයක් නොවන බවත් එය නීල හරිත ඇල්ගී විශේෂයක් විය හැකි බවත් නාරා ආයතනය සඳහන් කරයි.

ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනයේ පරිසර අධ්‍යන අංශ ප්‍රධානී ප්‍රධාන විද්‍යාඥ ශ්‍යාමලී වීරසේකර මහත්මිය  මේ සම්බන්ධයෙන් මෙසේ පැවසුවාය,

"මේ සම්බන්ධයෙන් ධීවරයින් සහ ධීවර අමාත්‍යාංශයේ සහකාර අධ්‍යක්ෂවරුන් දැනුම්දුන්නා. ධීවරයෝ සමග කතාකළා. ඔවුන්ගේ දැල්වල නානුමය ගතියක් සහිත කොළපාට දියවරමය ඇලෙස සුළු දෙයක් තියෙනවා අපි දැක්කවා. ධීවරයෝ කියපු ආකාරයට එය ඈත මුහුදෙන් හමුවුණ දෙයක්. වෙරළ තීරයේ සිට කිලෝමීටර 17 ක් ඈතින් මුහුදේ තමයි මේ දේවල් හමුවෙලා තියෙන්නේ. එම ප්‍රදේශයට ගෙන ගිය දැල් සියල්ලේම මේ දේ දකින්නට තිබෙනවා. මෙය ඇල්ගී විශේෂයක් කියලා අපි සැක කරනවා.

මොකද මෙය ඩයි විශේෂයක් වෙන්න බැහැ. එහෙම උනානම් එය ඈත දියඹට පමණක් සීමා නොවී වෙරළ තීරය දක්වා පැමිණිය යුතුයි. එය ඩයි වර්ගයක් නම් ධීවරයෝ කියපු ආකාරයට නානු වගේ ඇලෙන්නත් බැහැ. මේ නිසා අනිවර්යෙනම් එය ඇල්ගී විශේෂයක් කියලා අපි සැකකරනවා. පෝෂණ ද්‍රව්‍ය වැඩිඋන විට උඩුමණ්ඩි ආකාරයට හැදෙන සමහර ඇල්ගී විශේෂ තිබෙනවා .

ධීවරයින්ගේ අත් කකුල් දිහා බලපුවාම ඒවා ගොඩාක් තද පාටට බැදිලා තියෙනවා. හොදින් සේදුවත් ඉවත් වෙන්නේ නැහැ. නමුත් ඔවුන්ට ආසාත්මිකතාවක් ඇතිවෙලා නැහැ. මේදේවල් නිරීක්ෂණය කළ විටත් එය ශාක යුෂ කියලා අපි සැකකරනවා.

මෙයට අදාල ජල සාම්පල වගේම දැල් වලින් සාම්පල් බෝට්ටුවල සාම්පල් ලබාගත්තා. ඒවගේම මාළුන්ගේ කරමල් පරීක්ෂාකර බලා ඒවායේද සාම්පල් ලබාගත්තා. මේ ගැන නාරා ආයතනයේ පරීක්ෂාකිරීම් සිදුකරනවා."

Share