මම වැඩ පටන් ගත්තේම වැඩ වර්ජනයකින් - හරිනි

මම වැඩ පටන් ගත්තේම වැඩ වර්ජනයකින් - හරිනි

තමාට ලැබුණු මන්ත්‍රීධූරය හරහා අධ්‍යාපනය සහ ළමා ආරක්ෂණය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කිරීමට බලාපොරොත්තු වන බව ජාතික ජනබලවේගයට හිමිවු ජාතික ලයිස්තු මන්ත්‍රීධුරයේ දිවුරුම් දුන් ආචාර්ය හරිනි අමරසුරිය මහත්මිය සඳහන් කළාය. 

ජාතික ලයිස්තුවේ නම සඳහන් කර තිබුණද මන්ත්‍රීවරියක් වීමට කිසිදු අදහසක් නොතිබු බව ද Medialk.com සමග අදහස් දක්වමින් ඇය පැවසුවාය.

වැඩිදුරටත් අදහස් දැක්වු ආචාර්ය හරිනි අමරසුරිය මන්ත්‍රීවරිය මෙසේද කීවාය.

"ජාතික ලැයිස්තුවේ නම් 29ක් ඉදිරිපත් කරලා තිබුණා. නමුත් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරියක විදිහට මාව පත්කරයි කියලා මම නම් කිසිම අවස්ථාවක හිතුවේ නැහැ. මන්ත්‍රීවරියක් වෙන්න අදහසක් තිබුණේ නැහැ. නමුත්  මන්ත්‍රීවරියක් ලෙස පත්කිරීම ගැන සන්තෝසයි. ඒ වගේම පොඩි බයකුත් තියෙනවා. ඒ මොකද මන්ත්‍රී ධුරයක් කියන්නේ මට පුරුදු නැති එකක්. මන්ත්‍රී ධුරයේ වගේම පාර්ලිමේන්තුවේ කටයුතු කරන ආකාරය ගැන ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා කියලා මම හිතනවා. කොහොම වුණත් මම නියෝජනය කරන්නේ කණ්ඩායමක් (ජාතික ජන බලවේගය) එතැනදී මට යම් පහසුවක් තිබෙනවා.

මගේ දේශපාලන මතවාදී ගමන්මග තුළ මම පැමිණි ආකාරය සහ අපි ඇතිකරගෙන තිබෙන එකඟතාවන් තිබෙනවා. මේ නිසා මේ මන්ත්‍රී ධුරයෙන් මම නියෝජන කරන්නේ මොකද්ද කියලා මම දන්නවා. මේ නිසාම විශාල කණ්ඩායමක් මගේ පිටුපස ඉන්නවා කියන ශක්තිය මට තිබෙනවා. මම පාර්ලිමේන්තු යන්නේ මගේ පෞද්ගලික මතය වෙනුවෙන් පෙනී ඉන්න නෙවෙයි. මට පෞද්ගලික න්‍යායපත්‍රයක් නැහැ. අපේ වැඩපිළිවෙළ ඊට වඩා පුළුල් වැඩපිළිවෙළක්. කොහොම වුණත් මම පුරුදු තැනින් ඉවත්වෙලා අලුත්ම අවකාශයකට යන්න තීරණය කිරීම බරපතළ තීරණයක්.

මන්ත්‍රීවරියක ලෙස පාර්ලිමේන්තුවේදී  ඔබේ කාර්යභාරය කුමක්ද ?

මන්ත්‍රීවරියක වූ පමණින්ම මම කාන්තාවන් පමණක් නියෝජනය කරනවා කියලා මම හිතන්නේ නැහැ. නමුත් මම ස්ත්‍රීවාදී පැතිකඩකින් දේශපාලනය දිහා බලන කෙනෙක්.  දේශපාලන ධාරාව තුළ ස්ත්‍රීන් සිටිය යුතුයි කියා මම හිතනවා. දේශපාලන සංස්කෘතිය සහ දේශපාලන තීරණ ගැනීමේදී ස්ත්‍රීන්ගේ අවශ්‍යතාව සහ ස්ත්‍රීවාදී දැක්ම අනුව ගනු ලබන තීරණවල කේන්ද්‍රීයව තිබිය යුතුයි කියන අදහසේ සිටිමිනුයි මම දේශපාලනය කරන්නේ.

අධ්‍යාපනය ගැන, කාන්තාව ගැන, ජාතික ආරක්ෂාව, ආර්ථිකය ගැන කතා කළත් මම බලන්නේ ඒ කෝණයෙන්. මම බොහොම නිහතමානීව කියන්නේ එය මගේ දේශපාලනයයි. ඒ තුළ මම වැඩකරපු ක්‍ෂේත්‍ර කිහිපයක් ගැන මම මැදිහත් වෙන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම අධ්‍යාපනය සහ ළමා ආරක්ෂණය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මට ලැබෙන මේ ජාතික වේදිකාව භාවිත කරලා අපි විශ්වාස කරන මතවාදය ජනතාව අතරට ගෙන යන්නත් බලාපොරොත්තු වෙනවා. මොකද මම එහෙම කියන්නේ, අපි නියෝජනය කරන්නේ විකල්ප ආකාරයට දේශපාලනය කරන කඳවුරක්.

ඔබ සඳහන් කළ ආකාරයට ළමා ආරක්ෂාව සම්බන්ධයෙන් මේ දිනවල වැඩි කතාබහක් ඇතිව තිබෙනවා. ඒ වගේම ළමා හා කාන්තා කැබිනට් අමාත්‍යාංශයක් ඇති නොකිරීම ගැනත් සාකච්ඡා වෙනවා. මේ සම්බන්ධයෙන් ඔබේ අදහස ?

ළමා ආරක්ෂාව සම්බන්ධයෙන් කතා කරද්දී ඒ ගැන පාර්ලිමේන්තුව තුළ වගේම පාර්ලිමේන්තුවෙන් පිටත මට කරන්න පුළුවන් කාර්යයන් තිබෙනවා. ළමා ආරක්ෂාව ගැන මතුව තිබෙන ගැටලු අවධානයට යොමු කිරීම ප්‍රධානම කාර්යයක්. මෙවැනි ගැටලු හඳුනාගෙන නීති සම්පාදනය කිරීමට තමයි පාර්ලිමේන්තුවක් තිබෙන්නේ. ළමා ආරක්ෂණය සම්බන්ධයෙන් මේ රටේ තිබෙන නීති ඉතාමත්ම යල් පැනපු නීති. මේ ක්ෂේත්‍රයේ අවුරුදු ගණනක් වැඩකරපු නිසා මම ඒ ගැන  දන්නවා. 

මේ නීති වෙනස් කරන්න අපි අවුරුදු 15ක් පුරාවට උත්සහ කරනවා. නමුත් තවමත් ඒ නීති වෙනස්වෙලා නැහැ. අනිවාර්යෙන්ම වෙනස් විය යුතු නීති තිබෙනවා. ළමා ආරක්ෂණය පිළිබඳ තිබෙන ව්‍යුහවලත් ලොකු ඝට්ටන තිබෙනවා. උදාහරණයක් විදිහට කියනවානම් ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය තිබෙනවා. නමුත් ඊට සමගාමීව පරිවාස හා ළමා ආරක්ෂණ සේවාව තිබෙනවා. මේ ආයතන දෙක අතර සම්බන්ධීකරණය ඉතාම දුර්වලයි. මේ ආයතනවල වැඩ බෙදාගෙන නැහැ. ඒක අච්චාරුවක් වෙලා තියෙන්නේ. මේ නිසාම ළමුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් තිබිය යුතු සේවාවන් ළමුන් අතරට යන්නේ නැහැ. කුමක් හෝ ප්‍රශ්නයක් නිසා නීතිය හමුවට එන ළමයෙක් මේ ආයතනවල තිබෙන දුර්වලතා නිසා තවත් අපහසුතාවට ලක්වෙනවා.

ඇතැම් වෙලාවට මේ ආයතනවල ක්‍රියාකාරීත්වය හේතුවෙන් ඒ ළමයට සිදුවුණ සිද්ධියට වඩා අමාරු තත්ත්වයකට දරුවන් පත්වෙනවා. මේ නිසා ළමුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් වෙනස්කම් රාශියක් සිදුවිය යුතුව තිබෙනවා. ‍අලුත් අධිකරණ ඇමති මේ කාරණා සම්බන්ධයෙන් අවධානය යොමු කරයි කියලා මම බලාපොරොත්තු වෙනවා.

ළමුන්ට, කාන්තාවන්ට, කැබිනට් අමාත්‍යාංශයක් නැහැ කියනදේ මම දකින්නේ වෙනස් විදිහට. කාන්තාවන් වෙනුවෙන් වෙනම අමාත්‍යාංශයක් වෙනුවෙන් අපි පෙනී සිටින්නේ කාන්තා සුබසාධනය කරන්න විතරක් නෙවෙයි. කාන්තාවන්ගේ භූමිකාව දේශපාලනය සහ රාජ්‍ය යාන්ත්‍රනය තුළ මූලික තැනකට ගෙනෙන්න තමයි කාන්තා අමාත්‍යාංශයක් ඇතිකරන්න කියලා අපි කියන්නේ. ලංකාවේ ජනගහනයෙන් 52%ට වැඩි ප්‍රමාණයක් කාන්තාවන් ඉන්නවා. ඔවුන්ව නියෝජනය කිරීම සඳහා, ඔවුන්ගේ අවශ්‍යතාවන් අපේ මූලිකව ධාරාවන් තුළ නියෝජනය කිරීමක් තමයි කාන්තා අමාත්‍යාංශයකින් සිදුවිය යුත්තේ. 

නමුත් මීට පෙර තිබුණු කාන්තා අමාත්‍යාංශවලින් එය සිදුවෙලා නැහැ. ඒ නිසා දැන් තියෙන විදිහටම මේ දේවල් සිදුවෙනවානම් මේ අමාත්‍යාංශය නැති වුණා කියලා වෙනසකුත් නැහැ. නමුත් අධ්‍යාපන අමාත්‍යාංශ යටතේ පෙර පාසල් සමග කාන්තා අමාත්‍යාංශය ඇතුළත් කර තිබෙනවා. මේ තත්ත්වය තුළ මේ රටේ කාන්තාවන්ට තිබෙන අර්බුදය මොකද්ද කියලා මේ බෙදීමෙන්ම පැහැදිලි වෙනවා. අපි ඉන්න තත්ත්වය කොතැනද කියලා තේරුම් අරගෙන අපේ අරගලය පටන් ගන්න ඕන කොතනින්ද කියලා දැන්නම් අපිට හොඳටම පැහැදිලියි.

මන්ත්‍රීවරියක් වීමට පෙර ඔබේ ගමන් මග ගැන කතා කළොත් ?

මම විවෘත විශ්වවිද්‍යාලයේ ස්ථිර සේවයට පැමිණියේ 2011 වර්ෂයේ. ඊට පෙර කොළඹ විශ්වවිද්‍යාලයේ පර්යේෂිකාවක් ලෙස කටයුතු කළා.  වර්ෂ 2000 සිට බාහිර කථිකාචාර්යවරියක ලෙස කටයුතු කළා. මගේ පශ්චාත් උපාධිය සඳහා 2007 වසරේදී බ්‍රිතාන්‍යයට ගොස් නැවත පර්යේෂණවලට ලංකාවට පැමිණි අවස්ථාවේදී විවෘත විශ්වවිද්‍යාලයේ තාවකාලික පත්වීමක් ලැබුණා. ආචාර්ය උපාධිය අවසන්වන විට විවෘත විශ්වවිද්‍යාලයේ තිබුණ පුරප්පාඩුවකට මම අයදුම් කළා. මට මේ තනතුර ලැබුණා. මම වැඩ භාරගත්තේ 2011 අප්‍රේල් මාසයේ.  විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ අරගලය ආරම්භ වුණ කාලේදීම තමයි මම වැඩ පටන් ගන්නේ. මම වැඩ භාරගන්න විශ්වවිද්‍යාලයට ආපු දවසෙම වෘත්තීය සමිති වැඩවර්ජනයක්. පළමුවැනි දවසම මම වැඩ පටන් ගත්තේ වැඩවර්ජනයකින්.

විශ්වවිද්‍යාල කථිකාචාර්යවරියකට සාමාන්‍යයෙන් නොලැබෙන අත්දැකීම් විශාල ප්‍රමාණයක් මගේ මුල් අවධියේම ලැබුණා. ඒ කාලේ විශ්වවිද්‍යාලයේ තිබුණු අරගලයට සක්‍රීයව සම්බන්ධ වෙන්න මට අවස්ථාව ලැබුණා. එය මගේ ජීවිතයට විශාල බලපෑමක් කරපු දෙයක් වුණා. ඊට පෙර මම කළ රැකියාවන් සමග සංසන්දනය කරන විට විශ්වවිද්‍යාල ආචාර්ය ධුරය මම ඉතාමත්ම ආසාවෙන් සිදුකළ එකක් වුණා.

මම උගන්වන්න බොහොම කැමතියි. ඒ සියල්ලටම වඩා මේ රැකියාව තුළ හිතන්න නිදහස තිබෙන අවකාශයක් ලැබුණා. ඒ තුළ ආයතනයක න්‍යායපත්‍රයකට කොටු නොවී වැඩ කරන්න පුළුවන්. විශ්වවිද්‍යාලය තුළ තිබෙන්න පුළුවන් ලොකුම දෙය ඒක. චින්තනයට තිබෙන නිදහස මම උපරිමයෙන්ම අත්වින්දා. විශ්වවිද්‍යාලය තුළ උගන්වන්න, මගේ පර්යේෂණවල යෙදෙන්න, සමාජයේ ක්‍රියාකාරී වෙන්න මේ කිසිම දෙයකට බාධාවක් වුණේ නැහැ. ඒ රැකියාව ඉතාමත්ම සතුටින් ආසාවෙන් කළා.

ගියවර පාර්ලිමේන්තුව නියෝජනය කළාට වඩා අඩු කාන්තා නියෝජනයක් මෙවර පාර්ලිමේන්තුවේ දක්නට ලැබෙනවා. නමුත් ප්‍රධාන පක්ෂ සියල්ලම ජාතික ලැයිස්තුවෙන් එක් මන්ත්‍රී ධුරයක් හෝ කාන්තාවන් වෙනුවෙන් වෙන්කර තිබෙනවා. එය දකින්නේ කෙසේද?

ඒ තත්ත්වය ඇති කළේ අපි. ඒ නිසා එය ජාතික ජන බලවේගයේ ජයග්‍රහණයක්. ඒ මොකද දේශපාලනයේ ශක්තිමත් කාන්තා නියෝජනයක් ඇතිකිරීම වෙනුවෙන් ජනාධිපතිවරණයේ සිට දේශපාලන වේදිකාවේ ශක්තිමත් කාන්තා නියෝජනයක් ඉදිරිපත් කළේ අපි. ජනාධිපතිවරණයේදී අපි කාන්තා ප්‍රඥප්තියක් ඉදිරිපත් කළා. මෙවර මැතිවරණයට අපි කාන්තාවන් 20ක් ඉදිරිපත් කළා. ජනාධිපතිවණයේ සිටම කාන්තා දේශපාලනය ගැන අවධානයක් ලැබෙන්න හේතුවක් වුණේ ප්‍රගතිශිලී ස්ත්‍රී එකමුතුව සහ ජාතික ජන බලවේගය ලෙස අපි කරපු වැඩකටයුතු. අපි මැතිරණයට ඉදිරිපත් කළේ යම්කිසි දේශපාලන අත්දැකීමක් තිබෙන කාන්තාවන්. අපේ දේශපාලන වේදිකා සියල්ලේම අඩුම තරමේ එක කාන්තාවක් හෝ කතා කළා. මේ නිසා දැන් කාන්තාවන්ට තිබෙන අවකාශය විවෘත වෙලා තියෙන්නේ. කිසිම පක්ෂයකට ඒක අතහැරලා යන්න බැහැ. මේ තත්ත්වය සියලු කාන්තාවන්ටම හොඳයි. මේ තත්ත්වය ඇතිකළේ අපි කියන සතුට අපිට තිබෙනවා.

 

Share