ශානි අත්අඩංගුවට ගැනීම පළිගැනීමක් : දඩයම් ලැයිස්තුවක ප්‍රතිඵලයක් - නීතීඥවරු උසාවියට කියති

Staff Writer | Author . Translate to English or தமிழ் 8/21/2020 2:41:00 PM
ශානි අත්අඩංගුවට ගැනීම පළිගැනීමක් : දඩයම් ලැයිස්තුවක ප්‍රතිඵලයක් - නීතීඥවරු උසාවියට කියති

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා අත්අඩංගුවට ගෙන ඇත්තේ ඔහු කළ වරදක් නිසා නොව, ඔහු හරි ආකාරයට විමර්ශන කටයුතු කළ නිසා ඔහු දඩයම් කිරීමට බව  ජනාධිපති නීතීඥ වසන්ත නවරත්න බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය. 

අබේසේකර මහතා අත්අඩංගුවට ගෙන ඇත්තේ මාධ්‍යවේදී එක්නැලිගොඩ අතුරුදන් කිරීම, රගර් ක්‍රීඩක තාජුදීන් ඝාතනය, කප්පම් සදහා තරුණයන් පැහැරගෙන අතුරුදන් කිරීම වැනි අපරාධ විමර්ශනය කර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පළිගැනීමක් ලෙස සහ දැනට මරණ දඬුවම නියම වී සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන බේරා ගැනීමට බවත් ඒ මහතා පැවසීය.

ජනාධිපති නීතීඥ වසන්ත නවරත්න බණ්ඩාර මහතා ඒ බව ප්‍රකාශ කළේ ශානි අබේසේකර මහතා සම්බන්ධයෙන් වූ පැමිණිල්ල ඊයේ (20) ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේ අබේසේකර මහතා වෙනුවෙන් කරුණු දක්වමිනි.

මෙම පැමිණිල්ල ඊයේ (20) කැඳවූ අවස්ථාවේදී පැමිණිල්ලේ පළමු සැකකරු ලෙස නම් කර සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා සහ දෙවැනි සැකකරු ලෙස නම් කර සිටින හිටපු උප පොලිස් පරීක්ෂකවරයකු වන සුගත් මෙන්ඩිස් බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූහ.

වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළ කොළඹ අපරාධ කොට්ඨාසයේ ඒකක (1) හි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ධර්මප්‍රිය ජගත් නිශාන්ත මහතා රහස් පොලිසියේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ හිටපු ස්ථානාධිපති නිශාන්ත සිල්වා මහතාට එරෙහිව වරෙන්තුවක් ඉල්ලා සිටියේය. නිශාන්ත සිල්වා විදේශගත වී ඇති බව දැක්වෙන ආගමන විගමන පාලකගේ වාර්තාවක් ද ඔහු ඉදිරිපත් කළේය.

ඒ සම්බන්ධයෙන් කූඩුවට නැඟ සාක්කියක් ලබා දෙන ලෙස මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා දැනුම් දුන් අතර ඒ අනුව සාක්කි ලබා දෙමින් කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් පරීක්ෂක ධර්මප්‍රිය ජගත් නිශාන්ත මහතා ප්‍රකාශ කළේ මෙම පැමිණිල්ලට අදාලව තුන් වැනි සැකකරු නිශාන්ත සිල්වා 2019/11/25 දින ශ්‍රී ලංකාවේ සිට ස්විස්ටර් ලන්තයේ සූරිච් දක්වා ගොස් ඇති බවයි.  එනිසා ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් අවශ්‍ය බව පොලිස් පරීක්ෂකවරයා ඉල්ලා සිටියේය. එසේම වෙනත් ගමන් බලපත්‍රයක් භාවිත කරමින් රටට ඇතුළුවීමට හෝ රටින් පිටවීමට ඔහු ගුවන්තොටුපොළට පැමිණියහොත් වහාම කොළඹ අපරාධ කොට්ඨාසයට ඔහු යොමු කරන නියෝගයක් ලබා දෙන ලෙස ද ඉල්ලා සිටියේය.

ඒ අනුව ඔහුගේ සාක්කිය සහ ආගමන විගමන පාලක විසින් ලබා දෙන ලද වාර්තාව පදනම් කරගනිමින් පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වාට වරෙන්තු නිකුත් කළ ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා නිශාන්ත සිල්වා රටට ඇතුළුවීමට හෝ පිටවීමට ගුවන්තොටට පැමිණියහොත් ඔහු කොළඹ අපරාධ කොට්ඨාසයට බාර දෙන ලෙස ද නියෝග කළේය.

ජනාධිපති නීතීඥ වසන්ත නවරත්න බණ්ඩාර මහතා - අපරාධ නඩු විධාන සංග්‍රහයේ 120 (1) සහ (2) අනුව සහ නීතිපති එදිරිව පුංචි බණ්ඩා සහ තවත් අය යන නඩු තීන්දුවේ සඳහන් වෙනවා පොලිසිය කරන විමර්ශනයක් අධීක්ෂණය කිරීමට සහ පාලනය කිරීමට මහේස්ත්‍රාත්වරයකුට බලය තිබෙන බව. 

මෙම සිද්ධියට අදාලව දිලිප් අසංග වැලිගම යන අය දීලා තියන ප්‍රකාශයක සාක්කි සම්පිණ්ඩනයක් පොලිසිය මෙම අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.(එය කියවයි)  එම ප්‍රකාශය අනුව විල්ලවආරච්චි කියන කෙනත් අනිවාර්යෙන්ම මෙහි සැකකරුවක් කරන්න අවශ්‍යයි.  ශානි අබේසේකර සම්බන්ධයෙන් තිබෙන මෙම චෝදනා සම්පූර්ණයෙන්ම බොරු. නමුත් අපි මොහොතකට ඒක ඇත්ත කියලා හිතුවොත් අනිවාර්යෙන් විල්ලවආරච්චිත් මේකේ සැකකාරයෙක් වෙන්න ඕනෑ. පොලිසිය ඔහුව සැකකරුවෙක් කරළත් නෑ, අත්අඩංගුවට අරගෙනත් නෑ. ඒ අනුව පේනවා පොලිසිය එයාලගේ දඩයම් ලැයිස්තුවේ ඉන්න අය විතරයි අත්අඩංගුවට ගන්නේ කියලා. 

ශානි අබේසේකර අත්අඩංගුවට ගෙන මෙම චෝදනා කිරීමට හේතු දෙකක් තිබෙනවා. එකක් මෙම සිද්ධියට අදාලව දැනට මරණ දඬුවම ලබා දී තිබෙන වාස් ගුණවර්ධන බේරා ගැනීම. අනික එක්නැලිගොඩ අතුරුදන් කිරීම, තාජුදීන් ඝාතනය, නාවික හමුදාවෙන් තරුණයන් 11 දෙනකු අත්අංගුවට ගෙන අතුරුදන් කිරීම වැනි අපරාධ සම්බන්ධයෙන් ශානි අබේසේකර විමර්ශන කරපු නිසා. 

මෙම සිද්ධිය 2013 වසරට අදාල සිද්ධියක්. එහි ලිපිගොනු නීතිපති දෙපාර්තමේන්තුවේ තිබෙනවා. මේ සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ ස්ථාවරය දැන ගැනීම වැදගත්. නමුත් තවමත් නීතිපති නියෝජනයක් මේ නඩුවට නෑ. අපි හිතුවේ අදවත් නීතිපති එකෙන් එයි කියලා. 

මේ සිද්ධියට අදාල ආයුධ තුනක් පොලිසිවලින් නිකුත් කළ ඒවා බවට සටහන් කරලා තියෙද්දිත් ශානි අබේසේකරව ගිනි අවි ආඥා පනතින් අත්අඩංගුවට අරගෙන තිබෙන්නේ ඔහු රිමාන්ඩ් කරවීමේ ආශාවෙන්. 

නීතීඥ චමින්ත අතුකෝරල - ස්විස්ටර්ලන්තයේ ගිහින් ඉන්න සැකකරුවකු වෙනුවෙන් වරෙන්තු ඉල්ලන කොළඹ අපරාධ කොට්ඨාසය මේ නඩුවේ ලංකාවේ ඇතුළේ ඉන්න තවත් සැකකරුවකු ගැන මුකුත් කරන්නේ නෑ. ඒ තමයි පොලිස් පරීක්ෂක විල්ලවආරච්චි. 

ඔහු මහේස්ත්‍රාත්වරු දෙදෙනකු හමුවේ ප්‍රකාශ දෙකක් ලබා දී තිබෙනවා. එම ප්‍රකාශ දෙක එකිනෙකට පරස්පරයි. එකක් දීලා අවුරුදු ගණනකට පස්සේ කියනවා ඒක දුන්නේ බලපෑමට කියලා. 

මෙම පොලිස් පරීක්ෂක විල්ලවආරච්චි සේවය කළේ මේ  නඩුවේ දැනට ඉන්න සැකකරුවන් (ශානි සට මෙන්ඩිස්) යටතේ නෙමෙයි. පොලිස් නිලධාරීන් ක්‍රියාත්මක කරන්න ඕනෑ ඉහළින් ලැබෙන නීත්‍යනුකූල නියෝග පමණයි. නීති විරෝධී නියෝග ක්‍රියාත්මක කරන්න බෑ. එහෙම බලපෑමක් ආවා නම් ඉහළ නිලධාරීන්ට පැමිණිලි කරන්න ඕනෑ. ස්ථානාධිපති, සහකාර පොලිස් අධිකාරී, කොට්ඨාස බාර පොලිස් අධිකාරී, දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති, එහෙම නැත්නම් පොලිස්පති ඉන්නවා. මේ අයට පැමිණිලි කරන්න ඕනෑ බලපෑමක් ආවා නම්. නමුත් එහෙම කරලා නෑ.

එක ප්‍රකාශයක් මහේස්ත්‍රාත්වරයෙක් ඉදිරිපිට දීලා තව අවුරුදු ගානකට පස්සේ ඒක වැරදි කියලා තවත් ප්‍රකාශයක් මහේස්ත්‍රාත්වරයෙකු ඉදිරිපිට පොලිස් නිලධාරියකු දෙනවා කියන්නේ ලොකු ප්‍රශ්නයක්.  

මේ අත්අඩංගුවට ගැනීම් කරන්නේ දඩයම් ලැයිස්තුවකට අනුවයි. ඔවුන්ට අවශ්‍ය අය පමණයි අත්අඩංගුවට ගන්නේ. 

ඒ වගේම මෙම පැමිණිල්ලේ දෙවැනි සැකකරු උප පොලිස් පරීක්ෂක මෙන්ඩිස් තමන් සැකකරුවෙක් කරලා කියලා දැනගත් වහාම කොළඹ අපරාධ කොට්ඨාසයට පැමිණ ඉදිරිපත් වුණා. ඉන් අනතුරුව කොළඹ අපරාධ කොට්ටාසේය සහකාර පොලිස් අධිකාරී  නෙවිල් සිල්වා සහ පොලිස් පරීක්ෂක ධර්මප්‍රිය නිශාත කියන නිලධාරීන් දෙදෙනා බලපෑම් කර තිබුණා ශානි අබේසේකරට එරෙහිව ප්‍රකාශයක් ලබා දෙන ලෙස. ඔහු එලෙස ප්‍රකාශයක් නුදුන්නු නිසයි අත්අඩංගුවට ගත්තේ. මේ සම්බන්ධයෙන් ඔහු අධිකරණයට ඉදිරිපත් කළ මුල් අවස්ථාවේම මහේස්ත්‍රාත්තුමා හමුවේ ප්‍රකාශයක් දුන්නා. තවම ඒ ගැන විමර්ශනයක් නෑ. මේ ගැන විමර්ශනයක් සිදු කරන ලෙස පොලිස්පතිට දැනුම් දෙන ලෙස ඉල්ලා සිටිනවා.

රාජකාරියක් හරියට කළාම අත්වෙන ඉරණම මොකක්ද කියලා බලා ගන්න ඕන නම් අද ඇස්පනාපිට බලා ගන්න පුලුවන්. මේ කූඩුවේ ඉන්නේ සැකකරුවන් දෙදෙනා (ශානි සහ මෙන්ඩිස්) අල්ලස් අරගෙන නෙමෙය, නිල බලය පාවිච්චි කරලා ස්ත්‍රී දූෂණ කරලා නෙමෙයි. කප්පං අරගෙන නෙමෙයි. පඩියට අමතරව සතපහක දෙයක් අරගෙන නෙමෙයි.  කරලා තිබෙන එකම දෙය හරියට රාජකාරිය කිරීම.  හරියට රාජකාරි කරන නිලධාරීන්ට අත්වෙන ඉරණම තමයි මේක. 

මේ සිද්ධියට අදාලව ත්‍රිපුද්ගල මහාධිකරණයෙන්  සැකකරුවන් කිහිප දෙනකුට මරණ දඬුවමත් ලබා දීලා තිබෙනවා. මෙම සිද්ධි ගැන නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයේ කරුණු දක්වා තිබෙනවා. ඉතින් මේ නඩුවට නීතිපති දෙපාර්තමේන්තුවේ මැදිහත්වීම ඉතාම වැදගත්. 

ජනාධිපති නීතීඥ වසන්ත නවරත්න බණ්ඩාර - පළමුවැනි සැකකරු ශානි අබේසේකරට එරෙහිව මොනවා හෝ දෙයක් හොයා ගන්න 2020 දෙසැම්බර් 26 වැනි දා සිට සීඅයිඩියට හතර වතාවක් කැඳවා තිබෙනවා. පොලිස් විශේෂ විමර්ශන ඒකකයට 14 වතාවක් කැඳවා තිබෙනවා. 

කොළඹ අපරාධ කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරී නෙවිල් සිල්වා - අපි කාගෙවන්වත් පලිගන්නවත් දඩයම් ලැයිස්තුවකටවත් අත්අඩංගුවට ගැනීම් කළේ නෑ. අපිට පොලිස්පති එවපු පැමිණිල්ලකට අදාලව විමර්ශනය කරලයි සැකකරුවන් අත්අඩංගුවට ගත්තෙ. තවත් සැකකරුවන් ඉන්නවා නම් අත්අඩංගුවට ගැනීම කරනවා. ඒකට අපි පැකිලෙන්නේ නෑ. 

මෙම නඩුවේ අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටින බව කියමින් නීතීඥ ජාලිය සමරසේන මහතා කරුණු දැක්වීමට උත්සාහ කළ අතර ඊට ජනාධිපති නීතීඥ වසන්ත නවරත්න බණ්ඩාර මහතා විරෝධය පළ කළේය. මේ නඩුවේ අගතියට පත්වී ඇත්තේ රජය බවත්, රජය සහ සැකකරුවන් අතර යන නඩුවක් බවත් ප්‍රකාශ කළ බණ්ඩාර මහතා නීතීඥවරයා පෙනී සිටින්නේ කවුරුන් වෙනුවෙන්දැයි තමාට දැනගැනීමට අයිතියක් ඇති බව ප්‍රකාශ කළේය.

මෙම සිදුවීමට අදාලව වාස් ගුණවර්ධන, ඔහුගේ පුතා ඇතුළු පිරිසකට එරෙහිව නඩුවක් පවතින බැවින් ඔවුන් අගතියට පත් පාර්ශ්වයක් බවත් ඔවුන් වෙනුවෙන් තමා පෙනී සිටින බවත් නීතීඥ ජාලිය සමරසේන මහතා කීවේය. ඔහු කරුණු දක්වමින් ප්‍රකාශ කළේ ශානි ඇතුළු සැකකරුවන්ට ඇප දෙනවාට තමාගේ විරෝධයක් නැති බවත්, කෙසේ වෙතත් මෙම නඩුවට අදාල මුල් සිද්ධියේ තොරතුරුද නොසඟවා ඉදිරිපත් කළ යුතු බවත් ප්‍රකාශ කළේය. 

සියලු කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා විල්ලවආරච්චි නම් පුද්ගලයා සැකකරුවෙක් කරන්නේද නැද්ද සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ලබාගෙන ඊළඟ දිනයේ අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස කොළඹ අපරාධ කොට්ඨාසයට නියෝග කළේය. 

ශානි අබේසේකර මහතා සහ මෙන්ඩිස් මහතා සැප්තැම්බර් තුන් වැනි දා තෙක් යලි රිමාන්ඩ් කරනු ලැබූහ.



Share