ශානි ගැන අප්‍රසිද්ධ කතා 05 - 'මෝඩයන්ට බය තේරෙන්නේ නැහැනේ' : ශානිගේ ප්‍රකාශයෙන් සිරිසේන කුරේ පසුබසී

Staff Writer | Author . Translate to English or தமிழ் 8/17/2020 2:31:00 PM
ශානි ගැන අප්‍රසිද්ධ කතා 05 - 'මෝඩයන්ට බය තේරෙන්නේ නැහැනේ' : ශානිගේ ප්‍රකාශයෙන් සිරිසේන කුරේ පසුබසී

අවුරුදු හතකට පමණ ඉහත දී සිදු කළ විමර්ශනයකට අදාලව විත්තිකරුවන්ගේ කීම මත අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයේ පසුවන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා සම්බන්ධයෙන් අප්‍රසිද්ධ කතා හතරක් මීට පෙර ඉදිරිපත් කළ අතර මේ පස් වැනි කතාවයි. 

මේ කතාව අනූව දශකයේ මුල් භාගයට දිවයන කතාවකි. එවකට එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් ලෙස කටයුතු කළේ සිරිසේන කුරේ මහතාය. ආණ්ඩු කළේ ද එක්සත් ජාතික පක්ෂයයි. 

මේ කාලයේ වරෙක උතුරේ ප්‍රසිද්ධ හමුදා කඳවුරකට දැවැන්ත ප්‍රහාරයක් එල්ල විය. එය යුද හමුදාවේ දරුණු බිඳ වැටීමක් ද විය. මේ සම්බන්ධයෙන් සොයා බැලීමට එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් සිරිසේන කුරේ එහි ගියේය. කුරේට අදාල ස්ථානය අසලටම යා නොහැකි වූයේ ප්‍රහාරය එල්ල වූ කඳවුර සම්පූර්ණයෙන්ම මුදාගෙන නොතිබීම නිසාය. 

ඊට කිලෝමීටර දෙක තුනක් ඈතින් වූ ස්ථානයකට යුද හමුදාව විසින් සිරිසේන කුරේ කැඳවාගෙන යන ලදී. සිද්ධිය වූ ස්ථානයටම යෑමේ අවශ්‍යතාවක් සිරිසේන කුරේට විය. එහෙත් ඔහු එම ස්ථානයට යෑම ඔහුගේ ජීවිතය බලවත් අවධානමකට ලක් කිරීමක් විය.

මේ කාලයේ සිරිසේන කුරේ මහතාගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරී ලෙස කටයුතු කළේ ශානි අබේසේකර මහතාය. හමුදා ප්‍රධානීහු ශානි අබේසේකර මහතා වෙත ගියහ.

හමුදා නිලධාරියෙක් - මෙතුමාව අදාළ ස්ථානයට ගෙනියන එක අවධානම්. එතැන තවම හරියට ක්ලියර් කරලා නෑ. 

ශානි අබේසේකර - හරි. මම සර්ව දැනුම්වත් කරන්නම්.

ශානි අබේසේකර මහතා සිරිසේන කුරේ මහතා අසලට ගොස් හමුදාවේ පණිවුඩය සැලකර සිටියේය.

සිරිසේන කුරේ - කමක් නෑ අපි එතට යමු.

ශානි අබේසේකර - එතනට යන එක අවධානම්. සර්ට අනතුරක් වෙන්න පුලුවන්.

සිරිසේන කුරේ - මාව බලාගන්න නේන්නම් තමුන් ඉන්නේ. දැන් යමු.

ශානි අබේසේකර - සර් එතනට යෑම අවධානම්. 

සිරිසේන කුරේ - ඇයි තමුන් බයද? 

ශානි අබේසේකර - සර් මම බය නෑ. හැබැයි සර්ගේ ආරක්ෂාව ගැන මමයි වගකියන්න ඕනෑ. එතැන අවධානම්. එතැනට යන්න දෙන්න බෑ සර්.

කියන දේ කනකට නොගත් සිරිසේන කුරේ මහතා 'එනවා යන්න' කියමින් වාහනයට ගොඩවීය. 

එම ස්ථානයට යෑමේ අවධානම තේරුම් නොගත් සිරිසේන කුරේ මහතාට ඇසෙන පරිදි 'මොනව කරන්නද? මෝඩයන්ට බය තේරෙන්නේ නැහැනේ.' කියමින් වාහනයේ දොර වසාගෙන ශානි අබේසේකර මහතා ද වාහනයට ගොඩ විය. 

එය සිරිසේන කුරේ මහතාට ඇසිනි. 

සිරිසේන කුරේ - මොකක්ද තමුන් කිව්වේ? 

ශානි අබේසේකර - සර් එතනට යන එක අවධානම් කියලා හමුදාවෙන් කිව්වා. හමුදාවෙන් එපා කියද්දි සර් එතැනට යන්න හදනවා. සර්ට ඒක තේරෙන්නේ නැහැනේ. 

වාහනය යළි හරවා ගන්නා ලෙස සිරිසේන කුරේ මහතා රියදුරුට අණ කළේය. ඔහුට ප්‍රහාරය එල්ල වූ ස්ථානයට යෑමට තිබූ අවශ්‍යතාවය පහව ගියේය. 

Share