ශානි ගැන අප්‍රසිද්ධ කතා 03 - පලයන් හු**ගේ පුතා එළියට : බස්සා අල්ලන්න බෑ කී ශානිව පොලිස්පති එළවාගනී

Staff Writer | Author . Translate to English or தமிழ் 8/14/2020 4:00:00 PM
ශානි ගැන අප්‍රසිද්ධ කතා 03 - පලයන් හු**ගේ පුතා එළියට : බස්සා අල්ලන්න බෑ කී ශානිව පොලිස්පති එළවාගනී

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂව සිටි ශානි අබේසේකර මහතා සම්බන්ධයෙන් අප්‍රසිද්ධ කතා දෙකක් ඉදිරිපත් කළ අතර මේ තුන් වැනි කතාවයි.

ඒ 2010 වසරයි. ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාගෙන තිබුණු අතර මහ මැතිවරණයෙන් ද එම රජය විශිෂ්ඨ ජයක් අත්කරගෙන තිබිණි. මේ දිනවල විශ්ව විද්‍යාල රැසක අර්බුද උග්‍ර අතට හැරී තිබුණත් ඒ කෙරෙහි ආණ්ඩුවේ වැඩි අවධානයක් යොමු වී තිබුණේ නැත. එවකට උසස් අධ්‍යාපන ඇමැතිවරයාව සිටි එස් බී දිසානායක මහතා ශිෂ්‍ය ගැටලුවලට මෙන්ම ආචාර්යවරුන්ගේ ගැටලුවලට ද ප්‍රමාණවත් ඇහුම්කන් දීමක් කළේ නැත.

2010 ජූලි 16 වැනි දා රුහුණ සරසවියේ බාහිර නේවාසිකාගාරවලට කඩා වැදුණු මැර පිරිසක් සිසු පිරිසකට පහර දුන්නේය. ඊට විරෝධය පළ කරමින් ජූලි 17 වැනි දා සිසුහු විරෝධා ව්‍යාපාරයක් ආරම්භ කළහ. මේ වන විට ලංකාවේ විශ්ව විද්‍යාල රැසක නේවාසිකාගාර සම්බන්ධයෙන් ගැටලු මතුවී තිබිණි.

සිසුන්ගේ ගැටලුවලට විසඳුම් ලබා දෙනවා වෙනුවට විශ්ව විද්‍යාල පාලනාධිකාරිය කළේ විශ්ව විද්‍යාලය හදිසියේ වසා දැමීමය. ඒ ජූලි මස 18 වැනි දා ය. සිසුහු යලිත් නේවාසිකාගාරවලට ගොස් පසු දින විශ්ව විද්‍යාලයෙන් පිටවීමට සැලසුම් කරගෙන සිටියහ. මේ අතරතුර පොලිස් කණ්ඩායමක් පැමිණ සිසුන්ට පහර දුන් අතර ඇතැම් සිසුහු තුවාල ලැබූහ.

පහර කෑ සිසුන් අතර රුහුණ විශ්ව විද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨයේ තුන් වැනි වසර සිසුවකු වූ රණවීල දේවයලාගේ සුසන්ත අනුර බණ්ඩාර සිසුවාද සිටියේය. ඔහුගේ නිවස පිහිටියේ බුත්තල උණාවටුනේය. පහරකෑ සුසන්ත තවත් සිසුන් පිරිසක් සමඟ එදින රාත්‍රියේම නිවෙස බලා පිටත් විය.

පහර කෑ සුසන්තට නිවසට ගිය පසු වමනය යෑම ඇතුළු රෝග ලක්ෂණ කිහිපයක් පැමිණි අතර ඔහු රෝහල් ගත කරනු ලැබීය. ඔහුගේ තත්ත්වය එන්න එන්නම අසාධ්‍ය විය. 

එවකට පොලිස්පතිවරයාව සිටියේ පොලිස් සේවයේ අපකීර්තිමත්ම පොලිස්පතිවරයකු ලෙස හැඳින්වෙන මහින්ද බාලසූරිය මහතාය. පොලිස් පහර දීම සම්බන්ධයෙන් එවකට අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වූ උදුල් පේමරත්න පොලිස්පතිවරයාට පැමිණිලි කළේය. 

මේ අතර සුසන්තගේ තත්ත්වය එන්න එන්නම උත්සන්න වූයෙන් ඔහු බදුල්ල රෝහලට ඇතුළත් කරනු ලැබීය. තමාට පොලිසිය පහර දුන් බව සුසන්ත බදුල්ල රෝහලේ සිටිය දී පොලිසියට ප්‍රකාශයක්ද ලබා දී තිබිණි.  

කෙසේ වෙතත් ජූලි 22 වැනි දා සුසන්ත මරණයට පත් විය. මෙම මරණය ස්වභාවික මරණයක් බව පොලිස්පතිවරයා මාධ්‍ය ඉදිරියේ ප්‍රකාශ කළේය. ඒ ජූලි මස 23 වැනි දා ය. ජූලි 24 වන විට පොලිස්පතිවරයාගේ ස්ථාවරය වෙනස් වී තිබිණි. ඔහු ප්‍රකාශ කළේ සිසුවා මිය යෑමට හේතුව රුහුණ විශ්ව විද්‍යාලයේම සිසුවකු වූ ඉන්දික බස්නායක නම් සිසුවාගේ පහර දීම බවයි. ඉන්දික බස්නායක 'බස්සා' යන අන්වර්ථ නාමයෙන් හැඳින්වීය. පොලිස්පතිවරයා එසේ කීවද සුසන්තට පහර දී තිබුණේ පොලිසිය විසිනි. 

සුසන්තට පහර දුන්නේ යැයි පොලිස්පතිවරයා විසින් ප්‍රකාශ කළ ඉන්දික බස්නායක අත්අඩංගුවට ගැනීමේ වගකීම පැවරුණේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරීවරයකුව සිටි අපරාධ විමර්ශනය සම්බන්ධයෙන් ඒ දිනවල ප්‍රසිද්ධියට පත්ව සිටි ශානි අබේසේකරටය.  ශානි ඒ සම්බන්ධයෙන් සොයා බැලීමක් කළ අතර ඉන්දික බණ්ඩාර හෙවත් බස්සා අත්අඩංගුවට ගැනීමට තරම් ප්‍රමාණවත් සාක්කි නැති බව පෙනී ගියේය. එනිසා ඔහු 'බස්සා' අත්අඩංගුවට ගත්තේ නැත.

මේ අතර හදිසියේම ශානි අබේසේකරට පොලිස්පති මහින්ද බාලසූරියගෙන් කැඳවීමක් ලැබිණි.

ශානි අබේසේකර පොලිස්පතිගේ කාර්යාලයට ගියේය. 'බස්සා' අත්අඩංගුවට ගන්නා ලෙස පොලිස්පති යලිත් වරක් දැනුම් දුන්නේය.

ශානි අබේසේකර - සර් මට 'බස්සා' අත්අඩංගුවට ගන්න බැහැ. සාක්කි නැහැ.

පොලිස්පති - ඡන්දෙ තිබ්බා. ඡන්දෙටවත් උඹලාගෙන් ආණ්ඩුවට කිසිම සපෝර්ට් එකක් තිබ්බේ නෑ. උඹලා කොස් ඇට මීයෙක්වත් ඇල්ලුවේ නැහැනේ. 

ශානි අබේසේකර - සර් කොස්ඇට මීයන්ව අල්ලන්නේ අපි නෙමෙයිනේ. කොස් ඇට මීයන්ව අල්ලන්නේ බලල්ලුනේ.

පොලිස්පති - තමුන් දන්නවද තමුන් කතා කරන්නේ කාටද කියලා?

ශානි අබේසේකර -  ඔව් සර්. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පොලිස් දෙපාර්තමේන්තුවේ 32 වැනි පොලිස්පති මහින්ද බාලසූරියට.

පොලිස්පති - පලයන් හු**ගේ පුතා එළියට

ශානි පොලිස්පතිවරයාගේ කාර්යාලයෙන් පිටත්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන විට ඔහු වහාම ක්‍රියාත්මක වන පරිදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉවත් කර කොළඹ වෙනත් ප්‍රදේශයකට ස්ථාන මාරු කිරීමේ නියෝගය ලැබී තිබිණි.

ශානි අබේසේකර ස්ථාන මාරු ලැබ ගියේය. ටික කාලයක් යද්දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් ඇති වූ අතර එවකට රජය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවශ්‍යම නිලධාරීන් සම්බන්ධයෙන් තක්සේරුවක් කරනු ලැබීය. එහි ප්‍රතිඵලයක් ලෙස වැඩි කාලයක් යන්නට මත්තෙන් ශානි අබේසේකර යලිත් වරක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටම පත් කරන ලදී.

බස්නායක සිසුවා අත්අඩංගුවට ගැනීම ශානි ප්‍රතික්ෂේප කිරීමත් සමඟ එවකට පොලිස්පති මහින්ද බාලසූරිය වෙනත් පොලිස් කණ්ඩායම් දෙකක් යොදවා බස්නායක සිසුවා අත්අඩංගුවට ගනු ලැබීය. පසුව 2012 වසරේ දී ඔහු සියලු චෝදනාවලින් නිදහස් කිරීමට අධිකරණය නියෝග කළේය.

Share