අපේ ජන බල පක්ෂයේ එක මන්ත්‍රී ධුරයක⁣ට නම් හතරක්? : හිමිවරු තිදෙනකුත් ඒ අතර

Staff Writer | Author . Translate to English or தமிழ் 8/13/2020 10:30:00 AM
අපේ ජන බල පක්ෂයේ එක මන්ත්‍රී ධුරයක⁣ට නම් හතරක්? : හිමිවරු තිදෙනකුත් ඒ අතර

කොඩිය ලකුණින් තරගවැදුණ අපේ ජන බල පක්ෂයට හිමි වූ ජාතික ලයිස්තු මන්ත්‍රීධූරය සම්බන්ධයෙන් නීතිමය තත්ත්වය සලකා බලා   මැතිවරණ කොමිෂන් සභාව තීරණයක් ගන්නා තුරු ඒ සඳහා අපේක්ෂකයකු නම් කිරීම නවතා දැමීමට එම පක්ෂය තීරණය කර තිබේ.

බෞද්ධ ජනතාව වෙනුවෙන් පෙනී සිටීම සඳහා පාර්ලිමේන්තු අපේක්ෂකත්වයට ඉල්ලු සංඝයා වහන්සේලා  මන්ත්‍රීධූරයක් තමන් සතුකරගැනීමට දරන උත්සාහය පිළිබඳව සමාජය තුළද විචේනයක් ඇතිව තිබේ.

තම පක්ෂය ඇතිකළ වැඩිපිලිවෙල කඩාකප්පල් කල බවත් මෙය ආණ්ඩුවේ, විපක්ෂයේ කුමන්ත්‍රණයක් බවත් අපේ ජන බල පක්ෂයෙන් ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරග වැදුන පාහියන්ගල ආනන්ද හිමියෝ පැවුසුහ.

මැතිවරණ කොමිෂන් සභාවේ ප්‍රතිචාරය

අතුරලියේ රතන හිමියන් විසින් නායකත්වය ලබාදුන් අපේ ජනබල පක්ෂයේ ලේකම් ධුරය සම්බන්ධයෙන් ගැටලුවක් ඇති බැවින්, එයට අදාළ නීතිමය තත්ත්වය නිසි ලෙස අධ්‍යයනය කර තීරණයක් ගන්නාතුරු මන්ත්‍රී ධුරය සඳහා කිසිදු තැනැත්තෙකුගේ නම ගැසට් මගින් ප්‍රසිද්ධ නොකිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ.

පක්ෂයේ මහලේකම් ලෙස සඳහන් කරමින් පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සදහා උන්වහන්සේගේ නම යෝජනා කර තිබිය දී, පක්ෂයේ සභාපති සමන් පෙරේරා මහතා විසින් එවන ලද ලිපිය අනුව පක්ෂ ව්‍යවස්ථාවේ විධිවිධාන අනුව විමලතිස්ස හිමියන් ඉකුත් 07 වැනිදා සිට ලේකම් ධුරයෙන් ඉවත් කර නිශාන්ත රත්නායක මහතා ලේකම් ලෙස පත් කළ බව මැතිවරණ කොමිසමට දන්වා ඇති බවද කොමිසම සඳහන් කරයි.

එම පක්ෂයේ නව මහලේකම් නිශාන්ත රත්නායක මහතා අත්සන් කළ ලිපියක් මගින් පක්ෂයේ මන්ත්‍රී ධුරය සඳහා සමන් පෙරේරා මහතා නම් කර තිබේ. ලේකම් ලෙස පෙනී සිටින දෙදෙනෙකු විසින් එකම මන්ත්‍රී ධුරයක් සඳහා දෙදෙනෙකුගේ නම් යෝජනා කර ඇති බැවින් මෙයට අදාළ නීතිමය තත්ත්වය නිසි ලෙස අධ්‍යයනය කර තීරණයක් ගන්නාතුරු එම මන්ත්‍රී ධුරය සඳහා කිසිදු තැනැත්තෙකුගේ නමක් ගැසට් මගින් ප්‍රසිද්ධ නොකිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර නැතැයි දැනුම් දී තිබේ.

රතන හිමිගේ ඉල්ලීම

මැතිවරණ ප්‍රතිඵල නිකුත්වීමෙන් පසු රතන හිමියන් මුණගැසී ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය තමන්ට ලබාදෙන ලෙස ඉල්ලා සිටි බවත්, අපේ ජනබල පක්ෂයේ ලේකම් හිමියන් විසින් ඇති කර තිබෙන තත්ත්වය විසඳාගන්නා තෙක් ඒ පිළිබඳ අවසන් තීරණයකට එළඹීමට නොහැකි වී ඇති බවත් බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පැවසුහ.

අපේ ජනබල පක්ෂයේ ලේකම් වේදිනිගම විමලතිස්ස හිමියන්ගේ කුමන්ත්‍රණයකට තමන් හා රතන හිමියන් හසුවූවා යැයි හැඟීමක් ඇති වන බවද ඥානසාර හිමියෝ  කියා සිටියහ.

තමන් මෙම පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අපේක්ෂා කරනුයේ ජාතිය ආරක්ෂා කිරීම වෙනුවෙන් හඬක් නැගීමට බවත්, රතන හිමියන්ද තමන් එම මන්ත්‍රී ධුරය ලබාගැනීම සඳහා සුදුසු බව පැවසීම අසාධාරණ නොවන බවත් ඥානසාර හිමියෝ කියා සිටියහ.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඥානසාර හිමියෝ මෙසේද කීහ.

"රටේ තීන්දු තීරණ ගන්න තැනට යන්න අපට අවස්ථාවක් ලැබිලා තියෙනවා. මට ඕන වුණේ මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ නැතුව රට පුරාම ගිහිල්ලා ඡන්ද එකතු කරන්න. සාතිශය බහුතරය මටත් ඉදිරිපත් වෙන්න කිව්ව නිසයි මම ඉදිරිපත් වුණේ. ඒ අනුව තමයි කුරුණෑගල දිස්ත්‍රික්කය තෝරගත්තේ. අපේ මතය ගෙනියන්න අපට ලැබුණ අවස්ථාව හරි අඩුයි. මං මේ මැතිවරණයට වියදම් කළේ ලක්ෂ 04යි. මම මට වඩා ජාතියට ආදරෙයි. මන්ත්‍රීකම ලැබෙන්නේ කාටද කියන එක නෙමෙයි වැදගත්.

මන්ත්‍රී ආසනයක් හිමිවෙලා තියෙනවා කියලා දැනගත්තම මම රතන හාමුදුරුවන්ට කතා කළා. අපි හම්බවෙලා කතා කළා. මම කිව්වා මේ ඡන්ද බොහොමයක් ලැබුණේ මම ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු යන බව ප්‍රචාරණ දැන්වීම්වල දාපු නිසා බව. ඒ නිසා මට මේ අවස්ථාව දෙන්න කියලා. අවුරුද්දක කාලයක් මට දෙන්න කියලා. රතන හාමුදුරුවෝ කිව්වා එයා තමයි ඒකට සුදුසුම කියලා. අවුරුදු 15ක් අත්දැකීම් තියෙන නිසා එයා ඒකට සුදුසුයි කියලා. මාත් ඒක පිළිගන්නවා. ඒත් මේ රටේ මිනිස්සු විශ්වාස කරපු දෙයක් තියෙනවා.

අපිව කුමන්ත්‍රණයකට අහුවුණාද කියන හැඟීමක් මට තියෙනවා. මේ ලේකම් හිමියන් මට හමුවුණේ එකම එක දවසයි. එයාට බොහොම චෝදනා තියෙන කෙනෙක්. වැඩ හිටපු පන්සලේ ප්‍රශ්නයක් තියෙනවා, අස්ගිරි සංඝ සභාවේ ප්‍රශ්නයක් තියෙනවා. වරෙන්තුවක් තියෙනවා. මේවයෙන් ගැලවෙන්නයි මේ මන්ත්‍රී ධුරය ලබාගන්න හදන්නේ. දැන් අපට කොන්දේසි තුනක් පණිවුඩකරුවෙක් අතේ එවලා තියෙනවා. මේ චෝදනා තුනෙන් එයාව නිදහස් කරලා දෙන්න එතකොට මන්ත්‍රී ධුරය දෙන්නම් කියලා. මේ හාමුදුරුවෝ පට්ට වැඩ්ඩෙක්. මේ ප්‍රශ්නය මෙහෙම හැංගිලා ඉදලා විසඳන්න බෑ. ඒ නිසා මේ හාමුදුරුවෝ එළියට ඇවිල්ලා මේ ගැන අපි එක්ක සාකච්ඡා කරන්න ඕන"

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් රතන හිමියන්ගෙන් විමසූවද උන්වහන්සේ දුරකථනයට ප්‍රතිචාර නොදැක්වීය. කෙසේ වෙතත් ජාතික ලයිස්තු මන්ත්‍රීධූර ගැසට් කිරීම මැතිවරණ කොමිෂන් සභාව මගින් මේවනවිට ආරම්භකර ඇති අතර නව පාර්ලිමේන්තුව ලබන 20 දා රැස්වීමට නියමිතව ඇත.

Share