ශානි ගැන අප්‍රසිද්ධ කතා - පොලිස් පරීක්ෂක ශානිගේ කෙළින් වැඩ නිසා CID ඒඑස්පීට මාරුවක්

Staff Writer | Author . Translate to English or தமிழ் 8/12/2020 4:19:00 PM
ශානි ගැන අප්‍රසිද්ධ කතා - පොලිස් පරීක්ෂක ශානිගේ කෙළින් වැඩ නිසා CID ඒඑස්පීට මාරුවක්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මේ වන විට සිටිනුයේ රිමාඩ් බාරයේය. ශ්‍රී ලංකාවේ මහත් ආන්දෝලනයක් ගෙන දුන් විමර්ශන ඉතා විශාල සංඛ්‍යාවක් සිදු කළ ශානි අබේසේකර මහතා සම්බන්ධයෙන් සමාජයේ බොහෝ දෙනා දන්නේ ජනමාධ්‍ය මගින් පල කරනු ලබන කතා පමණි. ඔහු සම්බන්ධයෙන් අප්‍රසිද්ධ කතා බොහෝය. මේ එවැනි කතාවකි.

මේ සිදුවීම සිදුවන අවධියේ දී ශානි අබේසේකර පොලිස් පරීක්ෂකවරයෙකි. ඔහු සේවය කළේ ග්‍රෑන්පාස් පොලිසියේය. එවකට ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ ස්ථානාධිපති ලෙස කටයුතු කළේ නීල් හෙට්ටිආරච්චි මහතාය. ග්‍රෑන්පාස් පොලිසිය අධීක්ෂණය කළේ කොළඹ උතුර සහකාර පොලිස් අධිකාරී (3) ලෙස සිටි සහකාර පොලිස් අධිකාරී අඟුනාවල මහතාය. 

ග්‍රෑන්පාස් පොලිසියේ පොලිස් සැරයන් 4030 නවරත්න මහතා රථවාහන රාජකාරියක නිරත වෙමින් සිටියේය. දුරකතනය ඇමතුමක සිටිමින් මෝටර් රථයක් පදවාගෙන යන වාහනයක් පොලිස් සැරයන් 4030 නවරත්න මහතා නිරීක්ෂණය කළේ එම අවස්ථාවේය. ඔහු වාහනය නතර කිරීමට අණ කළේය. වාහනය පදවාගෙන ගියේ කාන්තාවකි. පොලිස් අණ නොතකා වාහනය නොනවත්වා ගියේය. ඒ සම්බන්ධයෙන් සැක පහළ කළ පොලිස් සැරයන් නවරත්න මහතා වාහනය හඹා ගොස් නතර කර ගැනීමට සමත් විය.

වාහනයේ වීදුරුව පහත් කළ කාන්තාව කීවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (සීඅයිඩියේ) සහකාර පොලිස් අධිකාරී මහේෂ් පෙරේරා තමාගේ ස්වාමිපුරුෂයා බවයි. එසේ ප්‍රකාශ කර පොලිස් සැරයන්ටද බැන වැදී වාහනය යන්නට ගියේය. 

මේ සිද්ධිය වන දිනයේ ග්‍රෑන්පාස් පොලිසියේ ස්ථානාධිපති නීල් හෙට්ටිආරච්චි මහතා නිවාඩු ලබා  සිටි අතර වැඩ බලන ස්ථානාධිපතිවරයා ලෙස රාජකාරි කළේ පොලිස් පරීක්ෂක ශානි අබේසේකරය. පොලිස් සැරයන්වරයා මේ සම්බන්ධයෙන්   වැඩබලන පොලිස් ස්ථානාධිපති ශානි අබේසේකර දැනුම්වත් කළේය. ශානි අබේසේකර ඒ සම්බන්ධයෙන් සහකාර පොලිස් අධිකාරී අඟුනාවල මහතා දැනුම්වත් කර වාහන නතර කර පරීක්ෂා කිරීමට හදිසි ඇමතුම් අංක හරහා නියෝග ලබා දුන් අතර වාහනය නතර කරවා ගත් පසු එය පරීක්ෂා කිරීම සඳහා ශානි අබේසේකර ද ගියේය.

'මම සීඅයිඩී එකේ ඒඑස්පී මහේෂ් පෙරේරාගේ වයිෆ්. මහේෂ් කිව්වා එයා එනකම් මේක චෙක් කරන්න දෙන්න එපා කියලා.' වාහනයේ සිටි කාන්තාව කීවාය.

ටික වේලාවකින් සිවිල් ඇඳුමින් සැරසුණු පුද්ගලයෙක් පැමිණ තමා රහස් පොලිසියේ බව පවසමින් හැඳුනුම්පත ඉදිරිපත් කළේය.

රහස් පොලිස් සහකාර පොලිස් අධිකාරී - තමුසෙගේ අයිඩීඑක පෙන්වනවා

ශානි අබේසේකර - මේ තියෙන්නේ මගේ අයිඩී එක

රහස් පොලිසියේ සහකාර පොලිස් අධිකාරී - තමුසෙගේ අයිඩී එක පෙන්වනවා

එතැන සිටි සැරයන්වරයෙක් - පොලිසියේ සටහන් දමමින් ඉන්දි ආවේ මේකට. අයිඩී එක පොලිසියේ.

රහස් පොලිසියේ සහකාර පොලිස් අධිකාරී - ඒකනේ තමුසෙලා මංකොල්ලකාරයො වගේ අයිඩී නෑ. ඒකයි නවත්වන්නැතුව ගිහින් තියෙන්නේ. 

ශානි අබේසේකර - සර් මගේ අයි.ඩී එක පෙන්නුවානේ. අපිට වාහනය චෙක් කරන්න ඕනෑ. අපිට අපේ ඩියුටිය කරන්න ඉඩ දෙන්න.

රහස් පොලිසියේ සහකාර පොලිස් අධිකාරී - මට තමුසෙන් කටඋත්තරයක් ගන්න ඕනෑ.

ශානි අබේසේකර - ඇයි සර් මගෙන් කටඋත්තරයක් ගන්නේ?

රහස් පොලිසියේ සහකාර පොලිස් අධිකාරී - තමුසෙට ඒ පැහිච්චකංවලින් වැඩක් නැහැනේ. කටඋත්තරයක් දෙනවා. 

පොලිස් පරීක්ෂක ශානි අබේසේකර තම නම ගම ඇතුළු සාමාන්‍ය විස්තර ටික ලබා දුන්නේය. වෙනත් කිසිදු ප්‍රකාශයක් ලබා නොදුන් ශානි අබේසේකර කටඋත්තරයට ලබා දුන්නේ මෙපමණකි. ''මගේ කටඋත්තරය කොළඹ උතුර සහකාර පොලිස් අධිකාරී තුන තුමාට පමණක් ලබා දෙමි.'' 

ශානි අබේසේකර - සර් මම අපරාධයක් කරලත් නෑ. මගේ විනය බලධාරියා සර්ත් නෙමෙයි. මම මගේ විනය බලධාරියාට කටඋත්තරයක් දෙන්නම්. 

එසේ පැවසූ ශානි අබේසේකර ග්‍රෑන්පාස් පොලිසිය අධීක්ෂණය කරන සහකාර පොලිස් අධිකාරී අඟුනාවල මහතාට ඇමතුමක් ලබා දී සියලු විස්තර සැල කර සිටියේය. එම සැලකිරීම්වලින් පසු ඔහු නියෝග කළේ වාහනය සහ සියලු දෙනා සමඟ ග්‍රෑන්ඩ්පාස් පොලිසියට පැමිණෙන ලෙසයි. 

ශානි අබේසේකර වාහනය, කාන්තාව සහ සීඅයිඩියේ සහකාර පොලිස් අධිකාරී මහේෂ් පෙරේරා ග්‍රෑන්ඩ්පාස් පොලිසියට කැඳවාගෙන ආ අතර සහකාර පොලිස් අධිකාරී අඟුනාවල මහතා ද එහි පැමිණ සිටියේය. ශානි අබේසේකර සිදුවීම සම්බන්ධයෙන් කටඋත්තරයක් ලබා දුන්නේය.  සහකාර පොලිස් අධිකාරීවරයා සියලු දෙනාගෙන් කටඋත්තර සටහන් කරගෙන සහකාර පොලිස් අධිකාරී මහේෂ් පෙරේරාගේ හැසිරීම ගැන වාර්තාවක් ඉහළ පොලිස් නිලධාරීන්ට ලබා දුන් අතර එහි ප්‍රතිඵලයක් ලෙස සහකාර පොලිස් අධිකාරී මහේෂ් පෙරේහා වහාම ක්‍රියාත්මක වන පරිදි රහස් පොලිසියෙන් ඉවත් කර වව්නියාවට ස්ථාන මාරු කරනු ලැබීය. 

ග්‍රැන්පාස් පොලිසිය එම කාන්තාවට එරෙහිව චෝදනා දෙකක් ගොනු කළේය. ඒ පොලිස් අණ නොතැකීම සහ අන් අයකු ලෙස පෙනී සිටීමේ චෝදනාවයි. මහේස්ත්‍රාත් අධිකරණයේ දී සාක්කි විභාගය පැවැති අතර ශානි අබේසේකර මහතා ද සාක්කි ලබා දුන්නේය. ඔහු සහකාර පොලිස් අධිකාරීගේ හැසිරීම ගැන ද සියලු විස්තර සාක්කි දෙමින් හෙලි කළේය. 

'කෝ ඒ නිලධාරියා' යැයි එම සාක්කියෙන් පසු මහේස්ත්‍රාත්වරිය විමසා සිටි අතර ශානි අබේසේකර මහතා 'ඔහු මේ අධිකරණයේ පෙනී සිටිනවා' යැයි කියමින් පොලිස් නිලධාරියා පෙන්වා සිටියේය. මහේස්ත්‍රාත්වරිය විසින් සහකාර පොලිස් අධිකාරීගේ හැසිරීම දැඩි දෝෂදර්ශනයට ලක් කළ අතර ඔහු සම්බන්ධයෙන් විමර්ශනය කරන ලෙස පොලිස්පතිවරයාට ද නියෝග කළේය.

අවසානයේ විමර්ශනයකින් පසු මහේෂ් පෙරේරාට චෝ්දනා පත්‍රයක් ද නියම විය.

ඊට කලකට පසු ශානි අබේසේකර මහතා රහස් පොලිසියට ස්ථාන මාරුලැබීය.  ඔහු එහි රාජකාරි කරමින් සිටිනා අතරතුර පෙර කී (විනය හේතු මත රහස් පොලිසියෙන් ඉවත් කළ) සහකාර පොලිස් අධිකාරී මහේෂ් පෙරේදා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ධුරයට උසස්වීම් ලැබූ අතර 2011 වසරේ ජූනි මාසයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ලෙස මහේෂ් පෙරේරා පත් කරනු ලැබීය.

ශානි අබේසේකර ඔහු යටතේ ද කොන්ද කෙළින් තබාගෙන වැඩකටයුතු කළ අතර මහේෂ් පෙරේරා නොයෙක් අවස්ථාවල ශානි අබේසේකරගෙන් පලි ගැනීමට උත්සාහ කළත් ශානි විමර්ශන නිසි ආකාරයට සිදු කර තිබූ නිසා ඒ සියලු ප්‍රයත්නයන් අසාර්ථක විය. ශානි රහස් පොලිසියේ සිටිය දී මහේෂ් පෙරේරා ඉදිරිපිටදීම ප්‍රසිද්ධ රැස්වීම්වල පවා ඔහුගේ අඩුපාඩු විවේචනය කළේය.  

මේ ශානි ගැන එක් අප්‍රසිද්ධ කතාවකි. 

(සටහන තරිඳු ජයවර්ධන)

Share