කුරුණෑගල නගරාධිපති අත්අඩංගුවට ගන්නැයි නියෝග

Staff Writer | Author . Translate to English or தமிழ் 8/6/2020 1:00:00 PM
කුරුණෑගල නගරාධිපති අත්අඩංගුවට ගන්නැයි නියෝග

කුරුණෑගල රාජ සභා මණ්ඩපය කඩා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල නගරාධිපති සහ නාගරික කොමසාරිස් ඇතුළු පස් දෙනකු අත්අඩංගුවට ගැනීමට අධිකරණයෙන් වරෙන්තු ලබාගන්නා ලෙස නීතිපතිවරයා වැඩ බලන පොලිස්පතිවරයාට නියෝග කර තිබේ.

එම රාජසභා මණ්ඩපය ජූලි 14 වැනි දා රාත්‍රියේ කුරුණැගල මහනගර සභාවේ පිරිසක් විසින් කඩා දමනු ලැබ තිබිණි.

කුරුණෑගල රාජ සභා මණ්ඩපය කඩා දැමීම ගැන කඩිනමින් විමර්ශනයක් සිදුකර ලබන 31 ට පෙර උදෘත එවන ලෙස නීතිපතිවරයා ජූලි 22 වැනිදා පොලිසියට දැනුම් දී තිබිණි.

ඒ සම්බන්ධයෙන් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා, කුරුණෑගල කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා, කුරුණෑගල විශේෂ අපරාධ විමර්ශන ඒකකය සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ සහභාගිත්වයෙන් සාකච්ඡා පැවැත්විණි.

එම සාකච්ඡාවලින් අනතුරුව නීතිපතිවරයා පිටු පහක උපදෙස් වාර්තාවක් නිකුත් කළේය

එම උපදෙස් අනුව විමර්ශනය කර ජූලි 31 වැනිදාට පෙර උදෘත එවන ලෙසට නීතිපතිවරයා අදාළ අංශවලට දැනුම් දුන්නේය.

කුරුණෑගල නගරාධිපතිවරයා ඇතුළු මෙයට සම්බන්ධ සියලු පාර්ශ්වවලින් ප්‍රකාශ සටහන් කරගන්නා ලෙසටද නීතිපතිවරයා එහිදි උපදෙස් ලබා දී තිබිණි.

ඒ අනුව පොලිසිය යැවූ උදෘත වලින් අනතුරුව නීතිපතිවරයා මෙම නියෝග නිකුත් කර තිබේ.

මීට වගකිව යුත්තන්ට එරෙහිව නීතිමය පියවර ගත යුතු බව අදාළ ගොඩනැගිල්ල විනාශ කිරීම ගැන සොයාබැලීමට අගමැතිවරයා පත් කළ කමිටුව ද අතුරු වාර්තාවක් නිකුත් කරමින් යෝජනා කළේය.

එම විනාශයට වගකිව යුතු ආයතන හෝ පුද්ගලයන් මගින් මෙය සංරක්ෂණය කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලබාගත යුතු යැයි ද එම  කමිටුව යෝජනා කළේය.

Share