පාර්ලිමේන්තුව යළි කැඳවීම අගෝස්තු 20 වැනිදා

Staff Writer | Author . Translate to English or தமிழ் 8/4/2020 9:51:00 AM
පාර්ලිමේන්තුව යළි කැඳවීම අගෝස්තු 20 වැනිදා

අභිනව පාර්ලිමේන්තුව මේ මස 20 දා කැඳවන බව ජනාධිපතිවරයා විසින් ගැසට් මගින් ප්‍රකාශයට පත්කරනු ලැබ තිබේ.

පාර්ලිමේන්තුව 20 වැනිදා කැඳවන බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ(03) මධ්‍යම රාත්‍රියේ ගැසට් මගින් ප්‍රසිද්ධ කළේය.

නමුත් එහි පාර්ලිමේන්තුව රැස්වීමේ වේලාව ප්‍රකාශ කර නොමැත.2020 මහ මැතිවරණය හෙට දිනයේ පැවැත්වීමට නියමිතය.

මාර්තු මස 02 වැනිදා පාර්ලිමේන්තුව විසිරවීමෙන් පසුව පසුගිය මැයි මස 14 වැනිදා යළි රැස්වීමට නියමිතව තිබුණි.නමුත් මැතිවරණය කල්‍ යාම හේතුවෙන් මෙලෙස පාර්ලිමේන්තුවේ යළි කැඳවීමේ දිනය යළි ප්‍රකාශයට පත්කර ඇත.

මැතිවරණය කල් ගිය හැටි

පළමු අවස්ථාවේදී පාර්ලිමේන්තුව මැතිවරණය අප්‍රේල් 25 වැනි දාට නියම කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මාර්තු දෙවැනි දා පාර්ලිමේන්තුව විසිරුවා හැරීමේ ගැසට් නිවේදනය නිකුත් කළේය. 

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ කොරෝනා වසංගතය උත්සන්න වූ නිසා මැතිවරණය අදාල දිනයේ පැවැත්විය නොහැකි බව මැතිවරණ කොමිෂන් සභාව අප්‍රේල් 19 වැනිදා මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් දැනුම් දුන් අතර ඒ බව ගැසට් පත්‍රයක් මගින්ද ප්‍රසිද්ධ කළේය. 

ඡන්දය පැවැත්වෙන දිනය COVID-19 පාලනය මත තීරණය වනු ඇති බවත් ඡන්දය මැයිද, ජුනිද ඉන් ඔබ්බටද යන්න  කිව නොහැකි බවත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා එදින මාධ්‍ය හමුවක් කැඳවමින් ප්‍රකාශ කළේය. පරමාධිපත්‍යය ජනතාව සතු බවත් එය ක්‍රියාවට නංවන්න ජනතාවක් සිටිය යුතුයි බවත් ඉහළින්ම ඇත්තේ ජනතාවගේ ආරක්ෂාව බවත් ඒ මහතා අවධාරණය කළේය.

අප්‍රේල් 20 වැනි දා රැස්වූ මැතිවරණ කොමිෂන් සභාව එවකට තිබූ තත්ත්වය සැලකිල්ලට ගෙන මහ මැතිවරණය ජුනි 20 වැනි දා පැවැත්වීමට තීරණය කළේය.  

ඉන් අනතුරුව පාර්ලිමේන්තුව විසිරවීමට මාස තුනක් ඇතුළත මහ මැතිවරණය පැවැත්විය නොහැකි බැවින් පාර්ලිමේන්තුව විසිරුවන ගැසට්ටුව බල රහිත කරන ලෙස ඉල්ලමින් සහ ජුනි 20 වැනි දා පාර්ලිමේන්තු මහ මැතිවරණය පැවැත්වීමට ගත් තිරණය අත්හිටුවන ලෙස ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධකණයට මූලික අයිතිවාසිකම් පෙත්සම් කිහිපයක් ඉදිරිපත් විය.
 
නීතීඥ චරිත ගුණරත්න,රාවය හිටපු කතෘ වික්ටර් අයිවන්,විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ අධ්‍යක්ෂ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු, සමගි ජනබලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර,ජාතික හෙල උරුමයේ නායක පාඨලී චම්පික රණවක සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම පෙත්සම් ගොනු කර තිබිණි.

මැතිවරණ කොමිසම,එහි සාමාජිකයන්,ජනාධිපති ලේකම්,සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් සහ නීතිපති ඇතුළු පිරිසක් මෙම පෙත්සම්වල වගඋත්තරකරුවෝ වූහ.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය,ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන බුවනෙක අලුවිහාරේ,සිසිර ද ආබෘ,ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මළල්ගොඩ යන මහත්වරුන්ගෙන් මෙම පංච පුද්ගල විනිසුරු මඩුල්ල සමන්විත විය.  

එම පෙත්සම් සලකා බැලීම මැයි 18 ආරම්භ කෙරුණු අතර එම පෙත්සම් සලකා බැලීමේදී කරුණු දක්වමින් මැතිවරණ කොමිසම ප්‍රකාශ කළේ පවතින තත්ත්වය අනුව ජූනි 20වැනිදා ද පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්විය නොහැකි බවයි.

දින 10ක පමණ පෙත්සම් සලකාබැලීමෙන් අනතුරුව එම මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ජූනි දෙවැනිදා තීන්දු කළේය.

ඉන් පසු මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දුන්නේ මහ මැතිවරණය පවත්වන දින ජූනි 8 වැනිදා තීරණය කරන බවයි.

නමුත් ජූනි 08 වැනිදා සවස මාධ්‍ය හමුවක් පවත්වමින් මැතිවරණ කොමිසම පැවසූවේ එම සතිය තුළ මැතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශ කරන බවයි.

ඒ අනුව ජූනි 10 වැනිදා රැස්වූ මැතිවරණ කොමිෂන් සභාව මහ මැතිවරණ අගෝස්තු 05 වැනි දා පැවැත්වීමට තීරණය කළේය.

Share