ආණ්ඩු කරන හැටි ගැන අපේක්ෂකයෝ කියන කතා

ආණ්ඩු කරන හැටි ගැන අපේක්ෂකයෝ කියන කතා

මෙවර මහමැතිවරණයේ අවසන් අදියරට මේ වන විට පැමිණ ඇති අතර දේශපාලන පක්ෂ අතර මෙන්ම අපේක්ෂකයන් අතරද උණුසුම් සටනක් ඇති වී තිබේ. 

ඉදිරි මැතිවරණය සහ ඔවුන්ගේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් ප්‍රධාන දේශපාලන පක්ෂ අපේක්ෂකයින් කිහිපදෙනෙකුගෙන් Medialk.com අදහස් විමසීමක් සිදු කළේය.

ජනතාව අපහසුතාවට පත්කිරීමේ ප්‍රතිවිපාක මෙවර මැතිවරණයේදී ජනතාව රජයට ලබාදිය යුතුයි - හිටපු අමාත්‍ය කොළඹ දිස්ත්‍රික් සමගි ජන බලවේගයේ අපේක්ෂක පාඨලී චම්පික රණවක  

ප්‍රශ්නය : සමගි ජන බලවේගය ඉදිරියේදී ආණ්ඩුවක් පිහිටුවන්නේ නම් ඒ සඳහා අනෙකුත් පක්ෂ සම්බන්ධ කරගන්නවාද? එසේනම් ඒ පක්ෂ මොනවාද?

පිළිතුර : අනිවාර්යයෙන්ම ඉදිරියේදී මේ රටේ දේශපාලනයේදී මතුවන ප්‍රධාන කරුණු දෙක තමයි ආර්ථික ආගාධයෙන් සහ ණය අර්බුදයෙන් රට බේරා ගන්නේ කොහොමද කියන කාරණය. ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රශ්නය ඒ සමගම ගැටගැහිලා එනවා. ප්‍රජාතන්ත්‍රවාදය රට තුළ ස්ථාපිත කරගන්නේ කොහොමද කියන ගැටලුව තිබෙනවා. මේ තත්ත්වය තුළ ප්‍රජාත්‍රන්ත්‍රවාදී සටන් පාඨය තුළ අපට බොහෝ පිරිස් සමග එකතු වෙන්න පුළුවන්. ආර්ථික ක්‍රියාවලිය සහ ණයබර කියන කාරණාවලදී ඇතැම්විට විට ඉදිරියේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොටස් සමග සන්ධානගත වෙන්න සිදුවේවි.

ප්‍රශ්නය : ඔබ නියෝජනය කළ ආණ්ඩුව මගින් ආරම්භ කළ ඇතැම් ව්‍යාපෘති මේ වනවිට නතර කර දමා තිබෙනවා. ඒ අතර ඔබ ආරම්භ කළ ව්‍යාපෘති කිහිපයක්ම තිබෙනවා. ඔබ ආරම්භ කළ ව්‍යාපෘති අසාර්ථක නිසාද මෙලෙස නවතා තිබෙන්නේ ?

පිළිතුර :  රජය විවිධ සංවර්ධන ව්‍යාපෘති නතර කරලා තියෙනවා. එහි ප්‍රධානම ව්‍යාපෘති කිහියක් තමයි සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය, කැලණිවැලි දුම්රිය පද්ධතිය, බස් නවීකරණ ව්‍යාපෘතිය. මේ පමණක් නෙවෙයි මොවුන් තවත් ව්‍යාපෘති නතර කරන්න සූදානමින් ඉන්නේ. ඒ මොකද විදෙස් මුදල් භාවිත කිරීමේ මිල සීමාවක් මුදල් අමාත්‍යංශය මගින් රජයට දීලා තියෙනවා. ණය අර්බුදය සහ බදු සහන ලබාදීමෙන් මේ ආණ්ඩුව ඇති කරගත්තු මූල්‍ය අර්බුදය නිසා රජයට වියදම් කිරීමේ සීමාවක් පැනවිලා තියෙනවා.

2020 – 2025 කාලය තුළ ඩොලර් බිලියන 05ක සංවර්ධනය පමණයි සිදුකරන්න වෙන්නේ කියලා මහින්ද රාජපක්ෂ මහත්තයා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරලා තියෙනවා. මම ඉහතින් සඳහන් කළ දැනට ආරම්භ කරලා තියෙන ව්‍යාපෘති කිහිපය සැලකූ විට ඩොලර් බිලියන 05 සම්පූර්ණ වෙලා තියෙන්නේ. ඒනිසා මේ ආණ්ඩුවට අලුතින් ඇතිකරන්න කියලා සංවර්ධන ව්‍යාපෘති නැහැ. ඒ නිසා ආණ්ඩුව උපක්‍රමශීලීව විවිධ පිරිස් යොදවලා කමිටු දාලා මේ ව්‍යාපෘති නතර කරලා අලුත් ව්‍යාපෘති සඳහා යොමු වෙනවා.

අලුත් ව්‍යාපෘති කියලා මේ අය කරන්න යන්නේ වෙන මොනවාවත් නෙවෙයි. අධිවේගී මාර්ග ව්‍යාපෘති. ඒවා තමයි කොල්ලුපිටිය සිට වරාය නගරය, නව කැලණි පාලමේ සිට අතුරුගිරිය, කුරුණෑගල සිට දඹුල්ලට සහ කහතුඩුවේ සිට රත්නපුරට තිබෙන අධිවේගී මාර්ග. මේවාට මෙම මුදල් යෙදවීමටයි ඔවුන් බලාපොරොත්තු වෙන්නේ. මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ සිටම ඉතාම දූෂිත පිරිසක් ඉන්නේ. මේ නිසා මේ බිලියන 05 හරහා ජාතික මංකොල්ලයක් කරගන්න පුළුවන් තැන එතැන කියලා හිතලයි මේ දේවල් පටන්ගන්න යන්නේ. මොකද නතර කරපු අනිත් ව්‍යාපෘති බොහොමයක් ජපන් ව්‍යාපෘති. ඒ වගේම අනෙක් ඒවා ගිවිසුම්ගත වෙලා තිබෙන ව්‍යාපෘති නිසා ඒවලින් හොරකම් කරන්න බැහැ. රටේ ජාතික භෞතික සැලැස්මට පටහැනිව තමයි මේ ව්‍යාපෘති නතර කරලා නව ව්‍යාපෘති කරන්න ඔවුන් සූදානම් වෙන්නේ. ඒ වෙන කුමකටවත් නෙවෙයි. සම්පූර්ණයෙන්ම ධනය හොරකම් කිරීමේ උවමනාව මතයි මේ දේවල් සිදුවන්නේ. ඒ වගේම මේ ණය අර්බුදයෙන් ගැලවීමට ඉදිරි කාලයේදී රටේ වටිනා ඉඩම්, අධිවේගී මාර්ග, විදුලි බලාගාර මේ සියල්ලම පුද්ගලික අංශයට සහ විදේශ සමාගම්වලට විකුණා දැමීම සඳහා දැනටමත් ආණ්ඩුව පිඹුරුපත් සකසලා ඉවරයි.

ප්‍රශ්නය : මහ මැතිවරණයෙන් අනතුරුව සමගි ජන බලවේගයේ ආණ්ඩුවක් ඇති වුවහොත් ඔබලා රට පාලනය කරන ආකාරය පැහැදිලි කරනවා නම්. එයත් යහපාලන ආණ්ඩුව වගේම වෙයිද ?

පිළිතුර :  මේ වනවිට ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාව සංශෝධනය කරලා තිබෙනවා. ඒ අනුව ඇමති මණ්ඩලය පත්කිරීමේදී, මූල්‍ය පාලනයේදී සහ නීති සැකසීමේදී පාර්ලිමේන්තුවට ප්‍රමුඛතාව ලැබෙනවා. 2015 පාලන කාලයේදී ජනාධිපතිවරයාගේ බලය පිළිබඳ ගන්ධබ්බ අවධියක් නැතිනම් අතරමැදි කාලයක් තිබුණේ. ඉදිරියේදී එහෙම ගැටුමක් ඇතිවෙන්න විදිහක් නැහැ. ජනාධිපතිවරයාට නිශ්චිත රාමුවක වැඩකරන්නයි තිබෙන්නේ. ඒ වගේම රටේ ආර්ථික අර්බුදය අපිට මුහුණ දෙන්න වෙලා තියෙන ලොකුම අර්බුදයයි. රාජපක්ෂලා 2010 සිට ඇතිකර තිබෙන ණය අර්බුදය වගේම කෝවිඩ් වසංගතය නිසා ජාතික හා ජාත්‍යන්තරව ඇතිකර තිබෙන අර්බුදයට අපිට මුහුණ දෙන්න වෙනවා. මෙහිදී සාමාන්‍ය ජනයා ආරක්ෂා කරගෙන, සාමාන්‍ය ජනයාට සහන දෙමින් ආර්ථිකය නව ආකාරයකට ගොඩනගන්නේ කොහොමද කියන කාරණය දෙස බැලීමයි අවශ්‍ය වෙන්නේ. මේ ගැන ලෝකය පුරාම සාකච්ඡා වෙනවා.

පැරණි මාවත් එකක්වත් මේ සඳහා ගැළපෙන්නේ නැහැ. ලිබරල් ආර්ථික ප්‍රතිසංස්කර හෝ යටිතල පහසුකම් වර්ධනය කර ගැනීම හරහා ඇතිකර ගන්නා ආර්ථික වර්ධනයෙන් මේ සඳහා විසඳුම් හොයන්න ලැබෙන්නේ නැහැ. ජනතා කෙන්ද්‍රීය ආර්ථිකයට අවශ්‍ය පදනම සකස්කර ගැනීම තුළයි මේ සඳහා විසඳුම් තිබෙන්නේ. අපේ විදේශ සංචිත වැඩි දියුණු කරගැනීම සඳහා නව උපාය මාර්ග සොයා ගැනීමත් ඒ සඳහා කළ යුතු කාර්යක් වෙනවා. දිගු කාලීන වශයෙන් දැනුම පදනම් කරගත්තු ආර්ථිකයකට රට ගෙන යාමත් කළ යුතු වෙනවා. මේ දේවල් තමයි අපිට ඉතුරු වෙලා තිබෙන මාර්ග වෙන්නේ. 

ඒ වගේම දේශපාලන වශයෙන් සහ සමාජයීය වශයෙන් රටේ පරිවර්තන යුගයක් ඇතිවෙමින් තිබෙනවා. මොකද විදෙස් ගතවෙලා හිටපු සැලකිය යුතු පිරිසකට දැන් ලංකාවට එන්න සිද්ධ වෙලා තිබෙනවා. සංචාරක ව්‍යාපාරය වගේ දේවල් අවුරුදු කිහිපයකට හැකිලෙන්න ඉඩ තියෙනවා. පරිභෝජනයට ලොකු සීමා පැනවෙන්න ඉඩ තිබෙනවා. මේ තත්ත්වය සමග අලුත් සමාජ වටපිටාවක් ඇතිවෙමින් තිබෙනවා. මේ නිසා ලංකාවට දැන් අවශ්‍ය වෙලා තියෙන්නේ ජනතා කේන්ද්‍රීය අලුත් වැඩපිළිවෙළක්.

ප්‍රශ්නය : මෙවර ඡන්ද දායකයා ඡන්දය භාවිත කිරීමේදී අවධාරණය කළ යුත්තේ කුමක්ද?

පිළිතුර : ජනතාව මෙවර ආණ්ඩුවට පණිවුඩයක් දෙන්න අවශ්‍යයි. ඒ මොකද මේ ආණ්ඩුව බලයට පත්වුණේ කූට මාධ්‍ය සංදර්ශනයකින්. මහා දේශමාමකත්වයක්, සිංහල බෞද්ධ මතවාදයක්, ජාතික ඉතිහාසයට බොහොම ආදරය කරනවා කියන හැඟීම එක්ක මිනිස්සුනගේ පපුවේ හැඟීම් ඉතාම නින්දිත විදිහට පාවිච්චි කරලා තමයි බලයට ආවේ. එහෙම බලයට පත්වෙලා පහුගිය නව මාසයක කාලය තුළ සිදුකළේ ඒ හැඟීම් අවුස්සපු මිනිස්සුන්ටම කනේ පහරවල් ගහපු එකයි. උතුරේ සහ නැගෙනහිර ඡන්දයට කරුණා සහ කේපී මෙහෙයවීමේ සිට රණවිරුවන්ට අතුල් පහරක් එල්ල කළා. 

කුරුණෑගල රාජසභා මණ්ඩපය විනාශ කරලා ජාතික ඉතිහාසයට අතුල් පාරක් එල්ල කළා. එම්.සී.සී. ගිවිසුම අහෝසි කරනවා කියලා ඇවිත් එය අහෝසි නොකිරීමෙන් ඒගැන හඬ නගපු බෞද්ධ භික්ෂූන්ට අතුල් පහරක් එල්ල කළා. තමන් බලයට පත්කරපු ජනතාවට අතුල් පහරවල් එල්ල කිරීමේ ප්‍රතිවිපාක මෙවර මැතවරණයේදී රජයට ලබාදිය යුතුයි. එහෙම නොවුණොත් ඊළඟ වටේදී මොවුන් මීටත් වඩා අශීලාචාර විදිහට කටයුතු කරන්න ඉඩ තියෙනවා. එය වැළැක්වීමට තියෙන එකම බලවේගය සමගි ජන බලවේගය පමණයි. ප්‍රජාත්‍රන්ත්‍රවාදය වෙනුවෙන් අපි පෙනී සිටිනවා කියන දේත් ජනතාවට කියන්න කැමතියි.

පැහැදිලිවම තුනෙන් දෙකක බලයක් අපි ඉල්ලනවා - හිටපු අමාත්‍ය , ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර අපේක්ෂක දුමින්ද දිසානායක  

ප්‍රශ්නය : මැතිවරණ ප්‍රචාරණයේදී පොදුජන පෙරමුණ ආණ්ඩුවකට තුනෙන් දෙකක බලයක් අවශ්‍ය බව එම පක්ෂයේ අපේක්ෂකයෝ පවසනවා. ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් අවශ්‍යද?

පිළිතුර : පැහැදිලිවම තුනෙන් දෙකක බලයක් අපි ඉල්ලනවා. එහෙම ඉල්ලන්නේ ඇයි කියලා මම පැහැදිලි කරන්නම්. කොරෝනා ව්‍යසනයත් එක්ක ලෝකයම දැඩි ආර්ථික අර්බුදයකට මුහුණදෙමින් සිටින්නේ. ඒ නිසා රට නැගිට්ටවන එක අපි හැමෝගෙම වගකීමක්. මේ රටේ තිබෙන තත්ත්වයන් යටතේ කරන්න බැරිදේවල් බොහොමයක් තිබෙනවා. මහ බැංකුවේ නිලධාරීන්ට ජනාධිපතිතුමා යම් උපදෙස් මාලාවක් දෙනවා අපි දැක්කා. රටේ ජනාධිපතිවරයාට එහෙම කියන්න වෙනවා කියන්නේ මේ රටේ බොහෝ දේවල් අපිට වෙනස් කරන්න තියෙනවා කියලා අපි පිළිගත යුතුයි. 

මේ තත්ත්වය තුළ ඇතැම් නීති අණපනත් යම් මට්ටමකට වෙනස් කරගත යුතුවෙනවා. කොරෝනා තත්වයෙන් රට අවධිකරන්න සාම්ප්‍රදායික ක්‍රමයට බැරිවෙනවා. අපේ රටේ කවුරු ජනාධිපති වුණත් කොතරම් ප්‍රතිසංස්කරණ මේ රටේ කරන්න හැදුවත් සමහර නීතිරීති අණපනත් එක්ක මේ කිසිදෙයක් අපට කරන්න බැහැ. සැබෑවටම රට සංවර්ධනය කරා යොමු කිරීමේ අවශ්‍යතාවය තිබෙනවා නම් තුනෙන් දෙකේ බලයක් තිබුණොත් අවශ්‍ය වෙලාවට අවශ්‍ය එකතුකිරීම් සහ වෙනස් කිරීම් කරන්න අපට පහසු වෙනවා.

ප්‍රශ්නය : ඔබලා ඒ ආකාරයට වෙනස් කරන්න හිතාගෙන ඉන්නෙ මොනවාද?

පිළිතුර : එහෙම හිතාගෙන කියල නැහැ. නමුත් මහ බැංකු කාරණාවේදී පවා අපි දැක්කා සමහර දේවල් වෙනස් කරන්න ජනාධිපතිතුමාට පවා අවශ්‍ය වුණත් නීතිරීතී අණපනත් නිසා එය කරන්න බැරිවෙනවා. එවැනි දේවල් හඳුනාගෙන රටට ගැළපෙන ආකාරයකින් වෙනස් කරන්නයි අපි බලාපොරොත්තු වෙන්නේ.

ප්‍රශ්නය : ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි කටයුතු කොහොමද?

පිළිතුර : ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කටයුතු ඉතාම හොඳින් කරගෙන යනවා. ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැවත ප්‍රතිනිර්මාණය කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ අනුව ශක්තිමත් ගමනක් යන්න අපි බලාපොරොත්තු වෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ ලංකාවේ අති දැවැන්ත පක්ෂයක්. පහුගිය කාලයේදී අපි යම් පසුබෑමකට ලක්වෙලා තියෙනවා. ඒක හැමෝම දන්නවා නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මරන්න පුළුවන් පක්ෂයක් හෝ යටකරන්න පුළුවන් පක්ෂයක් නොවන බව ඉතිහාසයේ ඉඳන් අපි ඔප්පු කරලා තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලංකාවේ තිබෙන දැවැන්තම පක්ෂය වගේම වැඩිම කාලයක් මේ රට පාලනය කරපු පක්ෂය බවටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පත්වුණා. ඒ නිසා ඉදිරියේදී නැවත වතාවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කරනවා.

ප්‍රශ්නය : නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය යළිත් මහින්ද රාජපක්ෂ මහතාට ලබාගන්නා ලෙස යෝජනාවක් ඇවිත් තිබුණා. එහෙම කරන්න හේතුව කුමක්ද?

පිළිතුර : මේ ගැන මහින්ද අමරවීර ඇමතිතුමාත් මට කතා කරලා කිව්වා. එහෙම ප්‍රකාශයක් එතුමා කළේ නැහැ කියලා කිව්වා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට හෝ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විදිහට එක් අයෙකුට පක්ෂ දෙකක නායකයා විදිහට කටයුතු කරන්න බැහැ කියලා මහින්ද මහත්තයත් දන්නවා, අපිත් දන්නවා.

රට ආරක්ෂා කිරීමට මැදිහත් වෙන, ඒ වෙනුවෙන් ප්‍රතිපත්තියක් තියෙන මාලිමාවේ පිරිස් පාර්ලිමේන්තු යවන්න - ජාතික ජනබලවේගයේ අපේක්ෂක බිමල් රත්නායක

ප්‍රශ්නය : ජනාධිපතිවරණයේදී ඔබ කණ්ඩායම ලබාගත් ඡන්ද ප්‍රතිශතය වන 3%ට වඩා මෙවර මැතිවරණයේදී ඡන්දය අඩුවන බවට ආණ්ඩුව අභියෝග කරනවා. මේ සම්බන්ධයෙන් ඔබේ අදහස කුමක්ද?

පිළිතුර : ඒ කතාවලට සෑබෑ පිළිතුරු අගෝස්තු 06 වෙනිදා දැනගන්න පුළුවන් වෙයි. මෙවර මැතිවරණයේදී සැබෑ ලෙසම අපිට ඡන්දය වැඩි වෙනවා. මන්ත්‍රී ධූර වැඩි වෙනවා. ආණ්ඩුවට අපි අභියෝග කරනවා පුළුවන් නම් ලක්ෂ 69 ඡන්ද අරගෙන පෙන්වන්න කියලා. මාලිමාවේ ඡන්ද පදනමත්, මන්ත්‍රීවරුන් සංඛ්‍යාවත් අනිවාර්යෙන්ම වැඩි වෙනවා.  මැතිවරණය පවත්වන්න තව සති දෙකක් වගේ පොඩි කාලයක්නේ තියෙන්නේ. ඉතිං අපි බලමු.
 
ප්‍රශ්නය : ජනතා විමුක්ති පෙරමුණ සහ ජාතික ජනබලවේගය කණ්ඩායම පිළිබඳ පැහැදිලි කළොත්?

පිළිතුර : රට ගොඩනැගීමට අවශ්‍ය මූලික ප්‍රතිපත්ති මාලාවක් අපි සකස් කරගෙන තිබෙනවා. එය දීර්ඝකාලීන සාකච්ඡාවක ප්‍රතිඵලයක්. දේශපාලන පක්ෂ, සංවිධාන ආදී රැසක් මේ වටා එකතු වී සිටිනවා. සමාජ ආර්ථික සාධාරණත්වය, ජාතික සමගිය, ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම ආදිය වෙනුවෙන් අපි කටයුතු කරනවා.

අපි වටා එකතුව සිටින සංවිධාන ගැන කතා කරද්දී ඔවුන් සියල්ල රටපුරා විසිරී පවතින සංවිධාන නෙවෙයි. සමහර සංවිධාන නිශ්චිත ප්‍රදේශයක පමණක් ක්‍රියාත්මක වෙනවා. තවත් සමහර සංවිධාන සමාජයේ යහපත වෙනුවෙන් කලාව, ආගම, පරිසරය ආදිය භාවිතකරන පිරිස් අපි සමග ඉන්නවා. ජාතික ජනබලවේගය කියන්නේ මැතිවරණය සඳහා පමණක් තිබෙන එකඟතාවයක් නෙවෙයි. ජාතික ජනබලවේගය මහජන ව්‍යාපාරයක්. මේ මහජන ව්‍යාපාරය තුළ පොදුවේ අපි කණ්ඩායම වැඩ කරනවා. ඒ වගේම මේ ව්‍යාපාරය තුළ අපි වෙන වෙනමත් වැඩ කරනවා. නමුත් අපි එකඟ වුණ ප්‍රතිපත්ති රාමුව අනුවයි වැඩ කරන්නේ.

එකම පක්ෂ‍යේ අපේක්ෂකයන් අතර තිබෙන ප්‍රතිවිරෝධතා, රණ්ඩුසරුවල්,  ගහ මරා ගැනීම් ජාතික ජනබලවේගය තුළ දකින්නට නොලැබෙන්නේ මේ නිසයි. ජාතික ජනබලවේගය තුළ සංවිධාන 31ක් එකමුතුව වැඩ කරනවා.

ප්‍රශ්නය : වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් ඔබේ අදහස කුමක්ද?

පිළිතුර : ආණ්ඩුව අන්තිමයි කියල තමයි අපිට කියන්න තියෙන්නේ. මොකද මේ ආණ්ඩුව කියන්නේ ජනතාවගේ මනසට වැලි ගහලා බලය ගත්තු පාලනයක්. මේ ආණ්ඩුව බලයට පත්වුණේ රට රකිනවා කියලා. ඔවුන් ජනාධිපතිවරණ ඡන්ද ව්‍යාපාරය තුළ ඒ දේ පමණයි කිව්වේ. රට රකිනවා කියද්දි රටේ ජාතික ආරක්ෂාව, රටේ සම්පත් ආරක්ෂා කිරීම, පරිසරය ආරක්ෂා කිරීම, සංස්කෘතික උරුම ආරක්ෂා කිරීම වගේම ජනතාවගේ ජනජීවිතය ආරක්ෂා කිරීමත් අයිති වෙනවා. මේ කරුණු වලින් ආණ්ඩුව කිසිම දෙයක් ඉටුකරලා නැහැ.

ජාතික සම්පත් ආරක්ෂා කරනවා කියලා ඇවිත් හම්බන්තොට වරාය චීනයට දීලා දැන් ඒක චීන වරායක් වෙලා තියෙනවා. කොළඹ වරායේ දකුණු ජැටිය කලින්ම චීනයට දුන්නා. දැන් ඒකෙ නැගෙනහිර ජැටිය ඉන්දියාවට දෙන්න යනවා. එම්.සී.සී අත්සන් කරන්නේ නැහැ කියලා කියමින් බලයට ඇවිත් දැන් ඒ ගිවිසුම අත්සන් කරන්න ජනාධිපතිවරයා විවිධ ප්‍රයෝග දමමින් ඉන්නවා. කෙලින් වැඩකරන ජනාධිපතිවරයෙක් කියලනේ කිව්වේ. දැන් ජනාධිපතිගෙ වැඩ සම්පූර්ණයෙන්ම ඇදවෙලා තියෙන්නේ.

පරිසරය ආරක්ෂා කරනවා කියලා ඇවිත් මුළු රටේම පරිසරය විනාශ කරනවා. සුදු අධිරාජ්‍යවාදීන්ගෙන් පසුව ලංකාවේ පරිසරය සහමුලින්ම විනාශ කරපු රාජ්‍ය නායකයා ගෝඨාභය රාජපක්ෂ සහ ඔහුගේ ආණ්ඩුව. ඒ නිසා තමයි ගල්,වැලි, පස් ප්‍රවාහන බලපත්‍ර අහෝසි කිරීම නීතිවිරෝධියි කියලා අභියාචනාධිකරණයෙන් නියෝගයක් දුන්නේ. ආණ්ඩුව සිදුකළ මේ පරිසර විනාශයට ජනාධිපතිවරයා ජාතියෙන් සමාව ගත යුතුයි. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ තිබුණු වනාන්තර දේශපාලනඥයන්ට මංකොල්ල කන්න පුළුවන් විදිහට නීති වෙනස් කරලා තියෙනවා. 

මන්නාරම වෙඩිතලතිව් ප්‍රදේශයේ ගැසට් කරපු රක්ෂිතය ඉස්සො වගාවට දෙන්න එහි රක්ෂිතභාවය ඉවත් කරනවා. මන්නාරමේ විශේෂ ඛණිජ නිධියක් භූවිද්‍යා හා පතල් කාර්යාංශයේ අනුදැනුමකින් තොරව පෞද්ගලික සමාගමක් විසින් කැණීම් කරනවා.

කුරුණෑගල තිබුණු බුවනෙකබා රජතුමාගේ රාජසභා ගොඩනැගිල්ල‍ ඩෝසර් කරලා, ඒ වෙනුවෙන් කියන මුග්ධ ප්‍රකාශ දිහා බලද්දි මේ ආණ්ඩුව ජාතික උරුමයන් ආරක්ෂා කරන්නෙ නැහැ කියලා පැහැදිලියි.

ඒ වගේම රජයේ සේවකයන්ගේ වැඩි කරපු වැටුප් කැපුවා. විශ්‍රාම වැටුප් කැපුවා. සෞඛ්‍ය අංශයේ අතිකාල දීමනා කපලා තියෙනවා. විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට නැවත මව් රටට පැමිණීමට තිබෙන අයිතිය අහිමිකර තිබෙනවා.

මේ දේවල් සැලකිල්ලට ගත්විට රට පරිස්සම් කරනවා කියලා බලයට ඇවිත් මාස 07ක් තුළ විශාල ලෙස රට අසරණ කරල තියෙනවා කියලා පැහැදිලි වෙනවා. මේ නිසා තමයි අපි ජනතාවට කියන්නේ පාර්ලිමේන්තුවට අවශ්‍ය වෙන්නේ රට ආරක්ෂා කිරීමට මැදිහත් වෙන, ඒ වෙනුවෙන් ප්‍රතිපත්තියක් තියෙන මාලිමාවේ පිරිස් පාර්ලිමේන්තු යවන්න කියලා.

කාන්තාවෝ දක්ෂ ලෙස රටවල් පාලනය කරගෙන යනවා : කාන්තාවකටත් ඡන්දය දෙන්න- පොදුජන පෙරමුණේ අපේක්ෂිකා වෛද්‍ය සුර්ශනී ප්‍රනාන්දුපුල්ලේ  

ප්‍රශ්නය : කාන්තාවන් දේශපාලනයට යොමුවිය යුත්තේ ඇයි?

පිළිතුර : අපේ රටේ 52%ක් ඉන්නේ කාන්තාවෝ. ඡන්දදායකයන්ගෙන් 56%ක් කාන්තාවෝ. මේ නිසා ව්‍යවස්ථාදායකය තුළ කාන්තාවන්ගෙන් නිසි නියෝජනයක් තිබිය යුතුමයි. මොකද කාන්තාවන්ට සුවිශේෂී වුණ ප්‍රශ්න තිබෙනවා. ජනගහනයෙන් කොටසක් පැත්තකින් තියලා තීන්දු තීරණ ගන්න බැහැ. තීන්දු තීරණ ගැනීමේ ක්‍රියාවලියේදී කාන්තාවොත් කොටස්කරුවන් විය යුතුයි. කාන්තාවන්ට විශේෂයෙන් දැනෙන සමහර ප්‍රශ්න තිබෙනවා. එවැනි ප්‍රශ්නවලට ප්‍රමුඛතාවය ලැබෙන්නේ නැහැ. ඒ නිසා ජනගහනයෙන් අඩකට වඩා වැඩියෙන් ඉන්න පිරිස තීන්දු තීරණ ගන්න තැනත් සිටිය යුතුයි.
 
ප්‍රශ්නය :  කාන්තාවන් නීති සම්පාදනයට මැදිහත්වීම්, පරිපාලනයට මැදිහත්වීම පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් ලෙස යම් කාලයක් කටයුතු කළ ඔබේ අදහස කුමක්ද?

පිළිතුර : පිතෘ මූලික සමාජයක අපේ අය හිතන්නේ කාන්තාවන්ට මුකුත්ම කරගන්න බැහැ කියලා. ඔවුන් තවමත් කාන්තාව දෙස බලන්නේ හැදිමිටේ නුවණින්. නමුත් දැන් කාන්තාවෝ ලෝකය ජය අරගෙන තියෙනවා. කාන්තාවෝ දක්ෂ ලෙස රටවල් පාලනය කරගෙන යනවා. ලංකාවේ පරිපාලන ක්ෂේත්‍රය ගත්තොත් කොපමණ කාන්තාවන් පිරිසක් ඉහළ තනතුරුවල ඉන්නවද? ඔවුන් සාර්ථකව වැඩ කරනවා. ඒ නිසා දේශපාලනයේ සමහර පුරුෂයෝ හිතනවා කාන්තාවන්ට මොකුත් කරගන්න බැහැ කියලා. කාන්තාව ගෙවල් වලට කොටුකරලා තියන්නයි ඔවුන්ගේ අදහස. නමුත් එහෙම හිතන්නේ සමහර පිරිසක් විතරයි. කාන්තාවන් ඔප්පු කරලා තියෙනවා ඔවුන්ට පරිපාලන හැකියාව තියෙනවා කියලා. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය ලෝකයේම පළමු අගමැති හැටියට රට වෙනුවෙන් වගේම කාන්තාවන් වෙනුවෙන් විශාල වැඩ කොටසක් කළා. කාන්තාවන්ට පුළුවන් කියලා විශ්වාසය ඇති කළා. ඇතැම් පුරුෂයෝ ඉන්නවා කාන්තාවන්ට ඉඩදෙන්න අකමැතියි.

නමුත් කාන්තාවන්ට දේශපාලන ක්ෂේත්‍රයේ සම අවස්ථාව ලැබිලා නැහැ. අපේ රටේ දේශපාලනය තුළ කාන්තාවන්ට ලැබෙන ඉඩ අඩු නිසා ඔවුන්ගේ හැකියාව පෙනෙන්නේ නැහැ. ඒ වගේම දේශපාලනනයට ඇවිත් ඉන්න සමහර කාන්තාවෝ නිසා ඇතැම්විට ගැටළු ඇතිවුණ අවස්ථා තිබෙනවා. එවැනි අවස්ථාවල සමස්ත කාන්තාවන් දිහාම බලන්නේ වැරදි විදිහට.එවැනි කාන්තාවන් වගේම පිරිමි අයත් ඉන්නවා. මොකද අපේක්ෂිකාවන්ගේ තිබෙන දුර්වලතාවය නිසා සමස්ත කාන්තාවම විවේචනට ලක්වෙනවා. පාර්ලිමේන්තුවේ 225ටම පහුගිය කාලයේ චෝදනා එල්ල වුණා. 225ම හොරු තක්කඩි කියලා චෝදනා එල්ල වුණා.  නමුත් මේ 225 බහුතරයක් හොඳ මිනිස්සු. වැදගත් මිනිස්සු. 
ඉගෙනගත්තු රටට සේවයක් කළ අය. ඒ වගේම තමයි සමස්ත කාන්තාවන්ගෙන් එක්කෙනෙක් කරපු වරදක්, අඩුපාඩුවක් නිසා සමස්ත කාන්තාවන්ටම ලේබල් කරන්න හොඳ නැහැ. ඊට වඩා බුද්ධිමත්ව අපි බැලිය යුතුයි. කාන්තාවද, පිරිමියාද කියා බලන්නේ නැතිව හැකියාවට, දක්ෂතාවයට ඉඩ දෙන තත්ත්වයක් තමයි අපි නිර්මාණය කරගත යුත්තේ. මේ නිසා කුමන පක්ෂයෙන් ඉල්ලුවත් කාන්තාවටත් ඡන්දය දෙන්න. 

කාන්තාවොත් පාර්ලිමේන්තුවේ ඉන්න ඕන. මෙපමණ කාලයකට 225න් 5%ක් වගේ කාන්තා නියෝජනයක් තමයි තිබුණේ. මේ නිසා මීට වඩා වැඩි කාන්තා පිරිසක් ඡන්දයෙන් තේරී පත්විය යුතුව තිබෙනවා. ඒ වගේම ජාතික ලැයිස්තුවෙන් 30%ක් කාන්තාවෝ වෙනුවෙන් වෙන් කරනවා නම් මීට වඩා වැඩි කාන්තාවන් පිරිසක්  පාර්ලිමේන්තු යවන්න පුළුවන් වෙයි. 

මේ සියවසේදී කාන්තාව දෙවැනි පුරවැසියෙක් නෙවෙයි - ඇයව ශක්තිමත් කරන්න - සමගි ජනබලවේග කොළඹ දිස්ත්‍රික් අපේක්ෂිකා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර

ප්‍රශ්නය : 21 වැනි සියවසේ කාන්තාවන්ගේ ප්‍රමුඛ අවශ්‍යතා මොනවාද කියා කාන්තා නියෝජිතවරියක ලෙස ඔබ හඳුනාගෙන තිබෙනවාද?

පිළිතුර : අනිවාර්යයෙන්ම ඔව්. ලංකාව වගේ ආසියාතික රටක වුණත් කාන්තාවන්ට ලැබෙන අවස්ථාවන් බොහොම අඩුයි. ඒ නිසා මම හිතන්නේ මේ සියවසේ කාන්තාවන්ගේ ප්‍රමුඛතම අවශ්‍යතාවය විය යුත්තේ ඔවුන්ට අවස්ථාවන් ලබාදීමයි.

උදාහරණයක් විදිහට ලංකාවේ වැඩිම උපාධිධාරී පිරිස කාන්තාවන් උනත් ඒ කාන්තාවන්ගෙන් බහුතරය විශ්වවිද්‍යාල වලින් එළියට ගිහින් බොහෝ වෙලාවට නිවසට වෙලා ජීවිතය ගතකරනවා. උපාධිය ගත්තත් එමගින් වෘත්තීමය ලෙස ඉදිරියට යන්න නොහැකි වෙලා. ඒ සඳහා ඇති අවස්ථාවන් ඇහිරිලා තියෙනවා. ආසියාතික රටවල මේ තත්ත්වය බොහොම වැඩියි. ලංකාවේ ඒ තත්ත්වය හොඳටම වැඩියි. ඉන්දියාව, පාකිස්ථානය වගේ රටවල්වල කාන්තාවන්ට ලැබෙන අවස්ථා දිහා බලපුවාම දේශපාලනය පමණක් නෙවෙයි අනිකුත් සියලුම ක්ෂේත්‍රවලදී කාන්තාවන් පුරුෂයන්ට වඩා කොපමණ දක්ෂතාවයක් දැක්වුවත් වෘත්තීමය වශයෙන් ඔවුන්ට ලැබෙන අවස්ථා ඉතාම විරලයි. 21 වන ශතවර්ෂයේ කාන්තාව මුහුණදෙන ප්‍රධානතම ගැටලුව එයයි. 

කාන්තාවක් විදිහට ඇය විවාහ වෙලා ගෙදර වැඩකටයුතු, දරුවන්ගේ වැඩකටයුතු කරන ගමන් වෘත්තියක යෙදෙනවා නම් ඇගේ තත්ත්වය ගැන හිතලා බලන්න. ඇය උදේ වැඩට ගිහින් ගෙදර එන්නේ තවත් රස්සාවකට යනව වගේ. මේ තත්ත්වය ගැන කාන්තාවන් විදිහටවත්, පුරුෂයන් විදිහටවත් දුරදිග හිතන්නේ නැහැ. කාන්තාව අගය කිරීමකට යොමු වෙන්නේ නැහැ. කාන්තාවක් උදේ 4.00ට නැගිටලා ආරම්භ කරන තමන්ගේ වැඩ කොටස රාත්‍රී 11 විතර වෙනකම් කරනවා. කාන්තාවක් මවක්, ගෘහණියක්, වෘත්තීයවේදි⁣නියක් විදිහට මේ කාලය තුළ විවිධ චරිත රඟපානවා. කොපමණ වැඩ කළත් ඇයට ඇගයීමක් නොලැබෙන විට වසස 40-45 වන විට විශාල මානසික පීඩනයකට ලක්වෙනවා. මේ සියලුදේම විඳ දරාගෙන තමුන්ගේ ජීවිතය ගතකරනවා.

කාන්තාවගේ තිබෙන ශක්තිමත්භාවය හඳුනාගෙන ඇයට පන්නරයක් වෙන්න හැකි පුරුෂයන් සිටිය යුතුයි. මේ සියවසේදී කාන්තාව දෙවැනි පුරවැසියෙක් ලෙස නෙවෙයි පුරුෂයා හා සාමාන නිසි තැන ලැබිය යුතු කෙනෙක් විදිහට ඇයව හඳුනාගැනීම තමයි කළ යුත්තේ. අපි නිර්මාණය කළ යුත්තේ එවැනි සමාජයක්.

ඡායාරූප - අන්තර්ජාලයෙනි

Share