අන්තර්ජාලය හරහා පාර්ලිමේන්තුව රැස්වීමට සියල්ල සූදානම්

අන්තර්ජාලය හරහා පාර්ලිමේන්තුව රැස්වීමට සියල්ල සූදානම්

අන්තර්ජාලය හරහා පාර්ලිමේන්තු සැසි පැවැත්වීමට (virtual Parliament) අදාළ සියලු පහසුකම් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සුදානම් කර ඇති බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් නීල් ඉද්දවෙල මහතා පැවසීය.

කෝවිඩ් -19 වසංගත තත්ත්වය තුළ මන්ත්‍රීවරුන් සියළු දෙනා පාර්ලිමේන්තුවට කැඳවිය නොහැකි තත්ත්වයක් ඇති වුවහොත් මෙලෙස අන්තර්ජලාය හරහා පාර්ලිමේන්තු සැසිවාරයට සම්බන්ධවීමට මන්ත්‍රිවරුන්ට අවස්ථාව ලබාදීම සඳහා අවශ්‍ය සියළුම කටයුතු සුදානම් කර තිබෙන බවද ඉද්දවෙල මහතා කීවේය.

එසේ වුවද අන්තර්ජාලය හරහා පාර්ලිමේන්තු සැසිවාර පැවැත්වීම සම්බන්ධයෙන් කථානායකවරයා ඇතුළු පාර්ලිමේන්තුව රැස්වී තීරණයක් ගත යුතු බවත් ඒ සඳහා ස්ථාවර නියෝග සංශෝධනයක් හෝ අත්හිටුවීමක් කළ යුතුව ඇති බවත් හෙතෙම පෙන්වාදුනනේය.

අවශ්‍ය පහසුකම් සියල්ල සම්පුර්ණකර තිබුණද අන්තර්ජාලය හරහා පාර්ලිමේන්තු රැස්වීම් පවත්වන්නේද නැද්ද යන්න තීරණය කිරීමට පාර්ලිමේන්තු නිලධාරීන්හට හැකියාවක් නොමැති බවද ඉද්දවෙල මහතා ප්‍රකාශ කළේය.

එමෙන්ම පාර්ලිමේන්තුවේ පැවැත්වෙන කාරක සභා සියල්ල අවශ්‍යනම් අන්තර්ජාලය හරහා පැවැත්වීමේ හැකියාව ඇතැයි ද නීල් ඉද්දවෙල මහතා පැවසීය.

පාර්ලිමේන්තුව මගින් අද(29) පැවැත්වු අන්තර්ජාල සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මේ බව කීවේය.

මහ මැතිවරණය අගෝස්තු 05 වැනිදා පැවැත්වුවද මෙතෙක් පාර්ලිමේන්තුව රැස්වීමේ දිනයක් ප්‍රකාශයට පත්කර නොමැති අතර මැතිවරණයෙන් පසුව ඉතා ඉක්මණින් පාර්ලිමේන්තුව රැස්කරනු ඇති බවට තමා විශ්වාස කරන බව හෙතෙම වැඩිදුරටත් පැවසීය.

අන්තර්ජාලය හරහා පාර්ලිමේන්තු සැසි පැවැත්වීම (virtual Parliament) පොදුරාජ්‍ය මණ්ඩලය තුළ රටවල් කිහිපයකම ක්‍රියාත්මක වේ.

 

Share