'ජොර්දාන පොලිසිය ලාංකික ශ්‍රමිකයින්ට පහර දුන්නේ ලංකාවේ තානාපති කාර්යාලයේ ඉල්ලීමකට'

නිලුක සදුන් | Author . Translate to English or தமிழ் 7/28/2020 5:45:00 PM
'ජොර්දාන පොලිසිය ලාංකික ශ්‍රමිකයින්ට පහර දුන්නේ ලංකාවේ තානාපති කාර්යාලයේ ඉල්ලීමකට'

ජෝර්දානයේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට කදුළු ගෑස් ගැසීම සඳහා ජෝර්දාන පොලිසිය කැඳවා තිබුණේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය බව නිදහස උදෙසා කාන්තාවෝ සංවිධානය පවසයි.

එම ශ්‍රමිකයන් ඉල්ලා සිටියේ නවාතැන්, ආහාර සහ සෞඛ්‍ය ප්‍රතිකාර ඇතුළු ගැටළුවලට විසඳුම් ලබාදීම සදහා රජයට මැදිහත්වන ලෙසට බව ද ඔවුන්ට ප්‍රශ්න ගැන කීමට සිටින වගකිව යුතු නිලධාරීන්ම මෙලෙස විදෙස් රටක පොලිසිය ගෙන්වා කටයුතු කරන්නේනම් ඔවුන් තම ප්‍රශ්න කියන්නේ කාටදැයි ප්‍රශ්නයක් බව එම සංවිධානයේ ජාතික සංවිධායිකා හේමමාලි අබේරත්න මහත්මිය MediaLK.com වෙත පැවසුවාය.

මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් පෙරටුගාමී සමජවාදී පක්ෂය සහ නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය අද (28) කම්කරු අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත පැමිණිල්ලක් බාර දුන්නේය.

පෙරටුගාමී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා සහ නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරයේ හේමමාලි මහත්මිය මෙම පැමිණිල්ල බාර දුන්හ.

මේ සම්බන්ධයෙන් හේමමාලි මහත්මිය Medialk.com වෙත මෙසේ පැවසූවාය.

“ජොර්දාන පොලිසිය කදුළු ගෑස් ගහලා තිබ්බේ ශ්‍රී ලංකාවේ තානාපති කාර්යාලය පොලිසිය කැඳවීමෙන් පස්සෙයි. එයාලගේ ප්‍රශ්න ගැන කියන්න එයාලා ගැන වගකීම දරණ නිලධාරීන්ම පොලිසිය ගෙන්නලා මෙහෙම කරනවානම් අසරණ වෙච්ච ශ්‍රමිකයන් ප්‍රශ්න කියන්නේ කාටද?. පහරකෑමට ලක්වුණ බොහෝ දෙනෙක් මේ වෙද්දි රෝහල්වල.

කාන්තාවන්ට පහර දුන්න එක ගැන ඒකට ගන්නා පියවර මොකද්ද කියලා අපි අහනවා. මේ සම්බන්ධයෙන් අමාත්‍යංශයට දැනුම් දුන්නා. 
එදා අමාත්‍යංශය ලේකම්වරයා හම්බෙලා කළ සාකච්ඡාවේදී ඔහු පැවසුවා මේ වෙලාවේ මැදපෙරදිග ඉන්නා ලංකාවේ ශ්‍රමිකයන් සම්බන්ධයෙන් ලිඛිත පැමිණිලි තියෙනවානම් ඔවුන්ට ඉදිරිපත් කරන්න කියලා සහ අමාත්‍යංශ ලේකම් වරයා අපිට කියපු දේ තමයි ඔවුන් මේ ගැන විශේෂ තොරතුරක් දන්නේ නෑ කියන එක.ඒ නිසා අද අපි මේ ගැන විශේෂ තොරතුරු බාරදුන්නා.

ජොර්දාන ප්‍රශ්නය ඇතුළු මැදපෙරදිග සිටිනා ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ තොරතුරු ඇතුළත් පැමිණිලි 30ක් පමණ අද කම්කරු අමාත්‍යංශයට බාරදුන්නා ආණ්ඩුව විදියට මේකට ගන්න පියවර මොකද්ද කියලා. ඒත් මේකට රජයේ නිලධාරීන් දෙන්නේ දියාරු උත්තර.එයාලට නිශ්චිත අදහසක් නෑ.වෙන රටකදී මෙහෙම මුහුණ දුන්නමට ඇති වෙන තත්ත්වය ගැන එයාලයට අදහසක් නෑ. මේක සම්බන්ධයෙන් රජය මැදිහත්වන ආකාරය ගැන අපි සොයා බලනවා."

මේ සම්බන්ධයෙන් පැමිණිලි කිරීම සඳහා පැමිණි සිටි පුබුදු ජාගොඩ මහතා පැවසූවේ මේ වන විට මැදපෙරදිග ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් ලක්ෂ 03ත් 04ත් අතර ප්‍රමාණයකට රැකියා අහිමි වී ඇති බවත් 110 දෙනකු පමණ කොරෝනා සහ වෙනත් රෝග නිසා මිය ගොස් ඇති බවත් ය.

කෑමට බීමට ක්‍රමයක් නොමැතිව සිටින ජෝර්දාන් ශ්‍රමිකයන් රජයෙන් ඉල්ලා සිටියේ ඒ සදහා අවම මැදිහත්වීමක් කරන ලෙස බව ද ඒ වෙනුවට තානාපති නිලධාරීන් කළේ ආරක්ෂාව සදහා පොලිසිය කැඳවා මේ ස්ත්‍රී ශ්‍රමිකයන්ට පහර දෙන ලෙසට පොලිසියෙන් ඉල්ලා සිටීම බව ද ජයගොඩ මහතා සඳහන් ක⁣ළේය.

ඒ මහතා මෙසේ පැවසීය.

"මැදපෙරදිග ‌සේවයට ගිහින් ඉන්න ලාංකික ශ්‍රමිකයෝ ඉතා විශාල ප්‍රශ්න ගොඩක ඉන්නවා.දැනට වාර්තා වෙන විදියට ලාංකික ශ්‍රමිකයෝ ලක්ෂ තුනක හතරකගේ විතර රැකියා නැති වෙලා තියෙනවා.ඒ රැකියා නැතිවෙලා තියෙන අය නවාතැන් අහිමිවෙලා කෑම බීම නැතිව සහ තමන්ට රෝගවලට ප්‍රතිකාර අහිමි වෙලා අසරණ වෙලා ඉන්නවා.සමහර අය කොරෝනා රෝගයෙන් මිය යමින් ඉන්නවා.දැනටම 50කට වැඩි ප්‍රමාණයක් කොරෝනා රෝගයෙන් මිය ගිහින් තියෙනවා.තවත් 60ක් විතර වෙනත් ලෙඩ රෝගවලින් මිය ගිහින් ඉන්නවා.

නමුත් මේ දක්වාම ආණ්ඩුව ඒ ශ්‍රමිකයන්ව ලංකාවට ගෙන්වාගන්න හෝ ඔවුන් එහි ඉද්දී ඔවුන්ට අවශ්‍ය කරන අවම පහසුකම් ටික ලබාදෙන්නවත් ආහාර ලබාදෙන්න සෞඛ්‍ය ප්‍රතිකාර ලබාදෙන්න ක්‍රියා කරලා නෑ. ඊළග ප්‍රශ්නය තමයි මීට දින දෙකකට විතර කළින් ජෝර්දානයේ කැමල් වේගා ටෙක්ස්ටයිල්ස් කියන ආයතනයේ ලංකාවේ ශ්‍රමිකයෝ කාන්තාවෝ ඉන්නවා 400 ගණනක් වගේ. ඒ හැමෝගෙම රැකියාව අහිමි වෙලා මාස කිහිපයක ඉදලා.ඒ නිසා ඔවුන්ට ජීවත් වෙන්න විදියක් නෑ.කන්න බොන්න විදියක් නෑ.ඔවුන් රජයෙන් ඉල්ලා සිටියේ ඒ සදහා අවම මැදිහත්වීමක් කරන්න කියලා.ඒ අවම මැදිහත්වීමක් කරන්න කියලා කියද්දි තානාපති නිලධාරීන් කළේ ජෝර්දාන පොලිසියට දැනුම් දීලා ආරක්ෂාව සදහා එන්න කියලා පොලිසියෙන් ඉල්ලා සිටියා මේ කාන්තාවන්ට මේ ස්ත්‍රී ශ්‍රමිකයන්ට පහර දෙන්න කියලා. ජෝර්දාන පොලිසිය ඉතාමත් තිරිසන් ආකාරයෙන් මේ ගැහැණූ ළමයින්ට පහර දෙනවා. අපි වීඩියෝවල දැක්කා.

ඒ වගේම දැන් එයාලා කතා කරලා කියනවා පිරිසක් පහර කෑමට ලක්වෙලා තුවාල ලබලා රෝහල්ගත වෙලා ඉන්නවා කියලා.සමහර අයට අමාරුයි.ඒ සදහාවත් තානාපති කාර්යාලය කිසිම මැදිහත්වීමක් කරලා නෑ.ජොර්දාන පොලිසිය ඒ ශ්‍රමිකයන්ට පහර දෙන්නේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කම්කරුවන් බාරව ඉන්න නිලධාරියා ළග ඉද්දි. මේවා සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යංශය කම්කරු අමාත්‍යංශය කිසිම පියවරක් අරගෙන නෑ.

අපි ජූලි 08 වැනිදා මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් අමාත්‍යංශයේ ලේකම්වරයා සමග සාකච්ඡාවක් කළා.ඒ සාකච්ඡාවේදී ඔහු ලිඛීත පැමිණීලි බාර දෙන්න කියලා කිව්වා.ඉතින් අද එම ලිඛීත පැමිණිලි අරගෙන අපි ගියා බාරදීම සදහා නමුත් අපි  විශ්වාස කරනවා මේ ලිඛීත පැමිණිලි බාර දීමකින් මේ ප්‍රශ්නය බේරන්න බෑ මේ ලක්ෂ ගාණක් වූ ශ්‍රමිකයන්ගේ ප්‍රශ්න සම්බන්ධයෙන්. 

අනිවාර්යෙන් රජය ඉතා ඉක්මන් සහ හදිසි මැදිහත්වීමක් කළ යුතුයි.එහෙම නොකළොත් ඒ අයගේ ලංකාවේ ඉන්න ඥාතීන්වත් එකතු කරගෙන මේ සම්බන්ධයෙන් ඉදිරි උද්ඝෝෂන කටයුතු යන්න වැඩි බලපෑමක් කිරීම සදහා සියලු දෙනා එකතු කරන්න අපි මැදිහත් වෙනවා. ඒ සදහා පෙරටුගාමී සමාජවාදී පක්ෂයත් නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරයත් අපේ උපරිම ශක්ති ප්‍රමාණයෙන් මැදිහත් වෙන්න අපේක්ෂා කරනවා." 

මේ සම්බන්ධයෙන් කම්කරු අමාත්‍යාංශයෙන් කළ විමසීමකදී පැවසූවේ මේ සම්බන්ධයෙන් පැමිණිලි ලැබී ඇති බවත් වෙනත් ප්‍රකාශයක් සිදුකළ හැකි වගකිව යුතු පුද්ගලයෙක් මේ අවස්ථාවේ නොමැති බැවින් පසුව අමතන ලෙසයි.

මෙම ගැටළුව ගැන සහ ශ්‍රී ලංකා ශ්‍රමිකයින්ගේ සුබ සාධනය ගැන සොයාබැලීමට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සේවකයින් කිහිප දෙනකු එම ප්‍රශ්නගත කර්මාන්ත ශාලාවලට ගිය අවස්ථාවේ දී රැකියා අහිමි වූ ශ්‍රී ලංකිකයින් පිරිසක් විසින් එම නිලධාරීන් පැය පහක් පමණ බලහත්කාරයෙන් රඳවා තබාගනු ලැබ සිටි බව ජෝර්දාන්හී ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.

තමන් හැකි ඉක්මණින් ශ්‍රී ලංකාවට යවන ලෙසට බලකරමින් එම ශ්‍රමිකයින් මෙලෙස සිදුකර ඇතැයි ද තානාපති නිලධාරීන් නිදහස් කරගැනීම සඳහා සහ තත්ත්වය පාලනය කිරීමට පොලිසිය ගෙන්වා ඇතැයි ද එම තානාපති කාර්යාලය සඳහන් කරයි.

තානාපති කාර්යාලය එම කර්මාන්ත ශාලාවේ සේවකයින්ට ජූලි 22 වැනිදා වියළි ආහාර පාර්සල් 375ක් ලබා දුන් බව ද ජෝර්දාන්හී ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියයි.

 

Share