පිරිමි දරුවන් අපයෝජනය කළැයි රූපවාහිනී වැඩසටහන් පසුතල නිර්මාණකරුවා රිමාන්ඩ් 

Staff Writer | Author . Translate to English or தமிழ் 7/27/2020 3:40:00 PM
පිරිමි දරුවන් අපයෝජනය කළැයි රූපවාහිනී වැඩසටහන් පසුතල නිර්මාණකරුවා රිමාන්ඩ් 

පිරිමි දරුවන් කිහිප දෙනකු අපයෝජනය කළැයි පෞද්ගලික රූපවාහිනී වැඩසටහනක පසුතල නිර්මාණකරුවෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අගෝස්තු 05 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජාලිය සේනාරත්න මහතා පැවසීය. 

පෞද්ගලික රූපවාහීනි නාලිකාවක වැඩසටහන් පසුතල නිර්මාණකරුවෙක් ලෙස ක්‍රියා කිරීමේදී සහ පෞද්ගලික උපකාරක පන්ති පැවැත්වීමේදී ඇති වූ දැන හැදුනුම්කම් මත දරුවන් නිවසට ගෙන්වා ගෙන අපයෝජනය කර ඇතැයි ද ජාලිය සේනාරත්න මහතා ප්‍රකාශ කළේය.

එම පුද්ගලයා 2018 වසරේ සිට දරුවන් කිහිප දෙනකු අපයෝජන කර ඇතැයි ද මේ සම්බන්ධයෙන් වට්ස්ඇප් හරහා ලැබුණ පැමිණිල්ලක් මත කොල්ලුපිටිය පොලිසිය මගින් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි ද ඔහු කීවේය.

පිරිමි දරුවන් තිදෙනකු අපයෝජනයට ලක්කරන අයුරු ඔහු සතුව තිබූ වීඩියෝපට සහ ඡායාරූප රැසක් පරීක්ෂා කිරීමේදී අනාවරණය වූ බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේය.

තවත් දරුවන් ගණනාවකගේ ඡායාරූප ඔහු සතුව තිබූ බවත් එම ඡායාරූපවලින් සමහරක් අපයෝජන කරන අවස්ථාවේ ගත් ඡායාරූප බවත් මේ සියලු ඡායාරූප පිරිමි දරුවන්ගේ බවත් ඔහු ප්‍රකාශ කළේය.

එම සියලු දරුවන් අවුරුදු 16ට අඩු කුඩා දරුවන් බව ද හෙතෙම පැවසීය.

මහරගම පන්නිපිටියේ පදිංචි 54 හැවිරිදි එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අගෝස්තු 05 වැනි දා තෙක් රිමාන්ඩ් කළ බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.

අදාළ දර්ශන සහිත සංයුක්ත තැටි සහ උපකරණ රැසක් සොයාගත් බවත් ඒවායේ ඒවා රජයේ රස පරීක්ෂකවරයා සහ අදාළ විශේෂඥයින් වෙත යොමුකරන බවත් ඩෙස්ක්ටොප් පරිගණකයක්, කැමෙරාවක්, සංයුක්ත තැටි 137ක් ඇතුළු උපකරණ රැසක් පොලිස් භාරයට පත් බවත් සේනාරත්න මහතා සදහන් කළේය. 

ඒවාගේ අන්තර්ගත තොරතුරු ගැන වාර්තාවක් ඉදිරියේදී ලබාගන්නා බව ඔහූ කීවේය.

Share