වකුගඩු මාරයා මදිවට කොරෝනා ආවත් නොබිඳුණු ගලෙන් බිඳුණු වැව මිනිස්සු

Staff Writer | Author . Translate to English or தமிழ் 7/26/2020 5:42:00 PM
වකුගඩු මාරයා මදිවට කොරෝනා ආවත් නොබිඳුණු ගලෙන් බිඳුණු වැව මිනිස්සු

| සකුන එම් ගමගේ |

කොරෝනා වසංගතය නිසා ඇති වූ අනපේක්ෂිත තත්ත්වය නිසා දැඩි දුෂ්කරතා  රැසකට මුහුණ පෑ පිරිසක් ලෙසට ශ්‍රී ලංකාවේ හඳුනානොගත් වකුගඩු රෝගයෙන් පෙළෙන පිරිස් හැදින්විය හැකිය.

විශේෂයෙන්ම කොරෝනා ඇඳිරි නීති තත්ත්වය යටතේ නොකඩවා වෛද්‍ය ප්‍රතිකාර සඳහා රෝහල්වලට යාමට පැවති දුෂ්කරතා මෙන්ම ආර්ථිකමය වශයෙන් මූලික අවශ්‍යතා සපුරා ගැනීමට ඔවුන් සහ ඔවුන්ගේ පවුල්වල පිරිස් මුහුණදුන් අවහිරතා එයට හේතූන්ය.

දශක තුනක පමණ සිට ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සෞඛ්‍ය අර්බුදයක් බවට පත්ව ඇති මෙම හඳුනානොගත් වකුගඩු රෝගය පැතිර පවතින ප්‍රදේශයන්ගෙන් එකක් ලෙසට අනුරාධපුර ගලෙන්බිඳුණු වැව ගම්මානය හැදින්විය හැකිය.

තවමත් මෙම වකුගඩු රෝගය පැතිරයාමේ විද්‍යානුකූල හේතුවක් විමර්ශනය කර නොමැති නමුත් බොහෝමයක් ගම්බද පිරිස් පවසන්නේ පානීය ජලය හේතුවෙන් මෙම තත්ත්වය හටගන්නා බවයි.

පසුගිය ජූනි මාසය මැද දී මාධ්‍යවේදී මනෝජ් රත්නායකට ගලෙන් බිඳුණු වැව හා හුරුළු වැව ප්‍රදේශයේ දිවිගෙවන වකුගඩු රෝගයෙන් පීඩාවිඳින අයගේ පවුල් කිහිපයක් මුණ ගැසීමට හැකිවිය.

එහි දී හුරුළු වැව ප්‍රදේශයේ ගොවි මහතෙකු වන ආර් එම් හේරත් මෙසේ පැවසීය.

"අපේ ගම්මානයේ 30ක් 40ක් පමණ වකුගඩු රෝගීන් ප්‍රමාණයක් ඉන්නව. ඔවුන් බොහෝමයක් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යන්නෙ අනුරාධපුර හෝ පොළොන්නරු දිස්ත්‍රික් රෝහල් වෙතටයි.එත් මේ පානිය ජලය නිසා කිසිදු සුව වීමක් නෑ".

වකුගඩු රෝගයේ සංකීර්ණ අවධියේ පසුවන අයට පවතින එකම විකල්පය වන්නේ වකුගඩු බද්ධ කිරීම හෝ කාන්දු පෙරීමේ ප්‍රතිකර්මය වෙතට යොමුවීමයි.

පසුගිය කොරෝනා ඇඳිරි නීති සමයේ දී මෙම රෝගීන්ට හා පවුල්වල සාමාජිකයින්ට මෙම ප්‍රතිකර්ම වලට යොමුවීමේදී ඇති වූ දුෂ්කරතා මනෝජ් විසින්  කෙටි වාර්තා වැඩසටහනක් තුළින් ගෙනහැර දක්වා ඇත.

හුරුළු වැව දිවිගෙවන ජීවනී රූපිකා පසූගිය 2016 වසරේ සිට නිදන්ගත වකුගඩු රෝගයෙන් පෙළෙන්නීය. ඇය තිදරු මවක් වන අතරම හමුදා සෙබළෙකු වන මීගහවත්තෙ සම්පත්ගේ දයාබර බිරිඳයි.

ජීවනී මෙසේ විස්තර කළාය.

"මම අවුරුදු පහක ඉඳන් මේ රෝගයට ප්‍රතිකාර ගන්නව.මේ ලෙඩේ නිසා කාන්දු පෙරීමේ යන්ත්‍ර යොදා ලේ පිරිසිදු කිරීම මෙන්ම හුස්ම ගැනීමට ඔක්සිජන් සිලින්ඩර් භාවිත කළ යුතුයි".

හුරුළු වැව ප්‍රදේශයේත් බොහෝමයක් වකුගඩු රෝගීන් ප්‍රතිකාර සඳහා අනුරාධපුර හෝ පොළොන්නරුව දිස්ත්‍රික් රෝහල් වෙත යොමුවිය යුතුයි.පසුගිය කොරෝනා ඇඳිරි නීතිය සමයේ දී කිසිදු පොදු ප්‍රවාහන සේවයක් නොමැති වූ නිසා ජීවනීගේ සැමියා ඇයව ප්‍රතිකාර සඳහා රැගෙන යනු ලැබුවේ තම පැරණි ත්‍රී රෝද රථයෙනි.

"පොළොන්නරුව රෝහලට යන්න මෙහෙ ඉඳන් කිලෝමීටර් 40කට වඩා දුරයි. ඒ මාර්ගය වැටිල තියෙන්නෙ හබරණ කැලය හරහායි.සමහර දවස් තිබුණ අතර මඟ දි ත්‍රී රෝද රථය කැඩුණ. ඔක්කොම වහල නිසා කවුරුත් උදව්වට හිටියෙත් නෑ.ඒ නිසා මට කඹයක් යොදාගෙන තනියම ත්‍රී රෝද රථය ඇදන් යන්න පවා වුණා". ඇගේ සැමියා වූ සම්පත් ආවර්ජනය කළේය.

මේ එක් ගමන්වාරයක් සඳහා රුපියල් 2000 ක පමණ ගමන් වියදමක් දැරිය යුතු වෙයි.මෙය ඔවුන්ගෙ පවුලට අධික වියදමකි. මේ නිසා මේ යුවලට තම කනකර ආභරණ මෙන්ම ඉඩම් ඔප්පු පවා උකස් කරන්නට සිදුව ඇත.
ජීවනීගේ රෝගී තත්ත්වය නිසා සම්පත්ට තම ත්‍රී රෝද රථයට ඔක්සිජන් යන්ත්‍රයක් ද සවිකරගැනීමට සිදුව ඇත.

එසේම රෝහලට යන ගමන දීර්ඝ වූවක් නිසා තම බිරිඳට අවශ්‍ය ආහාර සකසා දීමට අවශ්‍ය උඳුන් පවා රැගෙන යාමට ඔහුට සිදුව ඇත.

ශ්‍රී ලංකාවේ පළමු නිදන්ගත වකුගඩු රෝගියා 1990 වසරේ දී අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන ඇති අතර පසුව තවත් දිස්ත්‍රික්ක 11කින් රොගීන් වාර්තා විය.

"හුරුළු වැව ප්‍රදේශයේ බොහෝ දෙනෙකු සම්ප්‍රදායික හේන් වගාවේ යෙදෙන්නන්. ඔවුන් සාමාන්‍යයෙන් ඔවුන්ගෙ වගා බිම් ආසන්නයේ නිවාස ඉදිකරගන්නවා.අවශ්‍ය ජලය ලබාගන්න ඒ ආසන්නයේ ළිං ඉදිකරගන්නවා.මේවගෙ වතුරවල රසායනික සංයුතියෙ ප්‍රශ්ණයක් නිසා තමයි මේ වකුගඩු රෝගය ව්‍යාප්ත වුණේ". හුරුළු වැව ප්‍රදේශයේ තවත් ගොවි මහතෙකු වන එස් ඩබ්ලිව් අබේරත්න පැවසුවේය.