ඡන්ද දායකයාගේ මතයට බාධා නොකරන්නැයි ජනමාධ්‍යවලට ඉල්ලීමක් 

Staff Writer | Author . Translate to English or தமிழ் 7/23/2020 11:29:00 AM
ඡන්ද දායකයාගේ මතයට බාධා නොකරන්නැයි ජනමාධ්‍යවලට ඉල්ලීමක් 

මැතිවරණයේදී බලපෑමකින් තොරව නිදහස් සහ සාධාරණව ඡන්ද දායකයාට තම දේශපාලන මතය ඡන්ද පත්‍රිකාව හරහා ප්‍රකාශ කිරීමේ අවකාශයට ජනමාධ්‍ය බාධා නොකළ යුතු බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව අවධාරණය කරයි.

රට තුළ පවතින විවිධත්වය සහිත සමාජය තුළ බෙදීමක් ඇතිකරවන ආකාරයේ විකෘති පුවත් සහ කරුණු අතිශෝක්තියෙන් ගෙනහැරපාන ආකාරයේ පුවත් පළ නොකිරීමට ජනමාධ්‍ය වෙත විශාල  වගකීමක් ඇතැයි ද එම කොමිසම පවසයි.

ශ්‍රී ලාංකීය ජනතාව තුළ වෛරය ඇති වන ආකාරයේ පුවත් පළ කිරීමෙන් ශ්‍රී ලංකාවේ මාධ්‍ය ආයතන වැළකිය යුතු බව ද එම කොමිසම අවධාරණය කරයි.

සමාජය තුළ හෝ දේශපාලන ක්‍රියාකාරීන් අතර වෛරී සහගත දේශපාලන තත්ත්වයක් ප්‍රවර්ධනය වන ආකාරයේ විකාශය කිරීම්, ප්‍රචාරය කිරීම් හෝ පළ කිරීම්වලින් ද වැළකිය යුතු බව එම කොමිසම ප්‍රකාශ කරයි.

දේශපාලන පක්ෂ හෝ ස්වාධීන කණ්ඩායම්වල මතය ජනතාව අතරට ගෙන යෑමේදී ප්‍රධාන මාධ්‍යයක් ලෙස ජනමාධ්‍ය වෙත පැවරී ඇත්තේ අතිවිශාල වගකීමක් බව ද එම කොමිසම පෙන්වා දෙයි.

ඒ අනුව අගතිගාමී නොවන මාධ්‍ය හැසිරීමක් මගින් තම සුවිශේෂී වගකීම ඉටුකරනු ඇතැයි ඉතාමත් ඉහළ බලාපොරොත්තුවක් ශ්‍රී ලාංකීය මාධ්‍ය ක්ෂේත්‍රය වෙත තබා ඇතැයි එම කොමිෂන් සභාව පෙන්වා දෙයි.

එම කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනය පහත දැක්වෙයි.

1996 අංක 21 දරණ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා පනත මගින් පිහිටුවා ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සිදු කරන ලද 19 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් ශ්‍රී ලංකා ව්‍යවස්ථාවට ඇතුළත් කර ඇති ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව දිවයිනේ සිටින සියලුම පුද්ගලයින්ගේ මානව හිමිකම් සුරක්ෂිත වන මානව හිමිකම් සංස්කෘතියක් රට තුළ ඇති කිරීම සදහා ක්‍රියාත්මක වේ.

1981 අංක 01 දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනතේ ප්‍රතිපාදන අනුව 2020 අගෝස්තු මස 05 වන දින ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සදහා සභීකයින් පත්කර ගැනීමේ මැතිවරණය ප්‍රකාශයට පත් කර ඇත.ඒ අනුව ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව මෙම මැතිවරණය පැවැත්වීම සදහා අවශ්‍යවන්නා වූ ක්‍රියාමාර්ග සූදානම් කරමින් ඇත.

ඒ අනුව ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 104 ආ (5) ආ අනුව්‍යවස්ථාව යටතේ වන මාධ්‍ය උපමාන 2020.06.03 වන දින අංක 2178/24 අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත් කර ඇත. මෙම මාධ්‍ය උපමානවලට අනුව සියලුම විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය මෙම මාධ්‍ය උපමාන වලින් බැදි, එම උපමාන වලට අනූකූලව ක්‍රියාත්මක වන බව වගබලා ගත යුතුය. තවද වැඩිදුරටත් එහි දැක්වෙන්නේ මෙම උපමානවලට අනුකූලව කටයුතු කිරීම සමාජ වෙබ් අඩවි හිමිකරුවන්, සමාජ මාධ්‍ය වෙබ් අඩවි පරිපාලකවරුන්ගේ ද, කේබල් රූපවාහිනී නාලිකා හිමිකරුවන්ගේ ද වගකීම වන බවයි.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව මෙම මාධ්‍ය උපමාන තුළ අඩංගු අංක 24 හා 25 යන උපමාන කෙරෙහි ඔබගේ අවධානය යොමු කරන්නෙමු. එනම්.

“24. සෑම මාධ්‍ය ආයතනයක්ම ආගමික විශ්වාස,ඇදහිලි, කථන භාෂා, වාර්ගිකත්වය, චාර්ත්‍ර හා කුල ගෝත්‍ර ඇතුළු විවිධ හේතු පදනම් කරගනිමින් ශ්‍රී ලාංකික ජනතාව තුළ වෛරය හා නොඉවසන සුළු බව ඇතිවන හෝ ඇතිකරවන ආකාරයට ප්‍රචාරණ කටයුතු විකාශය කිරීම, ප්‍රචාරය කිරීම හෝ පළ කිරීමෙන් වැළකිය යුතුය.

25.සෑම මාධ්‍ය ආයතනයක්ම සමාජය තුළ හෝ දේශපාලන ක්‍රියාකාරීන් අතර වෛරී සහගත දේශපාලනය ප්‍රවර්ධනය වන ආකාරයේ කටයුතු විනාශ කිරීමෙන්, ප්‍රචාරය කිරීමෙන් හෝ පළ කිරීමෙන් වැළකිය යුතුය.”

මූලාශ්‍රය - 2020 ජූනි මස 03 වන බදාදා අංක 2178/24 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රය

ශ්‍රී ලංකාව තුළ පවතින වෙනස්කම් පදනම් කරගෙන ශ්‍රී ලාංකීය ජනතාව තුළ වෛරී සහ නොඉවසන සුළුබව ඇතිවන හෝ ඇතිකරවන ආකාරයේ විකාශය කිරීම්, ප්‍රචාරය කිරීම් හෝ පළ කිරීම්වලින් වැළකිය යුතු බව මෙමගින් අවධාරණය කර ඇත.තවද සමාජය තුළ හෝ දේශපාලන ක්‍රියාකාරීන් අතර වෛරී සහගත දේශපාලනයක් ප්‍රවර්ධනය වන ආකාරයේ විකාශය කිරීම්,ප්‍රචාරය කිරීම් හෝ පළ කිරීම්වලින් වැළකිය යුතු බව වැඩිදුරටත් දක්වා ඇත.සමස්තයක් ලෙස රට තුළ පවතින විවිධත්වය සමාජය තුළ බෙදීමක් ඇතිකරවන ආකාරයේ කටයුතු තුළින් එක් එක් කණ්ඩායම් සෙසු කණ්ඩායම් කෙරෙහි වෛරී සහගත ආකාරයෙන් හැසිරීමට යොමු කරවන ආකාරයේ කටයුතුවලින් වැළකී සිටින ලෙස මෙමගින් ඉල්ලීමක් කර ඇත.

නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයේ ජීවගුණය සුරක්ෂිත කිරීම සදහා කිසිවෙකුත් අත් නොහැරෙන මැතිවරණයක් පැවැත්වීම අත්‍යවශ්‍ය කරුණකි.එහිදී ජනතාව වෙත දේශපාලන පක්ෂ/ ස්වාධීන කණ්ඩායම්වල මතය ගෙන යෑමේදී ප්‍රධාන මාධ්‍යයක් ලෙස ජනමාධ්‍ය වෙත පැවරී ඇත්තේ අතිවිශාල වගකීමකි. එහිදී පුද්ගලයන්ට වෙත තම මතය ගෙන ගියත් ඡන්ද දායකයාට තම දේශපාලන මතය මැතිවරණයේදී ඡන්ද පත්‍රිකාව හරහා නිදහස්, සාධාරණ සහ බලපෑමකින් තොරව ප්‍රකාශ කිරීමේ අවකාශයට ජන මාධ්‍ය බාධා නොකළ යුතුය.එහිදී රට තුළ පවතින විවිධත්වය සමාජය තුළ බෙදීමක් ඇතිකරවන ආකාරයේ විකෘති පුවත් සහ කරුණු අතිශෝක්තියෙන් ගෙනහැරපාන ආකාරයේ පුවත් පල කිරීමෙන් වැලකීම සම්බන්ධයෙන් ජනමාධ්‍ය වෙත සුවිශාල වූ වගකීමක් පැවරී ඇත.

ඒ අනුව අගතිගාමී නොවන මාධ්‍ය හැසිරීමක් මගින් තම සුවිශේෂී වගකීම ඉටුකරනු ඇතැයි යන්න ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ඉතාමත් ඉහළ බලාපොරොත්තුවක් ශ්‍රී ලාංකීය මාධ්‍ය ක්ෂේත්‍රය වෙත තබා ඇත.එම සම්බන්ධයෙන් ඔබගේ ක්‍රියාකාරී මධ්‍යස්ථ මැදිහත්වීම අප දියුණු ප්‍රජාතන්ත්‍රවාදී සහ මානව හිමිකම් ගරු කරන සමාජයක් බිහිකිරීම වෙනුවෙන් ඔබ අතින් අපේක්ෂා කරන්නෙමු.

 

Share