කොරෝනා මැතිවරණ නීති ක්‍රියාත්මක කිරීමේ බලය කාටද? - නීතිඥ ජගත් ලියනාරච්චිගෙන් පැහැදිලි කිරීමක්

Staff Writer | Author . Translate to English or தமிழ் 7/21/2020 11:07:00 AM
කොරෝනා මැතිවරණ නීති ක්‍රියාත්මක කිරීමේ බලය කාටද? - නීතිඥ ජගත් ලියනාරච්චිගෙන් පැහැදිලි කිරීමක්

කොරෝනා පාලනය සඳහා මැතිවරණයේදී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග ඇතුළත් ගැසට්ටුවේ නියෝග ක්‍රියාත්ම⁣ක කිරීමට පොලිස් නිලධාරීන්ට බලය ඇති බව නීතිඥ ජගත් ලියන ආරච්චි මහතා පවසයි.

එම නියෝග ක්‍රියාත්මක කිරීමට බලධාරීන් නම් කර නොමැති බවට ඇතැම් පාර්ශවයන් මැසිවිලි නගන නමුත් මෙම නියෝග පනවා ඇත්තේ නිරෝධායන සහ රෝග වැළැක්වීමේ ආඥා පනතේ 2වන වගන්තිය යටතේ බැවින් එම නියෝගවල බලපෑම තේරුම් ගැනීමට නම් එකී පනතේ වගන්ති කියවා තේරුම් ගත යුතු බව ඒ මහතා කියයි. 

එම පනතේ 6 වන වගන්තියට අනුව පනත යටතේ වරදක් කරන පුද්ගලයකු වැළැක්වීම සහ රඳවා ගැනීමට පොලිස් නිලධාරියකුට සහ පනත යටතේ පත්කරන ලද පරීක්‍ෂකවරයකුට බලය ඇති බව පැහැදිලිව සදහන් වන බව ද ඒ මහතා සඳහන් කරයි.

මෙම නියෝග කඩ කරන අවස්ථාවන්හිදී ඒවා වැළැක්වීමට පොලිස් නිලධාරීන්ට සහ පනත යටතේ පත්කරන ලද පරීක්‍ෂකවරුන්ට බලයක් ඇතැයිද පනත යටතේ පත් කරන ලද පරීක්‍ෂකවරුන් කවුරුන්දැයි පැහැදිලි නැති නමුත් පොලිස් නිලධාරීන්ට බලය ඇති බව ඉතා පැහැදිලි බව ඒ මහතා තවදුරටත් ප්‍රකාශ කරයි.

විශේෂයෙන්ම මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය රැළි අසල ජනාතාවට ආරක්‍ෂාව ලබාදෙන්නේ ද එම රැස්වීම් අමතන ප්‍රභූවරුන්ට ආරක්‍ෂාව ලබාදෙන ඇමති ආරක්‍ෂක නිලධාරීන් වන්නේද පොලිස් නිලධාරීන් බැවින් මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය තුළ මෙම නියෝග කඩකරන පුද්ගලයන්ට පොලිස් නිලධාරීන් ඇසට හසු නොවීමට හේතුවක් නොමැති බව නීතිඥ ජගත් ලියන ආරච්චි මහතා පෙන්වා දෙයි.

තමන් ඉදිරියේ නීතිය කඩකරන විට එය වැළැක්වීමට ක්‍රියාකිරීමට පොලිස් නිලධාරියකුට පැමිණිල්ලක් ලැබීම අවශ්‍ය නොවන බවද ඒ මහතා සඳහන් කරයි.

කොරෝනා පාලනය සඳහා මැතිවරණයේදී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග ඇතුළත් ගැසට්ටුවේ නීතිමය තත්ත්වය සම්බන්ධයෙන් නීතිඥ ජගත් ලියන ආරච්චි මහතා  ⁣ෆේස්බුක් සටහනක් පළ කරමින් මේ බව පැවසීය.

එම සම්පූර්ණ සටහන පහත දැක්වෙයි.

සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් 2020 ජූලි 17 වන දින අංක 2184/34 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් 2020 අංක 1 දරන 2019 කොරෝනා වෛරස් රෝගය (කොවිඩ්-19) ඡන්ද විමසීම්) නියෝග නිකුත් කරන ලදී.

මෙම නියෝග නිකුත් කරන ලද්දේ 1897 අංක 03 දරණ නිරෝධායන සහ රෝග වැලැක්වීමේ ආඥා පනතේ 2 වන සහ 3 වන වගන්ති යටතේ සෞඛ්‍ය විෂය භාර අමාත්‍යවරයාට පැවරී ඇති බලතල උපයෝගී කරගනිමිනි. 

පනතේ 2 වන වගන්තිය යටතේ සෞඛ්‍ය අමාත්‍යවරයාට නියෝග පැනවීමේ බලය පවරා තිබෙන අතර එකී නියෝගයන්හි විෂය පථය එහි 3 වන වගන්තියේ දක්වා ඇත. එකී නියෝග සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් ගැසට් පත්‍රයේ පළ කළ යුතු බව පනතේ 12 වන වගන්තියේ දක්වා ඇත. 

නියෝගයන්හි විෂය පථය කෝවිඩ් වසංගතය හමුවේ මැතිවරණ පැවැත්වීමට අදාලව නිකුත් කර ඇති මෙම නියෝගයන් හි විෂය පථය මැතිවරණයට අදාල ක්‍රියාකාරකම් 4ක් ආවරණය වේ. එනම්

1- මැතිවරණ ප්‍රචාරක රැස්වීම්
2- මැතිවරණ ප්‍රචාරක කාර්යාල
3- මැතිවරණ ප්‍රචාරය සදහා ගෙයින් ගෙට සිදුකරන ප්‍රචාරක කටයුතු
4- ඡන්ද මධ්‍යස්ථාන, ගනන් කිරීමේ මධ්‍යස්ථාන සහ මැතිවරණ කොමිෂන් සභාව

මෙම ශිර්ෂයන් යටතේ පනවා ඇති නියෝගයන් සරල ලෙස අවබෝධ කර ගනිමු.

1-මැතිවරණ ප්‍රචාරක රැස්වීම්

මැතිවරණ ප්‍රචාරක රැස්වීමක් පැවැත්වීමේදී පහත සදහන් ක්‍රියාමාර්ග අනුගමනය කළ යුතුය.

  • රැස්වීම පැවැත්වීමට පැය 24 කට පෙර ප්‍රදේශයේ සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී වෙත ලිඛිතව දැනුම් දිය යුතුය.
  • රැස්වීවීමට පැමිණෙන සියලු දෙනාටම අත් සෝදාගැනීමට අවශ්‍ය පහසුකම් සැලසිය යුතුය.
  • සියලුම දෙනා මුඛ ආවරණ පැලඳ සිටින බවට වගබලා ගත යුතුය.
  • කථිකයාද ඇතුළු සියලුදෙනාම අවම වශයෙන් මීටරයක දුර පවත්වාගෙන යා යුතුය.
  • එක් කථිකයකුගේ කථාවෙන් පසුව මයික්‍රපෝනය විෂබීජහරණය කළ යුතුය.
  • රැස්වීමේ සහභාගිකයන් සංඛ්‍යාව 300 නොයික්මවිය යුතු අතර පක්‍ෂ නායකයින් සම්බන්ධවන රැස්වීම්වල සභභාගිකයන් 500 නොයික්මවිය යුතුය.
  • රැස්වීමට පැමිණෙන සියලුම දෙනාගේ නම් ලිපියනයන් හැදුනුම්පත් අංකය සහ දුරකථන අංක සංවිධායක විසින් සටහන් කරගත යුතුය.

මෙම සියලු කාර්යයන්ගේ වගකීම රැස්වීමේ සංවිධානයට පැවරී ඇත.

2-මැතිවරණ ප්‍රචාරක කාර්යාල

ප්‍රචාරක කාර්යාලයන් පවත්වාගෙන යන අපේක්‍ෂකයන්  පහත නියෝග පිළිපැදිය යුතුය.

  • කාර්යාලයට ඇතුළුවන අයට අත් සෝදාගැනීමට පහසුකම් සැලසිය යුතු අතර ඔවුන් අත් සෝදාගෙන පැමිණෙන බවට වගබලා ගත යුතුය.
  • කාර්යාල පරිශ්‍රය තුළ දෙදෙනෙකු අතර පරතරය මීටරයකට නොඅඩු සමාජ දුරස්ථභාවක්යක් පවත්වාගෙන යා යුතුය.
  • කාර්යාලයට පැමිණෙන සියළුම දෙනා මුඛ ආවරණ පැළඳ සිටීමට වගබලාගත යුතුය.
  • කාර්යාල පරිශ්‍රයට මධ්‍යසාර නොගෙනා යුතුය.
  • කාර්යාලය තුළ සූදු ක්‍රීඩාව හෝ හැකියාවන් උරගා බැලීමේ ක්‍රිඩාවන් නොකළ යුතුය.

මෙම ප්‍රතිපාදන සැලකිල්ලෙන් කියවීමේදී පෙනී යන්නේ ඉහත නියෝගයන්ට අනුකූලව කාර්යාලය පවත්වාගෙන යාම අපේක්‍ෂකයාගේ වගකීමක් බවයි.

3-ගෙයින්ගෙට යමින් සිදු කරන ප්‍රචාරක කටයුතු

මැතිවරණ ප්‍රචාරය සදහා ගෙයින් ගෙට යාම සම්බන්ධයෙන් පහත නියෝග පිළිපැදිය යුතුය.

  • ගෙයින් ගෙට යන කණ්ඩායම පස්දෙනෙකුට නොවැඩි විය යුතුය.
  • සියලු දෙනා මුඛ ආවරණ පැළඳිය යුතුය.
  • නිවැසියන් සහ ඔවුන් අතර පරතරය මීටරයක පවත්වාගත යුතුය.
  • අත් පත්‍රිකා ලබාදීමේදී තම දෑත් විෂබීජහරණය කල යුතුය.

මෙම නියෝගයන් පිළිපැදීමේ වගකීම ප්‍රචාරක කණ්ඩායම සතුය.

4-ඡන්ද පොළක සහ එහි පරිශ්‍රයේ, ඡන්දය ගණන් කිරීමේ මධ්‍යස්ථාන සහ එහි පරිශ්‍ර සහ මැතිවරණ කොමිෂන් සභාව තුළ

ඉහත කී ස්ථානවල සිටින සියලුම දෙනා පහත නියෝග පිළිපැදිය යුතුය.

  • ඇතුල්වීමට පෙර දැත් විෂබීජහරණය කිරීම
  • සෑම අවස්ථාවකම මුඛ ආවරණ පැළඳ සිටීම
  • දෙදෙනකු අතර දුර මීටරයකට නොඅඩුව පවත්වාගෙන යාම

මෙම නියෝගයන් පිළිපැදීමේ වගකීම ඡන්ද දායකයන්ට, මැතිවරණ නිලධාරීන්ට, පොලිස් නිලධාරීන්ට, දේශපාලන පක්‍ෂ නියෝජිතයින්ට සහ එම ස්ථානවලට ඇතුළුවන සියලුම දෙනාට පවතී

නියෝග කඩ කිරීමේ නීතිමය ප්‍රතිවිපාක 

පනත යටතේ පළ කරන ලද නියෝගයකට පටහැනිව කටයුතු කිරීම වරදක් බව ඉහත කී නිරෝධායන සහ රෝග වැළැක්වීමේ පනතේ 4 වන වගන්තියේ දැක්වේ. එහි 6 වන වගන්තියේ දැක්වෙන්නේ පනත යටතේ වරදක් කරන පුද්ගලයකුව වරෙන්තුවක් නොමැතිව නැවැත්වීම සහ රඳවාගැනීමට පොලිස් නිලධාරීයකුට සහ පනත යටතේ පත්කරන ලද පරීක්‍ෂකවරයකුට බලය ඇති බවයි. 

එසේම මෙම නියෝග කඩ කිරිම සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් අධිකරණයේ පවරන නඩුවකින් වැරදිකරු වුවහොත් රුපියල් දෙදහසකට නොඅඩු සහ රුපියල් දසදහසකට නොඅඩු දඩයකට හෝ මාස 6ක සිරදඩුවමකට හෝ එම දඩුවම් දෙකටම ලක්විය හැකිය.

නියෝග ක්‍රියාවට නැංවීම

සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් පනවන ලද නියෝග ක්‍රියාත්මක කිරීමේ බලධාරීන් නම් කර නොමැති බවට ඇතැම් පාර්ශවයන් මැසිවිලි නගන බව පෙනේ. නමුත් මෙම නියෝග පනවා ඇත්තේ නිරෝධායන සහ රෝග වැළැක්වීමේ ආඥා පනතේ 2වන වගන්තිය යටතේ බැවින් නියෝගවල බලපෑම තේරුම් ගැනීමට නම් එකී පනතේ වගන්ති ද කියවා ගත යුතුය. 

ඉහත කී පනතේ 4 වන වගන්තියට අනුව පනත යටතේ පනවන ලද නියෝග කඩකිරීම වරදක් වේ. පනතේ 6 වන වගන්තියට අනුව පනත යටතේ වරදක් කරන පුද්ගලයකු වැළැක්වීම සහ රදවා ගැනීමට පොලිස් නිළධාරියකුට සහ පනත යටතේ පත්කරන ලද පරීක්‍ෂකවරයකුට බලය ඇති බව පැහැදිලිව සදහන් වන බැවින් මෙම නියෝග කඩ කරන අවස්ථාවන්හිදී ඒවා වැළැක්වීමට පොලිස් නිලධාරීන්ට සහ පනත යටතේ පත්කරන ලද පරීක්‍ෂකවරුන්ට බලයක් ඇත. 

පනත යටතේ පත් කරන ලද පරීක්‍ෂකවරුන් කවුරුන්දැයි පැහැදිලි නැත. නමුත් පොලිස් නිලධාරීන් ඉතා පැහැදිලිය. විශේෂයෙන්ම මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය රැළි අසල ජනාතාවට ආරක්‍ෂාව ලබාදෙන්නේ පොලිස් නිලධාරීන්ය. එසේම එම රැස්වීම් අමතන ප්‍රභූවරුන්ට ආරක්‍ෂාව ලබාදෙන ඇමති ආරක්‍ෂක නිලධාරීන්ද පොලිස් නිලධාරීන්ය. එබැවින් මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය තුළ මෙම නියෝග කඩකරන පුද්ගලයන්ට පොලිස් නිලධාරීන් ඇසට හසු නොවීමට හේතුවක් නොමැත. (තමන් ඉදිරියේ නීතිය කඩකරන විට එය වැළැක්වීමට ක්‍රියාකිරීමට පොලිස් නිලධාරියකුට පැමිණිල්ලක් ලැබීම අවශ්‍ය නොවේ).

එසේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 104ඇ ව්‍යවස්ථාව අනුව මැතිවරණය නිදහස්ව සහ සාධාරණව පැවැත්වීම සදහා අවශ්‍ය පොලිස් නිලධාරීන් සංඛ්‍යාවක් මැතිවරණ කොමිෂන් සභාවේ ඉල්ලීම පරිදී පොලිස්පතිතුමා විසින් මැතිවරණ කොමිෂන් සභාව වෙත නිදහස් කළ යුතුය. එකී නිලධාරීන් මැතිවරණ කොමිෂන් සභාවේ විධානය සහ පාලනය යටතේ ක්‍රියා කළ යුතුය. එබැවින් එම පොලිස් නිලධාරීන්වද මෙම නියෝග කඩකරන පුද්ගලයන් වැළැක්වීම සහ රඳවා ගැනීම සදහා යෙදවීමේ හැකියාව මැතිවරණ කොමිෂන් සභාවටද ඇත.

නීතිඥ ජගත් ලියන ආරච්චි

Share