"පාසල් වසා දැමුවත් ටියුෂන් ක්‍රියාත්මකයි : විභාග විටින් විට කල් දැමීම ප්‍රශ්නයක්"

නිලුක සදුන් | Author . Translate to English or தமிழ் 7/20/2020 3:41:00 PM
"පාසල් වසා දැමුවත් ටියුෂන් ක්‍රියාත්මකයි : විභාග විටින් විට කල් දැමීම ප්‍රශ්නයක්"

රජය උසස් පෙළ විභාග සහ ශිෂ්‍යයත්ව විභාගය පැවැත්වෙන දිනය විටින් විට වෙනස් කිරීම මගින් රජයේ තීරණවල අවිනිශ්චිතභාවය සහ අදාළ පාර්ශ්ව සමග සාකච්ඡා නොකිරීමේ ප්‍රතිඵල පෙන්නුම් කරන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂෆ් ස්ටාලින් මහතා පැවසීය.

විභාග පැවැත්වීමේ දින මෙලෙස විටින් 
වෙනස් කිරීමට හේතුව විධිමත් ලෙස සියලු පාර්ශ්ව සමග සාකච්ඡා නොකිරීම බවත් රජය සෑමවිටම සාකච්ඡා කළේ ටියුෂන් ගුරුවරුන් සමග පමණක් බවත් ඔහු සඳහන් ක⁣ළේය.

මොන පදනමකින් මෙලෙස උසස් පෙළ පැවැත්වෙන දිනය ඔක්තෝබර් 12 ලෙස නම් කළාද ගැටළුවක් බව ද මේ තීරණය ගැන ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් සමග සාකච්ඡා නොකළ බව ද ඒ මහතා පැවසීය.

ඉදිරියේදීවත් මෙවන් තීරණ ගැනීමට පෙර ගුරුවරුන්,විදුහල්පතිවරුන් සහ අදාළ වෘත්තීය සමිති සමග සාකච්ඡා කරන්නැයි ද එසේ නැතහොත්  දිගටම දින ප්‍රකාශ කර කර සිටින්නට සිදු වේයැයි ද ස්ටාලින් මහතා ප්‍රකාශ කළේය.

පාසල් වසා දමා තිබියදී ටියුෂන් පන්ති පැවැත්වී⁣මත් ගැටළුවක් බවත් එය වැරදි බවත් ඔහු කීවෙිය.

ඒ මහතා මෙසේද පැවසීය.

"ආණ්ඩුව මුලින් කිව්වා අගෝස්තු විභාග පවත්වනවා කියලා.පස්සේ ආයේ කිව්වා සැප්තැම්බර් 07ට කල් දානව කියලා.ඊට පස්සේ කිව්වා විභාගය සිසුන්ගේ ඉල්ලීම මත සුදුසු විදියට කල් දානව කියලා.ඒත් දැන් ආයෙත් කල් දාලා තියෙන්නේ ඔක්තෝබර් මාසයට.මොන පදනමකින් මේ දිනය ප්‍රකාශයට පත් කළාද දන්නේ නෑ. අනික පාසල් පටන් ගන්න දිනය කිව්වේ ගිය සිකුරාදා.එකේදි කිව්වා විභාග පැවැත්වෙන දිනය සඳුදා කියනවා කියලා.ඒත් සිකුරාදා සහ සඳුදා අතර තියෙන්නේ සෙනසුරාදා සහ ඉරිදා දවස් දෙක විතරයි.මෙහෙම විභාග පැවැත්වෙන දිනයක් ප්‍රකාශ කරන්නත් දින කල් දාන එක හරිම ප්‍රශ්නයක්.ඒකෙන් පෙන්වන්නේ කොච්චර තීරණ අවිනිශ්චිතද කියන එකයි.මේකට හේතුව විධිමත් සාකච්ඡාවක් නැති කම.සියලු පාර්ශ්ව එක්ක සාකච්ඡා කරන්න ඕනේ. ඒත් මේ අය සාකච්ඡා කළේ ටියුෂන් ගුරුවරු එක්ක විතරයි.

විභාග දින ගැන සමීක්ෂණයක් කළා අධ්‍යාපන අමාත්‍යාංශ වෙබ් අඩවියෙන්.ඒත් ඒකේ ප්‍රතිඵල නිසි විදියට ප්‍රකාශ කරලා නෑ තවම. ළමයි මුල ඉඳන්ම කිව්වා මාස පහක් නැති වුණා.ඒ නිසා සාධාරණ දිනයක් දෙන්න කියලා.සමහර ළමයි ඉල්ලුවා ඉක්මණට විභාගය තියන්න කියලා.අපි කියන්නේ මේ දිනය ස්ථාවර තියාගන්න කියලා.විටින් විට වෙනස් නොකර.

අයේ මේ වගේ ව්‍යසන තත්ත්වයක් ආවොත් අපි ඉල්ලන්නේ ගුරුවරුන්,විදුහල්පතිවරුන් සහ අදාළ වෘත්තීය සමිති එක්ක සාකච්ඡා කරලා දිනයක් ප්‍රකාශ කරන්න.නැත්නම් දිගටම දින ප්‍රකාශ කර කර ඉන්න වෙයි.

අනෙක් කාරණය පාසල් නිවාඩු දාලා තියෙද්දි ටියුෂන් පන්ති පැවැත්වෙනවා.මොකද්ද ඒකේ තේරුම. හරිනම් ටියුෂන් කියන්නේ අධෛර්යමත් කළ යුතු දෙයක්.නමුත් පාසල් වසා දාලා තියෙන වෙලාවකත් ටියුෂන් පන්ති පැවැත්වෙනවා.ඒක දිරිමත් කරනවා. සමහර දේශපාලන වශයෙන් උදව් කරන ටියුෂන් ගුරුවරුන් වෙනුවෙන් තමයි මේ තීරණ මෙහෙම වෙන්නේ."

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී විභාග කොමසාරිස් සනත් පූජිත මහතා පැවසූවේ විභාග පැවැත්වෙන දින ගැන සමීක්ෂණයක් සිදු කර විභාග නැවත පැවැත්වීමෙි දිනය ගැන තීරණය ගත් බවයි.

විශේෂයෙන් දුෂ්කර පාසල්වල විදුහල්පතිවරුන්, පළාත් අධ්‍යක්ෂවරුන් සහ කලාප අධ්‍යක්ෂවරුන්ගෙන් අදහස් විමසා මෙම තීරණය ගත් බව ද ඒ මහතා සඳහන් කළේය.

ආණ්ඩුවේ තීරණවල ගමන් මග

කොරෝනා පැවති මුල් කාලයේ රජයේ විවිධ ප්‍රකාශකයින් පැවසුවේ උසස් පෙළ විභාගය නියමිත ආකාරයෙන් අගොස්තු මස පැවැත්වීමට කටයුතු කරන බවයි.

නමුත් ජූනි 09 වැනිදා ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් අධ්‍යාපන ඇමති ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රකාශ කළේ උසස් පෙළ විභාගය සැප්තැම්බර් 07 දක්වා කල් දමන බවටයි.

එම තීරණය අධ්‍යාපන අමාත්‍යාංශයේ පෞද්ගලික තීරණයක් හෝ දේශපාලන තීන්දුවක් නොවන බවත් පාර්ශ්ව රැසක් සමග කළ දීර්ඝ සාකච්ඡා ගණනාවකින් අනතුරුව මෙම තීරණය ගත් බවත් අමාත්‍යවරයා එහිදී පැවසීය.

නමුත් ජුනි 16 නැවතත් නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන ලේකම්වරයා පැවසුවේ ජූලි 06 වැනිදා පාසල් ආරම්භ වූ පසු අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ගෙන්, එම පන්තිවල ඉගැන්වීම් කරනු ලබන ගුරු භවතුන්ගේ හා විදුහල්පතිවරුන්ගේ අදහස් හා යෝජනා පුළුල් වශයෙන් සැලකිල්ලට ගනිමින් විභාගය පවත්වන දින පිලිබද අවසන් තීරණය ගන්නා බවයි.

ඒ අනුව උසස් පෙළ විභාගය සහ ශිෂ්‍යයත්ව විභාගය පැවැත්වෙන දිනය දෙවැනි වරටත් කල් දැමීමට රජය අද (20) තීන්දු කළේය.

පාසල් ආරම්භය ගැන ද විවිධ ප්‍රකාශ ආණ්ඩුවේ ප්‍රකාශකයන් විසින් නිකුත් කරනු ලැබිය. 

මාර්තු 12 පාසල් වසා දැමීමෙන් පසු මුල් කාලයේදී පාසල් කෙසේ හෝ අප්‍රේල් 20 වැනිදා ආරම්භ කරන බව ප්‍රකාශ කෙරුණ අතර පසුව මැයි 11 වැනිදා ආරම්භ වන බවටද ප්‍රකාශ කෙරිණි.

අවසානයේ පාසල් ආරම්භ කෙරුණේ ජූලි 06 වැනිදාය.නමුත් ජූලි නැවත ජූලි 13 සිට ජුලි 17 වැනිදා තෙක් දිවයින පුරා සියලු පාසල් වසා සතියකට වසා දමන බවට රජය ජූලි 12 වැනිදා සවස නිවේදනය කළේය.

ඉන්පසු රජය යළි ඉකුත් සිකුරාදා නිවේදනය ක⁣⁣ළේ ජූලි 27 වන තෙක් පාසල් වසා දමන බවයි.

මෙම තීරණය සියලුම පෞද්ගලික පාසල්, ජාත්‍යන්තර පාසල් සහ උපකාරක පන්ති විසින් ද අනුගමනය කරනු ඇතැයි එම නිවේදනවල සඳහන් වූවද මේ වන විටත් දිවයි⁣නේ බොහෝ ප්‍රදේශවල උපකාරක පන්ති පැවැත්වෙයි.

මාර්තු 12 වැනිදා පාසල් වසා දැමීමෙන් දින 115කට පමණ පසු පාසල් නැවත ආරම්භ වූයේ ජූලි 06 වැනිදා ය.එලෙස පාසල් ආරම්භ වූයේ ද 05, 11 සහ 13 යන ශ්‍රේණිවලට පමණි.අනෙකුත් ශ්‍රේණි සඳහා පාසල් විවෘත වීමට නියමිතව තිබුණේ පසුවය.

ජූලි 20 වැනිදා 10 සහ 12 යන ශ්‍රේණිවල සිසුන් ද ජූලි 27 වැනිදා 03,04,06,07,08,09 යන ශ්‍රේණිවල සිසුන් ද පාසල් කැඳවීමට නියමිතව තිබුණි.

නව තීරණය අනුව දෙවන පාසල් වාර නිවාඩුව ඔක්තෝබර් 09 වැනිදා සිට නොවැම්බර් 16 වැනිදා දක්වා ලබා දීමට නියමිතය. 

අද පැවති සාකච්ඡාකදී අධ්‍යාපන ලේකම් N.H.M චිත්‍රානන්ද මහතා පැවසූවේ 11,12,13 හැර අනෙක් සියලු ශ්‍රේණි අගෝස්තු 10 වැනිදා වන විට ආරම්භ කරන බවයි.

ඒ මහතා මෙසේද කීවේය.

"ප්‍රථම වතාවට උසස් පෙළ සිසුන්ගේ  සමීක්ෂණයක් කළා විභාගය ගැන දරුවන්ගේ පැත්තෙන් තීරණය කරන්න.ඒ අනුව තීරණය වුණේ පාසල් සියලු ශ්‍රේණි සඳහා අගෝස්තු 10 වන විට විවෘත කරන්නත් උසස් පෙළ විභාගය ඔක්තෝබර් 12 තියන්නත් ඔක්තෝබර් 11 ශිෂ්‍යයත්ව විභාගය තියන්නත්.

11/12/13 හැර සියලු ශ්‍රේණි අගෝස්තු 10 වෙද්දි ආරම්භ කරනවා."

Share