කොරෝනා නිසා දෙමළ දේශපාලන සිරකරුවන්ට සහන සලසන්නැයි ඉල්ලීමක්

Staff Writer | Author . Translate to English or தமிழ் 7/20/2020 1:51:00 PM
කොරෝනා නිසා දෙමළ දේශපාලන සිරකරුවන්ට සහන සලසන්නැයි ඉල්ලීමක්

කොරෝනා වසංගතය උත්සන්න වෙමින් පවතින බැවින් දීර්ඝ කාලයක් සිර දඬුවම් ලැබූ දෙමළ දේශපාලන සිරකරුවන්ට ඇප ලබා දීම වැනි සහන සලසන ලෙස ශ්‍රී ලංකා දෙමළ ජාතික පක්ෂයේ (ITAK) නායක මවායි සේනාධිරාජා මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටී.

කොරෝනා තත්ත්වය යටතේ දෙමළ දේශපාලන සිරකරුවන්ට සහනයක් ඉල්ලා ජනාධිපතිවරයා වෙත ලිපියක් යවමින් ඒ මහතා මේ බව ඉල්ලා සිටියේය.

බන්ධනාගාරවල කොරෝනා පැතිරීම මධ්‍යයේ, දීර්ඝ කාලයක් තිස්සේ රඳවාගෙන සිටින දෙමළ දේශපාලන සිරකරුවන් සඳහා වෙනත් රටවල මෙන් තාවකාලික මුදාහැරීමේ ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම කෙරෙහි අවධානය යොමු කරන ලෙස ඔහු ඉල්ලා සිටියේය.

එම ලිපියේ මෙසේද සඳහන් වෙයි.

"ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හා හදිසි රෙගුලාසි යටතේ අත්අඩංගුවට ගත් දෙමළ දේශපාලන සිරකරුවෝ වසර 10-24 ක සිර දඬුවම් විඳිමින් සිටිති.

දේශපාලන සිරකරුවන් වර්ග හතරකි.

 1. උසාවියකින් වරදකරු වී දඬුවමක් නියම වූ අය.
 2. පුද්ගලයාට චෝදනා එල්ල වී ඇති නමුත් නඩුවල අවසන් තීන්දුව බලාපොරොත්තුවෙන් සිටින අය.
 3. සැක සහිතව අත්අඩංගුවට ගෙන  රඳවා සිටින අය. නමුත් තවමත් චෝදනා ගොනු කර නොමැති අය.
 4. රඳවාගැනීම් නියෝග මත හෝ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ නියෝග මත සිටින රැඳවියන්.

වර්තමාන තත්ත්වය තුළ බන්ධනාගාරවල ද කොරෝනා පැතිරීම නිරීක්ෂණය වී ඇති අතර සමහර රැඳවියන්ට කොරෝනා වැළඳී තිබේ. මේ තත්ත්වය මත ඔවුන්ගේ ඥාතීන් හමුවීමට නොහැක වීම නිසා සිරකරුවන් දැඩි මානසික පීඩනයකට ලක්ව ඇත.

සමහර රටවල දිගුකාලීන රැඳවියන් උසාවි නියෝග මත තාවකාලිකව නිදහස් කර ඇති අතර ඔවුන්ගේ නිවෙස්වල දිගටම රඳවා තබා ගැනීමට අවස්ථාව ලබා දී තිබේ.  එසේම සමහර සිරකරුවන්ට කොන්දේසි සහිතව ඇප ලබා දීමට ද පියවර ගෙන තිබේ.

මානුෂීය හේතූන් මත සිරකරුවන්ගේ මානසික තත්ත්වය සැලකිල්ලට ගනිමින් මූලික මානව හිමිකම් යටතේ දෙමළ දේශපාලන සිරකරුවන්ට මෙම වරප්‍රසාද ලබා දීමට පියවර ගන්නා ලෙස ඉල්ලා සිටිමි."

Share