ආණ්ඩුවේ තීන්දුව අධිකරණයෙන් අත්හිටුවයි : වැලි ප්‍රවාහන බලපත් යළි ක්‍රියාත්මක කරන්න නියෝග

නිලුක සදුන් | Author . Translate to English or தமிழ் 7/17/2020 4:51:00 PM
ආණ්ඩුවේ තීන්දුව අධිකරණයෙන් අත්හිටුවයි : වැලි ප්‍රවාහන බලපත් යළි ක්‍රියාත්මක කරන්න නියෝග

නිසි බලපත්‍රයක් නැතිව වැලි, පස් සහ මැටි ප්‍රවාහනය කරන සියලු පුද්ගලයන් අත්අඩංගුවට ගන්නා ලෙස අභියාචනාධිකරණය අද(17) වැඩබලන පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතාට නියෝග කළේය.

එමෙන්ම වැලි, පස් හා මැටි ප්‍රවාහන බලපත් නැවත පෙර පරිදි ක්‍රියාත්මක කිරීමට ද අධිකරණය නියෝග කළේය.

අභියාචනාධිකරණය මෙම නියෝගය ලබාදුන්නේ වැලි, පස් හා මැටි ප්‍රවාහනය සඳහා වන බලපත්‍ර ක්‍රමය කැබිනට් පත්‍රිකාවක් මගින් අහෝසි කිරීමට එරෙහිව පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ගොනු කරනු ලැබූ නඩුවක අතුරු නියෝගයක් නිකුත් කරමිනි. 

කැබිනට් මණ්ඩලයට එලෙස තීන්දුවක් ගැනීමට බලයක් නොමැති බවත් එලෙස තීන්දුවක් ගෙන නැති බවත් නීතිපති දැනුම් දුන්නේය.

එවැනි තීන්දුවක් ගෙන ඇති බවට පළ වූ මාධ්‍ය වාර්තා⁣ පෙන්වමින් පෙත්සම්කාර පාර්ශ්වය සඳහන් කළේ ඒ බව කැබිනට් මණඩල කාර්යාලයෙන් හුවමරු වී ඇති ලිපි ලේඛනවලින්ද පැහැදිලි වන බවයි.

එම සියලු ප්‍රකාශන සහ ලිපි ගනුදෙනු සියල්ල බලරහිත බව අධිකරණය තීන්දු කළේය.

එමෙන්ම ප්‍රවාහන බලපත් නොමැතිව වැලි, පස් සහ මැටි ප්‍රවාහනය කරන පිරිස් අත්අඩංගුවට ගන්නා ලෙස අභියාචනාධිකරණය වැඩබලන පොලිස්පතිවරයාට නියෝගයක් නිකුත් ක⁣ළේය.

මේ සම්බන්ධයෙන් රජයේ බලධාරීන් ක්‍රියා කරන ආකාරය ගැන සොයා බැලීම සඳහා මෙම නඩුව නැවත ඔක්තෝබර් 19 වැනිදා කැඳවීමට නියම කෙරිණි.

අගමැති මහින්ද රාජපක්ෂ මහතා, පරිසර සහ වනජීවි අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහතා, අධිකරණ අමාත්‍ය නිමල් සිරිපාල මහතා ඇතුළු 19 දෙනෙක් මෙම පෙත්සමේ වගඋත්තරකරුවෝ ලෙස නම්කරනු ලැබ සිටිති.

පෙත්සමේ වගඋත්තරකරුවෝ

1.වනජීවී අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන 
2.අගමැති මහින්ද රාජපක්ෂ
3.අධිකරණ අමාත්‍ය නිමල් සිරිපාල
4.සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන්
5.විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන
6.ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද
7.සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි
8.උසස් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන
9.ස්වදේශ කටයුතු අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන්
10.කෘෂිකර්ම අමාත්‍ය චමල් රාජපක්ෂ
11.අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම
12.මහාමාර්ග සහ අධිවේගී මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු
13.කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අමාත්‍ය විමල් වීරවංශ
14.මගී ප්‍රවාහන අමාත්‍ය මහින්ද අමරවීර
15.වැවිලි කර්මාන්ත හා අපනයන අමාත්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ
16.සංචාරක සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග 
17.භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය
18.වැඩබලන පොලිස්පති සී.ඩී වික්‍රමතුංග මහතා
19.නීතිපතිවරයා

පෙත්සම්කරුවෝ තම පෙත්සම මගින් පහත නියෝග නිකුත් කරන ලෙස අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියහ.

පතල් හා ඛනිජ ද්‍රව්‍ය පනතේ 28 වන වගන්තිය යටතේ අවශ්‍ය වන පරිදි දේශීය කර්මාන්ත හා ඉදිකිරීම් කර්මාන්තයට අවශ්‍ය වැලි, පස් හා මැටි ප්‍රවාහනය සඳහා බලපත්‍ර / බලපත්‍ර ලබා ගැනීම සඳහා පවත්නා අවශ්‍යතාවය ඉවත් කිරීම සම්බන්ධයෙන් 2019.12.04 දින ගනු ලැබූ කැබිනට් තීන්දුව අත්හිටුවමින් අතුරු නියෝගයක් ලබා දෙන ලෙසද;

පතල් හා ඛනිජ ද්‍රව්‍ය පනතේ 28 වන වගන්තිය යටතේ අවශ්‍ය වන පරිදි දේශීය කර්මාන්ත හා ඉදිකිරීම් කර්මාන්තයට අවශ්‍ය වැලි, පස් හා මැටි ප්‍රවාහනය සඳහා බලපත්‍ර / බලපත්‍ර ලබා ගැනීම සඳහා පවත්නා අවශ්‍යතාවය ඉවත් කිරීම සම්බන්ධයෙන් 1 සිට 16 දක්වා වගඋත්තරකරුවන් විසින් 2019.12.04 දින ගත් කැබිනට් තීරණය අවලංගු කරමින් සර්ටියෝරාරි රිට් නියෝගයක් නිකුත් කරන ලෙස ද 

පතල් හා ඛනිජ ද්‍රව්‍ය පනත යටතේ සංශෝධිත පරිදි නිකුත් කර ඇති සියලුම ප්‍රවාහන හා පතල් බලපත්‍ර විධිමත් කිරීම සඳහා 1 සිට 17 වන වගඋත්තරකරුවන්ට නියම කරමින් මැන්ඩමූස් රිට් නියෝගයක් ලබා දෙන ලෙසද;

පතල් හා ඛනිජ ද්‍රව්‍ය පනතේ ව්‍යවස්ථාපිත විධිවිධානවලට අනුකූලවන ලෙස සහ ප්‍රවාහනය සඳහා බලපත්‍රයක් ලබා නොගෙන ඛනිජ ප්‍රවාහනය කරන වැරදිකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස 17 සහ 18 වැනි වගඋත්තරකරුවන්ට එරෙහිව මැන්ඩමූස් රීට් නියෝගයක් නිකුත් කරන ලෙසද;

පතල් හා ඛනිජ පනත යටතේ දැනටමත් නිකුත් කර ඇති බලපත්‍ර අධීක්ෂණය කරල ලෙස පළමුවැනි වගඋත්තරකරුට එරෙහිව මැන්ඩමූස් රීට් නියෝගයක් ලබා දෙන ලෙසද;

Share