කොරෝනා පාලන රාජකාරීයෙන් පීඑච්අයිවරු ඉවත් වෙති

නිලුක සදුන් | Author . Translate to English or தமிழ் 7/17/2020 12:28:00 PM
කොරෝනා පාලන රාජකාරීයෙන් පීඑච්අයිවරු ඉවත් වෙති

දිවයිනේ සියලුම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අද (17) දහවල් 12 සිට කොරෝනා පාලනයට අදාළ සියලුම රාජකාරීවලින් ඉවත් වූ බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ⁣ලේකම් එම් බාලසූරිය මහතා Medialk.com වෙත පැවසීය.

කොරෝනා පාලනය සඳහා නෛතික පහසුකම් නොමැතිවීම සහ 1897 අංක 03 දරණ නිරෝධායන සහ රෝග වැළැක්වීමේ පනත යටතේ මහජන සෞඛ්‍යවරුන්ට බලය ලබා නොදීම,අත්තනෝමතික ලෙස දේශපාලන රැස්වීම් පැවැත්වීම,මැතිවරණයට අදාළ ගැසට්ටුව නිකුත් නොකිරීම සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට බලය ලබාදුන්නහොත් මහජනතාවට පීඩාවක් ඇති වන බවට සෞඛ්‍ය ඇමති කරන ලද ප්‍රකාශයකට විරෝධය පළ කරමින් ඔවුන් මෙම තීරණය ගෙන තිබේ.

කොරෝනා පාලනයේදී බිම් මට්ටමෙන් ක්‍රියාත්මක වීමේදී නෛතික පහසුකමක් නොමැති වීම විශාල ගැටළුවක් බවත් මේ වන විට ලංකාව පුරා මෙම රෝගය පැතිරෙන තත්ත්වයක් ඇති බවත් ඒ මහතා සඳහන් ක⁣ළේය.

තත්ත්වය එසේ තිබියදී සෞඛ්‍ය උපදෙස් පිළිනොපදින අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට නොහැකි වී ඇතැයි ද අත්⁣තනෝමතික ලෙස මැතිවරණ රැස්වීම් පවත්වමින් ඇතැයි ද ඒ මහතා කීවේය.

මේ හේතුවෙන් වෛරසය තවදුරටත් පැතිරීමට ඉඩ ඇති බවද බාලසූරිය මහතා පැවසීය.

මැතිවරණයට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ ගැසට්ටුව නිකුත් කළ යුතු බවට මැතිවරණ කොමිසම ද පිළිගත් නමුත් සෞඛ්‍ය අමාත්‍යවරිය ඒ සම්බන්ධයෙන් කටයුතු නොකරන බවක් පෙනෙන්නට ඇති බව ඔහු පෙන්වා ⁣දුන්නේය.

එමෙන්ම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට බලය ලබාදුන්නොත් ජනතාවට පීඩාවක් ඇති වන බවට සෞඛ්‍ය අමාත්‍යවරිය ප්‍රකාශ කර ඇතැයි ද තම රාජකාරීය හෑල්ලුවට ලක් කර ඇතැයි ද පැවසූ ඒ මහතා මේ හේතුවෙන් තම රාජකාරිය කාට හෝ කියා කරගන්නට ඉඩ දී ඉන් ඉවත් වන බවද පැවසීය.

Share