සෞඛ්‍ය අමාත්‍යාංශ කාර්ය සාධක කමිටුවේදී ගැසට්ටුව ගැන කතාවක්වත් නෑ

Staff Writer | Author . Translate to English or தமிழ் 7/16/2020 4:08:00 PM
සෞඛ්‍ය අමාත්‍යාංශ කාර්ය සාධක කමිටුවේදී ගැසට්ටුව ගැන කතාවක්වත් නෑ

සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂ ක්‍රියාකාරී කාර්ය සාධක සමාලෝචන කමිටුව අද දිනයේ (16) රැස් වුවද මහමැතිවරණය පැවැත්වීමට අදාල සෞඛ්‍ය නිර්දේශ ඇතුළත් ගැසට් නිවේදනය පළකිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කර නොමැත.

කොවිඩ්-19 වෛරසය පාලනය හා මැඩපැවැත්වීම සදහා තවදුරටත් ගත යුතු විශේෂිත ක්‍රියාමාර්ග පිළිබදව සාකච්ඡා කිරීමට සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙම කමිටුව අද රැස් විය.

මෙම විශේෂ කාර්ය සාධක සමාලෝචන කමිටුව වෛද්‍ය පරිපාලකයන්, පරිපාලන සේවයේ නිලධාරීන් සහ විශේෂඥ වෛද්‍යවරු 35 දෙනෙක් නියෝජනය කරති.

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් කොවිඩ් මර්දනය හා මැඩපැවැත්වීම උදෙසා ලබාදෙනු ලැබ ඇති සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද සහ මාර්ගෝපදේශ බිම් මට්ටමින් ක්‍රියාත්මක නොවීම පිළිබද මෙහිදී සාකච්ඡා කර තිබේ.

ඒ අනුව මහජනතාව සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද, මාර්ගෝපදේශ, නිර්දේශ හා නිර්ණායක අනුගමනය කරනවා ද යන්න නිරික්ෂණයට ඒකකයක් ස්ථාපිත කර ඒ පිළිබද පසුවිපරම් කිරීමට මෙහිදි සාකච්ඡා කර ඇත.

ඖෂධශාලා, වෙළෙඳ සංකීර්ණ, රෝහල්, රැකියා ස්ථානවල සහ ප්‍රවාහනයේදී මුලිකවම අනුගමනය කළ යුතු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රියාපිළිවෙත් නිසි පරිදි සිදුවෙනවා යන්න සොයාබලා සවිබලගැන්විමට කටයුතු කිරීම ගැනද මෙම කමිටුවේදී සාකච්ඡාවට ලක්වී තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ වන පාරිසරික හා වෘත්තීය සෞඛ්‍ය අංශ බලාත්මක කරමින් ඒ තුළින් මහජනතාවට වෛරසයේ අවදානම ගැන දැනුවත් කිරීමට හා සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් පිළිපැදීමට ඒත්තුගැන්වීමට කටයුතු කිරිම සම්බන්ධයෙන් මෙහිදි සාකච්ඡා කර ඇත.

එසේ වුවද මහමැතිවරණය සෞඛ්‍යාරක්ෂිතව පැවැත්විමට අදාළව ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මෙහිදී කිසිදු තීරණයක් ගෙන නොමැත.

මේ දක්වා සිදුකර ඇති පීසීආර් පරික්ෂණවල වත්මන් තත්ත්වය පිළිබදව ද මෙහිදී සාකච්ඡා කර ඇති අතර ඒ අනුව පෙබරවාරි 18 වැනිදා සිට ජුලි මස 15 වැනිදා වන විට මුළු දිවයිනම ආවරණය වන පරිදි පීසීආර් පරික්ෂණ 131, 527 ක් සිදු කර ඇත.

වැඩිම පීසීආර් පරීක්ෂණ සංඛ්‍යාවක් සිදු කර තිබෙන්නේ බොරැල්ල වෛද්‍ය පර්යේෂණායතනය ආයතනයෙන් බවටද මෙහිදී නිරීක්ෂණය වී තිබේ.

එම ආයතනයෙන් සිදුකර ඇති සංඛ්‍යාව 36,101 කි. රට පුරා පීසීආර් පරික්ෂණ සිදු කරනු ලබන රසායනාගාර 22 ක් ඇති බවත් දිනකට සිදු කරනු ලබන පීසීආර් පරික්ෂණ සංඛ්‍යාව 2500 දක්වා වැඩි වී ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි. 

එසේ වුවද දිනකට සිදුකරන පීසීආර් පරීක්ෂණ සංඛ්‍යාව 2000ට වඩා අඩු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ රසායනාගාර පරීක්ෂකවරුන්ගේ සංගමය චෝදනා කළේය.

මහ මැතිවරණයට අදාල සෞඛ්‍ය නිර්දේශ ගැසට් නොකරන්නේනම් සෞඛ්‍යාරක්ෂිතව මැතිවරණය පැවැත්වීම දුෂ්කරවනු ඇති බව මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කළේය.

Share