වැලිකඩ කොරෝනා ආසාදිතයා නිලධාරීන් 170කගේ හිස සම්භාහනය කරලා

නිලුක සදුන් | Author . Translate to English or தமிழ் 7/14/2020 3:57:00 PM
වැලිකඩ කොරෝනා ආසාදිතයා නිලධාරීන් 170කගේ හිස සම්භාහනය කරලා

වැලිකඩ බාබර් පාටියේ කොරෝනා ආසාදනය වූ රැඳවියා නිලධාරීන් 170 දෙනකුගේ හිස සම්භාහනය කර ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා Medialk.com වෙත පැවසීය.

සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් නිකුත් කර ඇති 'සෞඛ්‍ය මාර්ගෝපදේශ' අනුව සිදුකළ හැක්කේ හිසකෙස් කැපීම,හිසකෙස් සායම් කිරීම,අත් හා පාදවල නිය සම්භාහනය, හිසකෙස් ලිහිල් කිරීම හා කෙළින් කිරීම සහ අත් හා පාදවල රෝම ඉවත් කිරීම යන සේවා පමණි.

මෙම මාර්ගෝපදේශ නීතියක් ලෙසට ප්‍රකාශයට පත් කර නැති නිසා මේ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නොහැකි බවද ඒ මහතා සඳහන් කළේය.

එම නිලධාරීන් 170 දෙනා නිරෝධායනය කර ඇති බවද රට විවෘත කිරීමේදී එක නීතියක් තිබිය යුතු බව ද ඒ මහතා කීවේය.

මෙම මාර්ගෝපදේශ වැදගත් නමුත් මෙය තවමත් නීතියක් ලෙස බලාත්මක කළ හැකි තත්ත්වයට පත් කර නැතැයි ජ්‍යෙෂ්ඨ නීතිඥවරයෙක් පැවසීය.නමුත් මෙම මාර්ගෝපදේශ කඩ කළ යුතු නැති බවත් මේවා හැකි සෑමවිටම අනුගමනය කළ යුතු බවත් ඔහු සඳහන් කළේය.

මෙම මාර්ගෝපදේශ මුල් අවස්ථාවේදීම නීතියක් ලෙසට ගැසට් කර තිබුණේ නම් වැලිකඩ සිද්ධිය සම්බන්ධයෙන් නඩු පැවරීමට පවා හැකියාව තිබූ බව නීතිඥවරු පෙන්වා දෙති.

මේ සම්බන්ධයෙන් විමසීමට බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා සම්බන්ධ කරගැනීමට ගත් උත්සාහය අසාර්ථක විය.

Share