මැතිවරණ සෞඛ්‍ය නිර්දේශ ගැසට් නොක⁣⁣ළොත් නිලධාරීන් මැතිවරණ රාජකාරීවලින් ඉවත්වීමේ සූදානමක්  

Staff Writer | Author . Translate to English or தமிழ் 7/14/2020 10:33:00 AM
මැතිවරණ සෞඛ්‍ය නිර්දේශ ගැසට් නොක⁣⁣ළොත් නිලධාරීන් මැතිවරණ රාජකාරීවලින් ඉවත්වීමේ සූදානමක්   

පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට අදාළව සැකසුම් කළ සෞඛ්‍ය රෙගුලාසි ගැසට් කර නීතියක් බවට පත්කිරීම දිගින් දිගටම ප්‍රමාදකරමින් සිටින අතර මේ හේතුවෙන් අර්බුද රැසක් නිර්මාණය වී ඇතැයි විවිධ පාර්ශ්ව චෝදනා කරති.

මහ මැතිවරණය පැවැත්වීම සඳහා සෞඛ්‍යාරක්ෂිත ක්‍රම අනුගමනය නොකරන්නේනම් මැතිවරණ රාජකාරී සඳහා නිලධාරීන් යෙදවීමේ දුෂ්කරතාවයක් ඇතිවිය හැකි බව මැතිවරණ කොමිෂන් සභාවේ ආරංචිමාර්ග සඳහන් කළේය.

මැතිවරණය සඳහා සෞඛ්‍ය උපදෙස් අනුගමනය කිරීමේ නීති රජය විසින් ක්‍රියාත්මක නොකරන්නේනම් කෝවිඩ් වසංගතය පැතිරෙන සමයක මැතිවරණ රාජකාරී සඳහා එක්වීමේ අවශ්‍යතාවයක් නොමැති බව නම සඳහන් කිරීමට අකමැතිවු රාජ්‍ය නිලධාරීන් කිහිපදෙනෙක් Medialk.com සමග පැවසූහ. මේ සම්බන්ධයෙන් තම වෘත්තිය සමිති හරහා මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දීමට බලාපොරොත්තු වන බවද ඔවුහු ප්‍රකාශ කළහ.

මේ අතර මහ මැතිවරණයට අදාළව සැකසුම් කළ සෞඛ්‍ය රෙගුලාසි ගැසට් කිරීමට කටයුතු නොකළොත් ඡන්ද විමසීමේ දී සියළුම සෞඛ්‍ය නිරීක්ෂණ කටයුතුවලින් ඉවත්වීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පැවසීය.

දැනට ආරම්භ කර තිබෙන තැපැල් ඡන්දය විමසීමේ දී ඡන්ද විමසීම සිදුවන පරිශ්‍ර තුළ සෞඛ්‍ය උපදෙස් පිළිපදිනවාද යන්න සොයා බැලීමක් නොකරන බවද එම සංගමයේ සභාපති මහජන සෞඛ්‍ය පරීක්ෂක උපුල් රෝහණ මහතා සඳහන් කළේය.

කෝවිඩ් - 19 වසංගතය පැතිරයාම වළක්වාගැනීම සඳහා පොදුවේ සකස් කළ සෞඛ්‍ය උපදෙස්,රෙගුලාසි හා මැතිවරණය මූලික කර ගනිමින් සකස් කළ සෞඛ්‍ය උපදෙස් ආදිය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ, මැතිවරණ කොමිෂමේ සමාජිකයින්ගේ සහ නීතිපතිවරයාගේ අනුමැතියෙන් පසුව එය ගැසට් පත්‍රයකින් ප්‍රකාශයට පත්කරීම සඳහා මේවනවිට සෞඛ්‍ය අමාත්‍යවරිය වෙත ලබාදී ඇත, එය නීතියක් බවට පත්කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරිය තවමත් කටයුතු කර නොමැති බවද උපුල් රෝහණ මහතා පැවසීය.

කෝවිඩ් - 19 අදාළ සියලුම සෞඛ්‍ය උපදෙස් ක්‍රියාත්මක වනවාද යන්න සොයා බලා අවශ්‍ය කටයුතු කිරීම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට පැවරෙන රාජකාරියක් බවත්, එහෙත් රාජකාරි කටයුතු කළ හැක්කේ අදාළ සෞඛ්‍ය උපදෙස් නීතියක් බවට පත්කළහොත් පමණක් බවත් උපුල් රෝහණ මහතා සඳහන් කළේය.

යම් ලෙසකින් කෝවිඩ් - 19 වෛරස් තත්ත්වය ව්‍යාප්ත වීමක් සිදුවී කනගාටුදායක තත්ත්වයකට පත්වුවහොත් එහි සම්පූර්ණ වගකීම සෞඛ්‍ය අමාත්‍යාංශය හා සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් භාරගත යුතු බවද ඒ මහතා පවසා සිටියේය.

එමෙන්ම මහමැතිවරණය පැවැත්වීමට අදාළ සෞඛ්‍ය නිර්දේශ මේ වනතෙක් ගැසට් නොකිරීම හේතුවෙන් මැතිවරණ ක්‍රියාවලියේදී සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කිරීම අනිවාර්ය කිරීමට මැතිවරණ කොමිෂන් සභාවට නොහැකි වී ඇති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කළේය.

මැතිවරණ පැවැත්වෙන දිනය වන තුරුම එම නිර්දේශ ගැසට් නොකළහොත් ඡන්ද මධ්‍යස්ථාන වෙත පැමිණෙන ඡන්ද දායකයන්ට සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන ලෙස අනිවාර්ය කිරීමට මැතිවරණ කොමිෂන් සභාවට හැකියවක් නොමැති බවත්, මේ හේතුවෙන් මැතිවරණ රාජකාරි සඳහා නිලධාරීන් පැමිණීම සම්බන්ධයෙන් ගැටලු මතු වී ඇති බවත් මැතිවරණ කොමිෂන් සභාව තුළ සාකච්ඡාවට බඳුන්වී තිබේ.

 

Share