කොරෝනා දෙවැනි රැල්ලක අවදානමක් : රෝහල් සූදානම් කරයි

නිලුක සදුන් | Author . Translate to English or தமிழ் 7/10/2020 3:08:00 PM
කොරෝනා දෙවැනි රැල්ලක අවදානමක් : රෝහල් සූදානම් කරයි

ශ්‍රී ලංකාව තුළ කොරෝනා දෙවැනි රැල්ලකට අවදානමක් පවතින බවත් පවතින තත්ත්වය සඳහා රෝහල් සූදානම් කරන බවත් සෞඛ්‍ය ආරංචිමාර්ග කියයි.

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියකුට කොරෝනා ආසාදනය වීමෙන් පසු ඒ හා ආශ්‍රිතව කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ කොරෝනා පොකුරක් මේ වන විට ඇති වී තිබේ.

එම රෝගීන්ට ප්‍රතිකාර කිරීමට කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය මේ වන විට කොරෝනා ප්‍රතිකාර කරන රෝහලක් බවට සකස් කරමින් පවතින බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා ද ප්‍රකාශ කළේය.

එම මධ්‍යස්ථානයෙන් හමුවන රෝගීන්ට ප්‍රතිකාර කිරීමට වෙනත් රෝහල් භාවිතා නොකර ඒ ආසන්නයේම පිහිටි කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය යොදාගන්නා බවද ඊයේ දින සිටම හමුදාව සහ සෞඛ්‍ය අංශ එක්ව අදාළ වැඩකටයුතු ආරම්භ කළ බව ද හමුදාපතිවරයා කීවේය.

කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරේ තත්ත්වය 

කන්දකාඩු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවුවන් පුනරුත්ථාපන කරන මධ්‍යස්ථානයේ 56 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට ඊයේ (09) තහවුරු වූ අතර එහි තවත් 196 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අද (10) නිවේදනය කළේය.

ශ්‍රී ලංකාවේ එක් දිනකදී තහවුරු වූ වැඩිම කොරෝනා රෝගීන් සංඛ්‍යාව අද වාර්තා වූ රෝගීන් සංඛ්‍යාවයි.

ඒ අනුව එම මධ්‍යස්ථානයේ මුළු කොරෝනා ආසාදිතයන් ගණන මේ වන විට 252කි.

පීසීආර් පරීක්ෂණ තවදුරටත් කරන බව ද එම මධ්‍යස්ථානයේ ආසාදිතයන්  තවදුරටත් වාර්තා වීමේ ප්‍රවණතාවක් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළේය.

මීට අමතරව එම මධ්‍යස්ථානයේ උපදේශිකාවක ලෙස සේවය කළ මාරවිල ප්‍රදේශයේ කාන්තාවකට  කොරෝනා ආසාදනය වී තිබේ.

පසුගියදා වැලිකඩ බන්ධනාගාරයේ කොරෝනා ආසාදිත බවට තහවුරු වූ පුද්ගලයා සමග කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිටි පිරිසකට මෙලෙස කොරෝනා ආසාදිත බවට තහවුරු කරගෙන ඇති බව ජාසිංහ මහතා කීවේය.

එම රැඳවියා මාස 3 කට ආසන්න කාලයක් කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳී සිට තිබේ. 

මේ සමග කන්දකාඩු පුනරුත්ථාන මධ්‍යස්ථානයේ රැඳවියන් හා කාර්යය මණ්ඩලයේ 450 කට ආසන්න පිරිසක් පීසීආර් පරීක්ෂණවලට ලක් කර ඇත.

මේ සම්බන්ධයෙන් තවදුරටත් සිදුකළ යුතු පී. සි. ආර් පරීක්ෂණ සහ නිරෝධායන කටයුතු අඛන්ඩව ක්‍රියාත්මක බව සෞඛ්‍ය සහ ආරක්ෂක අංශ පවසයි. 

අදාළ කාලය තුළ එම පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පුනරුත්ථාපනය අවසන් කර පිටතට යවන ලද රැඳවියන් සහ ආශ්‍රිතයන් හඳුනාගනිමින් පීසීආර් පරීක්ෂණ සහ නිරෝධායන කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක කර ඇති බවත් සමාජයට කොරෝනා වෛරසය පැතිර යාම වැලැක්වීමට සියලු පියවර ගනිමින් පවතින බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසීය.

දෙවැනි රැල්ලකදී සෞඛ්‍ය සේවකයින්ගේ ආරක්ෂාව

කොරෝනා සම්බන්ධයෙන් පත් කළ තාක්‍ෂණික කමිටුව පසුගිය දින කිහිපයක සිට රැස් නොවූ බවත් හැකි ඉක්මණින් එම කමිටුව යළි රැස් කරන ලෙසත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉල්ලා සිටියේය. 

දෙවැනි රැල්ලකදී වැඩිම මරණ සිදුවන්නේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සේවකයින්ට බව ද ඊට හේතුව පළමු රැල්ල අවසන් වන විට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ තිබූ සූදානම කඩා වැටීම බව ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැවසීය.

මීට පෙර සැකසු කොවිඩ්-19 ප්‍රතිකාර රෝහල් මේ වන විට අකර්මණ්‍ය වී ඇති බවත් ඒවා විවෘත කිරීමේදී නිසි සැලැස්මක් අවශ්‍ය වුවත් මේ වන තෙක් ⁣එවන් සැලැස්මක් නොමැති බවත් එම සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත් අලුත්ගේ මහතා ප්‍රකාශ කළේය.

"සෞඛ්‍ය වෘත්තිකයන් සඳහා ලබාදුන් සෞඛ්‍ය ආරක්ෂක උපකරණ වෙනසකින් තොරව ලබාදිය යුතුයි.මේ කිසිදු තත්ත්වයක් මත සෞඛ්‍ය සේවකයින්ගේ ජීවිත අනතුරකට දාන්න අපි සූදානම් නෑ.

යම් අඩුපාඩු මැද වුණත් මේ දීලා තියෙන සෞඛ්‍ය උපකරණ ප්‍රශස්ත මට්ටමකට ගෙනත් දෙවැනි රැල්ලක දී සෞඛ්‍ය වෘත්තිකයන්ගේ ජීවිත ආරක්ෂා කරන්න ඕනේ." යැයි ඒ මහතා කීවේය.

 

Share