අසත්‍ය ප්‍රකාශ කළැයි මහින්දානන්දට එරෙහිව පැමිණිල්ලක්

නිලුක සදුන් | Author . Translate to English or தமிழ் 7/6/2020 1:39:00 PM
අසත්‍ය ප්‍රකාශ කළැයි මහින්දානන්දට එරෙහිව පැමිණිල්ලක්

අසත්‍ය ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ග⁣මගේ මහතාට එරෙහිව අද(06) ක්‍රීඩා අමාත්‍යාංශයට පැමිණිල්ලක් කළ බව සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර Medialk.com වෙත පැවසීය.

2011 ලෝක කුසලානය පාවා දුන් බවට එවකට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ග⁣මගේ මහතා කළ ප්‍රකාශය අසත්‍ය හෙයින් ඊට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතු බවට ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම්වරයාට සහ අධ්‍යක්ෂවරයාට ලිඛිතව පැමිණිලි 2ක් කළ බව ඒ මහතා කීවේය.

මේ සම්බන්ධයෙන් නීතිපති⁣වරයා⁣ට ලිපිගොනු යවා නීතිපති උපදෙස් මත ඉදිරි කටයුතු කරන බවට එහිදී ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරීන් පැවසූ බවද ඔහු සඳහන් කළේය.

නමුත් ඉදිරි දින කිහිපයේදී යහපත් ප්‍රතිචාරයක් නොලැබුණහොත් පොලිස්පතිවරයාට පැමිණිලි කර තමන් විසින්ම නඩු පැවරීම ගැන සලකා බලන බව ද ගු⁣ණසේකර මහතා ප්‍රකාශ කළේය.

හිටපු අමාත්‍යවරයා සිරස ටීවි සමග කළ සාකච්ඡාවකදී ප්‍රකාශ කර තිබුණේ ඉන්දියාව සමග පැවති 2011 ලෝක කුසලාන අවසන් මහා තරගය ශ්‍රී ලංකාව පාවා දුන් බවයි.

එම ප්‍රකාශයෙන් පසු ඒ සම්බන්ධයෙන් සමාජයේ මහත් කතාබහක් ඇති වූ අතර මේ සම්බන්ධයෙන් ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ පොලිස් විමර්ශන ඒකකය මගින් විශේෂ විමර්ශනයක් ද ආරම්භ කෙරිණි.

හිටපු ක්‍රිකට් නායක කුමාර සංගක්කාර,හිටපු ක්‍රිකට් තේරීම් කමිටුු සභාපති අරවින්ද ද සිල්වා,හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග සහ හිටපු ක්‍රිකට නායක මහේල ජයවර්ධන යන අය එම විමර්ශනයට අදාළව ප්‍රකාශ ලබාගැනීමට එම පොලිස් ඒකකයට කැඳවනු ලැබූහ.

නමුත් මෙම ප්‍රකාශය සිදුකළ හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ග⁣මගේ මහතාගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමට එම විමර්ශන ඒකකය ඔහුගේ නිවස වෙතටම ගියේය.

මෙය වෙනස් කොට සැලකීමක් බව පවසමින් සහ හිටපු අමාත්‍යවරයාගෙන් නිවෙසට ගොස් ප්‍රකාශ සටහන් කරගන්නා අතරම හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් අදාළ ඒකකයට කැඳවීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ දැඩි විරෝධයක් පළ විය.

පසුව සාක්ෂි ප්‍රමාණවත් නොමැති වීම හේතුවෙන් එම විමර්ශනය නවතා දමන බවට නිවේදනය කෙරිණි.

තමා අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයට මේ සම්බන්ධයෙන් ලිපියකින් දැනුම් දුන් බවට මහින්දානන්ද අලුත්ග⁣මගේ මහතා ප්‍රකාශ කර තිබු අතර එම ප්‍රකාශය අසත්‍ය බවට අයිසීසීය නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.

මෙම ප්‍රකාශය මගින් රටට අපකීර්තියක් ඇති වූ බව කියමින් මහින්දානන්ද මහතාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බව සමාජ මාධ්‍ය හරහා දැඩි ඉල්ලීම් සිදු කෙරිණි.

Share