නිරෝධායන මධ්‍යස්ථානවලින් මැලේරියා රෝගීනුත් හමුවෙයි

නිලුක සදුන් | Author . Translate to English or தமிழ் 7/3/2020 5:11:00 PM
නිරෝධායන මධ්‍යස්ථානවලින් මැලේරියා රෝගීනුත් හමුවෙයි

ශ්‍රී ලංකාවේ ⁣කොරෝනා නිරෝධායන මධ්‍යස්ථානවලින් මැලේරියා රෝගීන් අට දෙනකු හමු වී ඇතයි මැලේරියා මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රසාද් රණවීර මහතා Medialk.com වෙත පැවසීය.

මෙම රෝගීන් නිරෝධායන මධ්‍යස්ථාන තුළින් වීම නිසා මැලේරියා රෝගය පැතිරීම වැළැක්වීමට පහසු වී ඇතැයි ද ඒ මහතා කීවේය.

මාතලේ පැල්වෙහෙර කොරෝනා නිරෝධායන මධ්‍යස්ථානයෙන් ⁣මැලේරියා රෝගීන් පස් දෙනකු සහ මීගමුව හෝටලයක ස්ථාපනය නර ඇති නිරෝධායන මධ්‍යස්ථානයකින් රෝගීන් තිදෙනකු හමු වී තිබේ.

පැල්වෙහෙරින් හමු වූ රෝගීන් පස් දෙනා දඹුල්ල රෝහලේද මීගමුව රෝගීන් මීගමුව රෝහලේද හුදකලා වාට්ටුවල ප්‍රතිකාර ලබන බව ඒ මහතා පැවසීය.

නිරෝධායන මධ්‍යස්ථාන නිසා මැලේරියා රෝගය රට තුළ පැතිරීම වළක්වාගැනීමට ඉතා පහසු වී ඇතැයි ද මෙමගින් රෝගීන් ඉතා ඉක්මණින් හඳුනාගෙන ප්‍රතිකාර කිරීමට හැකි වී ඇතැයි ද වෛද්‍ය රණවීර මහතා කීවේය.

මෙම රෝගීන් නිවෙස්වලට ගියේනම් මදුරුවන් හරහා මෙම රෝගය තවදුරටත් පැතිරීමට හැකියාව තිබූ බව ද එසේ වීනම් මෙම රෝගීන් සංඛ්‍යාව 100ක් 200ක වීමට ඉඩ තිබූ බව ද ⁣අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කළේය.

"තවත් මදුරුවන්ට මෙම රෝගීන් අහුවෙන්න කලින් අපිට හඳුනාගන්න පුළුවන් වීම හොඳයි.ප්‍රතිකාර නොකර මෙම රෝගීන් සමාජ ගත වුණානම් මේක කොරෝනා වගේම ලොකු පැතිරීමක් වෙන්න තිබුණා. නිරෝධායන මධ්‍යස්ථානවල මෙම රෝගීන් ඉන්නකොට රෝගය හඳුනාගෙන පහසුවෙන් ප්‍රතිකාර කිරීම මගින් පැතිරීම අවම කරගන්න පුළුවන්.නිරෝධායන මධ්‍යස්ථානවලින් රෝගින් කීයක් හම්බුණත් අපි ලෑස්තියි." යැයි ඒ මහතා සඳහන් කළේය.

පුද්ගලයන් 100 දෙනකු සිටින පැල්වෙහෙර නිරෝධායන මධ්‍යස්ථානයේ 10 දෙනකු මැලේරියා සඳහා පරීක්ෂා කළ බවත් ඉන් පස් දෙනකුට රෝගය වැළදී ඇති බවට තහවුරු වූ බවත් ඉතිරි 90 දෙනාද පරීක්ෂා කරන බවත් අධ්‍යක්ෂවරයා පැවසීය.

මීගමුව නිරෝධායන මධ්‍යස්ථානයේ 180 දෙනකු පරීක්ෂණ සඳහා යොමු කළ බව ද ඉන් තිදෙනකුට මැලේරියා ඇති බවට තහවුරු වූ බවද රණවීර මහතා කීවේය.

"අපි ඒ අවට පරිසරය ආරක්ෂා කරලා තියෙනවා මේ වෙද්දි.මූලස්ථාන කණ්ඩායම් ගිහින් එ් අවට පරීක්ෂා කරලා අවශ්‍ය පියවර අරන් තියෙනවා.ඒ අවට කිලෝමීටරයක පමණ දුරක ප්‍රමාණයේ මදුරුවන් ඉන්නවාදැයි පරීක්ෂා කළා."යැයි ඒ මහතා තවදුරටත් සඳහන් කළේය.

 

Share