කොරෝනා මුවාවෙන් ප්‍රජාතන්ත්‍රවාදය විනාශ නොකරන්නැයි අත්සන් 500ක ලිපියක්

නිලුක සදුන් | Author . Translate to English or தமிழ் 6/29/2020 10:26:00 AM
කොරෝනා මුවාවෙන් ප්‍රජාතන්ත්‍රවාදය විනාශ නොකරන්නැයි අත්සන් 500ක ලිපියක්

කොරෝනා වසංගතය මුවාවෙන් ප්‍රජාතන්ත්‍රවාදය විනාශ නොකරන ලෙස දේශපාලන නායකයින්, සිවිල් නායකයින්, නොබෙල් ත්‍යාගලාබීන් සහ ප්‍රජාතන්ත්‍රවාදය අගයන ආයතන 500 කට අධික සංඛ්‍යාවක් ලිපියක් මගින් රාජ්‍යයන්ගෙන් ඉල්ලා සිටියි.

නොබෙල් ත්‍යාගලාභීන් 13 දෙනෙකු සහ හිටපු රාජ්‍ය නායකයින් 62 දෙනෙකු ඇතුළු ලොව පුරා දේශපාලන හා ප්‍රජා නායකයින් මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී ගැති ආයතන 73 ක් මේ සඳහා අත්සන් කර ඇත.

මෙම ලිපිය සඳහා ශ්‍රී ලාංකිකයින් දෙදෙනකු ද අත්සන් කර ඇත. ළමා හා සන්නද්ධ ගැටුම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ හිටපු නියෝජ්‍ය මහ ලේකම් සහ මහලේකම්වරයාගේ විශේෂ නියෝජිත රාධිකා කුමාරස්වාමි සහ AFRIEL තරුණ ජාලයේ සම-නිර්මාතෘ සහ විධායක අධ්‍යක්ෂ රවීන්ද්‍ර ද සිල්වා මෙම ලිපිය සඳහා අත්සන් කර ඇති ශ්‍රී ලංකා ජාතිකයින් දෙදෙනාය.

ඒකාධිපති පාලකයින් විසින් කොරෝනා අර්බුදය තම රජයන්⁣ට එරෙහි විවේචකයන් නිහඬ කිරීමට සහ රජයේ දේශපාලන ග්‍රහණය දැඩි කරගැනීම සඳහා යොදා ගෙන ඇතැයි එම ලිපියේ සඳහන් වෙයි.

ඇතැම් ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත් වූ ආණ්ඩු පවා වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා හදිසි බලතල භාවිත කරන්නේ මානව හිමිකම් සීමා කරමින් බවත් නීතිමය සීමාවන් නොසලකමින් පාර්ලිමේන්තු අධීක්ෂණය නොසලකමින් ක්‍රියා කරන බවත් එහි පැවසේ.

බොහෝ රටවල් පාර්ලි‌මේන්තුව පසෙකට දමා ඇති බව ද මාධ්‍යවේදීන් අත්අඩංගුවට ගෙන හිරිහැර කරනු ලබන බවද සුළු ජාතීන් පලිගැනීමට ලක්ව තිබෙන බවද එම ලිපියේ සඳහන් කර තිබේ.

වසංගතය පාලනය කිරීමට මර්දනය උපකාරී වන්නේ නොවන බවත් කතා කිරීමට ඇති නිදහස නිහඬ කිරීම, සාමකාමී විරෝධතාකරුවන් සිරගත කිරීම, ව්‍යවස්ථාදායක අධීක්ෂණය යටපත් කිරීම සහ මැතිවරණ දින නියමයක් නොමැතිව අවලංගු කිරීම යන ක්‍රියාවන් මහජන සෞඛ්‍යය ආරක්ෂා කිරීමට කිසිවක් නොකරනු ඇති බවත් ඔවුහු මෙම ලිපියෙන් ප්‍රකාශ කරති.

ලොව පුරා ඒකාධිපතිවරුන් COVID-19 අර්බුදය දකින්නේ ප්‍රජාතන්ත්‍රවාදය දුර්වල යැයි සැලකීමට හැකි සහ පසුගිය දශක කිහිපය තුළ ප්‍රජාතන්ත්‍රවාදය අත්කරගත් ජයග්‍රහණ ආපසු හැරවීමට සිදු කෙරෙන සටනේ නව දේශපාලන සටන් බිමක් ලෙස බව ද ඔවුහු පෙන්වා දෙති.

ප්‍රජාතන්ත්‍රවාදය මේ වන විට තර්ජනයකට ලක්ව ඇති බැවින් ඒ ගැන සැලකිලිමත් වන පුද්ගලයින් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට ඇති කැමැත්ත, විනය සහ සහයෝගිතාව දැක්විය යුතු බවද  ඔවුහු ඉල්ලා සිටිති.

එම සම්පූර්ණ ලිපිය පහත දැක්වෙයි.

"COVID-19 වසංගතය ලොව පුරා ජනතාවගේ ජීවිත හා ජීවනෝපායන්ට තර්ජනයන් ඇති කර තිබේ.එය ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයේ අනාගතයට තර්ජනයක් වන දේශපාලන අර්බුදයකි.

ඒකාධිපති පාලන තන්ත්‍රයන් මෙම අර්බුදය විවේචකයන් නිහඬ කිරීමට සහ ඔවුන්ගේ දේශපාලන ග්‍රහණය දැඩි කරගැනීමට යොදා ගැනීම පුදුමයක් නොවේ.

එහෙත් සමහර ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත් වූ ආණ්ඩු පවා වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා හදිසි බලතල භාවිත කරන්නේ මානව හිමිකම් සීමා කරමින්, නීතිමය සීමාවන් නොසලකමින් පාර්ලිමේන්තු අධීක්ෂණය නොසලකමින් හා ව්‍යවස්ථාමය පිළිවෙල යථා තත්ත්වයට පත් කිරීම සඳහා වන කාල රාමු නොසලකමින් සිදුකරන රාජ්‍ය සෝදිසි කිරීම් ආදිය සිදුකරමිනි.

බොහෝ රටවල් පාර්ලි‌මේන්තුව පසෙකට දමා තිබේ. මාධ්‍යවේදීන් අත්අඩංගුවට ගෙන හිරිහැර කරනු ලැබ තිබේ, සුළු ජාතීන් පලිගැනීමට ලක්ව තිබේ.

ආර්ථිකමය ලොක්ඩවුන් සීමාවන් සමාජයේ සෑම ව්‍යුහයක්ම විනාශ කරමින් පවතින හෙයින් ජනගහනයේ වඩාත් අවදානම් සහගත කොට්ඨාස නව අන්තරායකට මුහුණ දෙයි.

වසංගතය පාලනය කිරීමට මර්දනය උපකාරී වන්නේ නැත.කතා කිරීමට ඇති නිදහස නිහඬ කිරීම, සාමකාමී විරෝධතාකරුවන් සිරගත කිරීම, ව්‍යවස්ථාදායක අධීක්ෂණය යටපත් කිරීම සහ මැතිවරණ දින නියමයක් නොමැතිව අවලංගු කිරීම යන ක්‍රියාවන් මහජන සෞඛ්‍යය ආරක්ෂා කිරීමට කිසිවක් නොකරනු ඇත.

නිදහස, විනිවිදභාවය සහ ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහි මෙම පහරදීම් මගින් රජයේ ක්‍රියාමාර්ග හා ප්‍රජා ක්‍රියාමාර්ග තුළින් කොරෝනා අර්බුදයට ඉක්මණින් හා ඵලදායී ලෙස ප්‍රතිචාර දැක්වීම තවත් අපහසු වනු ඇත.

නිදහසේ තොරතුරු ගලායාම අඩාල වී ඇති මෙන්ම වෛරසයේ භයානකත්වය ගැන අනතුරු ඇඟවූ අයට රජයේ කීර්තියට හානිකර කටකතා පතුරුවා හරින බවට චෝදනා කරමින් දඩුවම් කරන ලද රටක වර්තමාන වසංගතය ආරම්භ වීම අහම්බයක් නොවේ.

වගකිවයුතු පුරවැසියන්ගේ හඬ යටපත් කළ විට, ප්‍රතිඵලය එක් රටකට පමණක් නොව මුළු ලෝකයටම මාරාන්තික විය හැකිය.

ප්‍රජාතන්ත්‍රවාදය යනු ආදරණීය පරමාදර්ශයක් පමණක් නොවේ.  COVID-19 අර්බුද⁣යේ විශාලත්වය හා සංකීර්ණතාවයට විසඳුම් සෙවීම සඳහා වඩාත් සුදුසු රාජ්‍ය ක්‍රමය මෙයයි.

ඒකාධිපති ක්‍රමවේදයකින් තොරව විශ්වසනීය හා නිදහස් තොරතුරු ගලායාම, ප්‍රතිපත්ති විකල්පයන් පිළිබඳ කරුණු පදනම් කරගත් විවාද, සිවිල් සමාජයේ ස්වේච්ඡා සංවිධානවල ක්‍රියාකාරීත්වය සහ රජය හා සමාජය අතර පවතින විවෘත සහයෝගීතාව යන සියල්ලම කොරෝනා වෛරසයට එරෙහිව සටන් කිරීමේ දී වැදගත් වත්කම් වේ. එමෙන්ම ඒවා සියල්ලම ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රධාන අංග වෙයි.

අර්බුදයකදී නොපසුබටව සිටීමට සමාජයේ විශ්වාසය ඇති කිරීමටත්, දුෂ්කරතා හමුවේ ජාතික වශයෙන් ඔරොත්තු දීමේ හැකියාව පවත්වා ගැනීමටත්, සහභාගීත්වය හා සංවාදය තුළින් සමාජයේ බෙදීම් සුව කිරීමටත්, පරිත්‍යාග බෙදා හදා ගත හැකි බවට විශ්වාසය ඇතිකර ගැනීමටත් සහ සියලුම පුරවැසියන්ගේ අයිතිවාසිකම්වලට ගරු කිරීමටත් හැකි වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය තුළින් පමණි.

රාජ්‍ය ආයතන සමඟ හවුල් වීමට, සේවා සැපයීමට සහාය වීමට, පුරවැසියන් දැනුවත් කිරීමට සහ චිත්ත ධෛර්යය හා පොදු අරමුණක් පිළිබඳ හැඟීමක් ඇති කිරීම සඳහා  කාන්තාවන් සහ තරුණයින් ඇතුළු ස්වාධීන සිවිල් සමාජයට බලය ලබා දිය හැක්කේ ප්‍රජාතන්ත්‍රවාදය තුළින් පමණි. 

නිදහස් මාධ්‍යයන්ට ජනතාව දැනුවත් කිරීමේ කාර්යභාරය ඉටු කළ හැක්කේ ප්‍රජාතන්ත්‍රවාදය තුළින් පමණක් වන අතර එමඟින් ජනතාවට තීරණ ගැනීමටත්, රජයේ හා රාජ්‍ය ආයතන පිළිබඳ සෝදිසි කර බැලීමටත්, සමාජය වෙන් කිරීමට උත්සාහ කරන වැරදි තොරතුරු ප්‍රතික්ෂේප කිරීමටත් හැකියාව ලැබේ.

සමාජයේ තරඟකාරී අවශ්‍යතා සහ ප්‍රමුඛතා අතරත් වෛරසය පැතිරීම වැළැක්වීම සහ ආර්ථික ආරක්ෂාව තහවුරු කිරීම අතරත්, අර්බුදයට ඵලදායී ප්‍රතිචාරයක් ක්‍රියාත්මක කිරීම සහ ව්‍යවස්ථාමය සම්මතයන් හා සහතික කිරීම් වලට අනුකූලව ජනතාවගේ සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් ආරක්ෂා කිරීම අතරත් තිරසාර සමතුලිතතාවයක් ඇති කළ හැක්කේ ප්‍රජාතන්ත්‍රවාදය තුළින් පමණි.

වසංගතයක් පාලනය කිරීමට අවශ්‍ය ප්‍රමාණයට වඩා ඔබ්බෙන් ගොස් විවිධ රටවල ආණ්ඩු රාජ්‍ය ආක්‍රමණවලින් හා අවහිරතාවලින් පුද්ගල නිදහස නැති කිරීම වැළැක්විය හැක්කේ ප්‍රජාතන්ත්‍රවාදය තුළින් පමණි.

රාජ්‍ය හදිසි නීති බලතල අධීක්‍ෂණය කිරීමට සහ ඒවා තවදුරටත් අවශ්‍ය නොවන විට ඒවා අවසන් කිරීමට මහජන වගවීමේ පද්ධතිවලට හැකියාව ලැබෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී රටවල පමණි.වසංගතයේ විෂය පථය හා සෞඛ්‍යයට ඇති බලපෑම පිළිබඳ රජයේ දත්ත විශ්වාස කළ හැක්කේ ප්‍රජාතන්ත්‍රවාදී රටවල පමණි.

ප්‍රජාතන්ත්‍රවාදය දක්ෂ නායකත්වයක් සහ ඵලදායී පාලනයක් සහතික නොකරයි.වෛරසය පාලනය කිරීම සඳහා වඩාත් ඵලදායී ලෙස ක්‍රියා කළ රටවල් අතර ප්‍රජාතන්ත්‍රවාදී රටවල් ප්‍රමුඛ වන අතරම ඇතැම් ප්‍රජාතන්ත්‍රවාදී රටවල් වසංගතයට ප්‍රතිචාර දැක්වීමේදී දුර්වල ලෙස ක්‍රියා කර ඇත. එමගින් මිනිස් ජීවිත හා ආර්ථික සුරක්‍ෂිතතාව අතින් ඉතා ඉහළ වන්දියක් ගෙවා ඇත.දුර්වල ලෙස ක්‍රියා කරන ප්‍රජාතන්ත්‍රවාදයන් සමාජය තවදුරටත් දුර්වල කරන අතර ඒකාධිපති පාලනයකට විවෘත වේ.

එහෙත් ප්‍රජාතන්ත්‍රවාදයේ විශාලතම ශක්තිය වන්නේ ස්වයං නිවැරදි කිරීම සඳහා ඇති හැකියාවයි.COVID-19 අර්බුදය, අප අගය කරන නිදහස අවදානමට ලක්ව ඇති බවට හදිසි අනතුරු ඇඟවීමක් වන අතර අප ඒවා සුළුකොට තැකිය යුතු නැත.

ප්‍රජාතන්ත්‍රවාදය තුළින් පුරවැසියන්ට සහ ඔවුන්ගේ තේරී පත් වූ නායකයින්ට ඉගෙනීමට හා වැඩි දියුණු වීමට හැකියාව ඇත.  වර්තමාන වසංගතය  ප්‍රජාතන්ත්‍රවාදයට ඇති බලවත් ගෝලීය අභියෝගයක් පෙන්නුම් කරයි.

ලොව පුරා ඒකාධිපතිවරුන් COVID-19 අර්බුදය දකින්නේ ප්‍රජාතන්ත්‍රවාදය දුර්වල යැයි සැලකීමට හැකි සහ පසුගිය දශක කිහිපය තුළ ප්‍රජාතන්ත්‍රවාදය අත්කරගත් ජයග්‍රහණ ආපසු හැරවීමට සිදු කෙරෙන සටනේ නව දේශපාලන සටන් බිමක් ලෙස ය.

ප්‍රජාතන්ත්‍රවාදය මේ වන විට තර්ජනයකට ලක්ව ඇති අතර, ඒ ගැන සැලකිලිමත් වන පුද්ගලයින් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට ඇති කැමැත්ත, විනය සහ සහයෝගිතාව දැක්විය යුතුය.

සෑම තැනකම සිටින මිනිසුන්ගේ නිදහස, සෞඛ්‍යය සහ ගෞරවය අවදානමට ලක්ව ඇත."

 

Share