අත් ආවරණ පැළඳීම ආත්මාර්ථකාමී වැඩක් - අනිල් ජාසිංහ

අත් ආවරණ පැළඳීම ආත්මාර්ථකාමී වැඩක් - අනිල් ජාසිංහ

භාවිතාකර ඉවත්කරන මුහුණු ආවරණ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයකට බැහැර කරන ලෙසත් ඒවා තැත තැන විසිකිරීමට කටයුතු නොකරන ලෙසත් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ජනරාල් අනිල් ජාසිංහ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

එලෙස ඉවත් කරන මුහුණු ආවරණ පිළිස්සීම නුසුදුසු බවද ඒ වෙනුවට සෞඛ්‍යාරක්ෂිතව බැහැරකරන ලෙසද හෙතෙම පැවසීය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වු සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙසේද පැවසීය.

"බොහෝ අය පළඳිනවා පෙනේනනේ ශල්‍ය මුහුණු ආවරණ.ඒවා එක් වරක් පමණයි භාවිත කරන්න පුළුවන් .නමුත් දැන් රෙදි මුහුණු ආවරණ භාවිතා කරනවා. ඒවා කිහිප වරක් භාවිතා කරන්න පුළුවන්. මුහුණු ආවරණ සෑම තැනකම පළඳින්න අවශ්‍ය නැහැ. සෙනග ගැවසෙන තැනකට යනවානම් මුහුණු ආවරණ පැළඳීම වැදගත්. නමුත් ඊට වඩා වැදගත් වන්නේ සමාජ දුරස්තභාවය වගේම නිතරම අත් හොදින් සබන් දමා සේදීමයි. මුහුණු ආවරණය පැළඳු පමණින් ආරක්ෂාව ලැබෙන්නේ නැහැ. සෙනග ගැවසෙන තැනකට යනවානම් එය හොදයි.

තවත් සමහරු අත්වැසුම්(ග්ලවුස්) කුට්ටම් දාගෙන යනවා මම දැකලා තියෙනවා. එය ආත්මාර්ථකාමී වැඩක් විදිහටයි මම දකින්නේ. මොකද එතැනදී තමන් බේරෙන්න කියා ග්ලවුස් පැළඳුවත් එවැනි අය අනිත් අයට රෝගය පතුරවනවා. මොකද ග්ලවුස් භාවිතාව ගැන වෛද්‍ය ක්ෂේත්‍රයෙන් කිව්වොත් ශල්‍යකර්මයක් කරන විට ග්ලවුස් පළඳින්න කියලා අපි උපදෙස් දෙනවා. රෝගීන්ට ප්‍රතිකාර කිරීම්වලදී රෝගීන් පරීක්ෂා කිරීම්වලදී ඔවුන් ග්ලවුස් භාවිතා කරනවා. ඒවගේම ආහාර ද්‍රව්‍ය සකස් කිරීම් වැනි කටයුතු වලදීත් ග්ලවුස් පළඳිනවා. නමුත් ඔවුන් එම අදාළ කාර්ය කිරීමෙන් පසුව එම ග්ලවුස් කුට්ටම ඉවත් කරනවා. එහෙම නැතිව උදේ ඉදලා හවස් වෙනකම් එක ග්ලවුස් කුට්ටමක් ඇදගෙන ඉන්නේ නැහැනේ. වෛද්‍යවරු රෝගියාගෙන් රෝගියාට ග්ලවුස් කුට්ටම් මාරු කරනවා. නමුත් සාමාන්‍ය ජනතාව අතරින් ග්ලවුස් පළඳින අය එකම ග්ලවුස් කුට්ටම දාගෙන මුළු දවසම ගතකරනවා. එතැනදී වෙන්නේ වැඩිවශයෙන් විෂබීජ පැතිරෙන එක. මොකද ග්ලවුස් දාගෙන ඉන්න නිසා බය නැතිව ඒ අය විවිධ තැන් අල්ලනවා. ඒ නිසා අත්වල විෂබීජ තැවරෙනවා. ඒ නිසා දවසපුරාම ග්ලවුස් ආත්මාර්ථකාමී වැඩක් කියලයි මම කියන්නේ.

රෝහලකදී නම් මුඛ ආවරණ ඉවත් කිරීමේ ක්‍රමයක් තිබෙනවා. සායනික අපද්‍රව්‍ය බැහැර කිරීම සඳහා ක්‍රමවේදයක් තිබෙනවා. නමුත් සාමාන්‍ය තත්ත්වය යටතේ එය බැහැර කිරීම අපහසු කාර්යක්. මොකද මේවා පුච්චන්න හොද නැහැ. එමගින් දැඩි වායු දුෂණයක් සිදුවෙනවා. ඒ නිසා මේවා පුච්චන්න කියලා අපිට උපදෙස් දෙන්න බැහැ. සෞඛ්‍යාරක්ෂිතව ඉවත් කළ යුතුයි. පාරේ තැන්තැන්වල විසිකර යන්න එපා."

මේ සම්බන්ධයෙන් ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ ලේකම් ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය මනූජා පෙරේරා මහත්මිය මෙසේ පැවසුුුවාය.

"මොනයම් ආකාරයේ ප්‍රමිතියකින් යුතු මුහුණු ආවරණ පැළදුවත් එය නිරතුරුව මාරු කළ යුතුයි. එය පැය ගණනාවක් පැළදගෙන සීටීම හොද නැහැ. අඩුම තරමේ පැය 06න් වත් එය මාරු කළ යුතුයි. සාමාන්‍ය නිර්දේශය තිබෙන්නේ පැය 04යි. ඒ මොකද විෂබීජ සාන්ද්‍රණය වැඩිවෙන නිසා මුහුණු ආශ්‍රිතව තෙතමනය වැඩිවෙලා විෂබීජ වර්ධනයට හොද මාධ්‍යයක් ලෙස ක්‍රියාකරන නිසා මේ සම්බන්ධයෙන් අවධානය යොමුකිරීම වැදගත් වෙනවා.

එක්වරක් මුඛ ආවරණය ගැලවුවාට පසුව නැවත එයම පළදින්න එපා. එක් මුහුණු ආවරණයක් පැළඳ සිටින විට තවත් අමතර මුහුණු ආවරණ දෙක තුනක් ඔබ ලග තබාගැනීමට එයට ප්‍රායෝගික විසදුමක් විදිහට යෝජනා කරන්න පුළුවන්."

Share