මැතිවරණ රැස්වීම්වලට එන්නැයි විදුහල්පතිවරුන්ට බලපෑම් - ලංකා ගුරු සංගමය

Staff Writer | Author . Translate to English or தமிழ் 6/23/2020 8:33:00 AM
මැතිවරණ රැස්වීම්වලට එන්නැයි විදුහල්පතිවරුන්ට බලපෑම් - ලංකා ගුරු සංගමය

විවිධ බලපෑම් සිදුකරමින් මැතිවරණ රැස්වීම් සඳහා විදුහල්පතිවරුන් කැඳවීම නතර කිරීමට පියවර ගන්නා ලෙස මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට පැමිණිලි කළ බව ලංකා ගුරු සංගමය පවසයි.

පාසල්වලට ඉදිරියේදී ලැබීමට නියමිත සම්පත් ලබාදීමට නම් විදුහල්පතිවරු මැතිවරණ අපේක්ෂකයන්ගේ රැස්වීම්වලට සහභාගි වී තිබීම නිර්ණායකයක් ලෙස සලකන බව ප‍්‍රකාශ කරමින් විදුහල්පතිවරුන් සෑම ප‍්‍රදේශයකම දේශපාලන රැස්වීම්වලට සහභාගි කරවීම බරපතල නීති විරෝධී කි‍්‍රයාවක් බව ලංකා ගුරු සංගමය කියයි.

එමෙන්ම එය විදුහල්පතිවරුන් බරපතල පීඩාවකට ලක් කිරීමක් බවද එම සංගමය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙයි.

මැතිවරණ නීතිරීති අනුව විදුහල්පති සේවයේ නිලධාරීන්ට දේශපාලන වරප‍්‍රසාද අහිමි බවත් විදුහල්පතිවරු මැතිවරණයේ දී ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපති (SPO) ලෙස රාජකාරිවල නිරත වන පිරිසක් බවත් එම සංගමය සඳහන් කරයි.

එම සංගමය නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ මෙසේද සඳහන් වෙයි.

"පාසල්වලට ඉදිරියේදී ලැබීමට නියමිත සම්පත් ලබාදීමට නම් විදුහල්පතිවරු මැතිවරණ අපේක්ෂකයන් විසින් කැඳවන රැස්වීම්වලට සහභාගි වී තිබීම නිර්ණායකයක් ලෙස සලකන බව ප‍්‍රකාශ කරමින් විදුහල්පතිවරු සෑම ප‍්‍රදේශයකම දේශපාලන රැස්වීම්වලට සහභාගි කරවීම බරපතල නීති විරෝධී කි‍්‍රයාවක් මෙන්ම විදුහල්පතිවරු බරපතල පීඩාවකට ලක් කිරීමකි.

2020.06.21 දින අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප‍්‍රධානත්වයෙන් පවත්වන ලද රැස්වීමක් සඳහා බදුල්ල ප‍්‍රදේශයේ පාසල්වල විදුහල්පතිවරු බදුල්ල කැපිටල් සිටි හෝටලයට කැඳවා ඇත. එම රැස්වීමට බදුල්ල කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ ලෙස කටයුතු කරන ශී‍්‍ර ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරියෙකු වන ආර්.එම්. පේ‍්‍රමදාස මහතා ද සහභාගී වී ඇත.

එසේම අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා 2020.06.18 දින අනුරාධපුර දිස්ති‍්‍රක්කයේ විදුහල්පතිවරු අනුරාධපුර ෆාර්ම් ගාර්ඩන් හෝටලයට කැඳවා තිබූ අතර, ඒ සම්බන්ධයෙන් ලංකා ගුරු සංගමය මැතිවරණ කොමිසමට පැමිණිලි කිරීමෙන් අනතුරුව එම රැස්වීම ඔහුගේ නිවසේ පැවති අතර, එම කටයුත්ත නතර කිරීමට මැතිවරණ කොමිසමේ නිලධාරීන් පොලීසිය සමග එම නිවසට ගොස් තිබුණි.

මැතිවරණ අපේක්ෂකයෙකු වන උදිත ලොකුබණ්ඩාර මහතා විසින් ද විදුහල්පතිවරු ඉහත ආකාරයේම රැස්වීමකට 2020.06.25 දින බදුල්ල පි‍්‍රම්රෝස් හෝටලයට කැඳවා ඇත. මේ සම්බන්ධනේ ද ලංකා ගුරු සංගමය මැතිවරණ කොමිසමට අද දින (2020.06.22) පැමිණිලි කරන ලදී.  

මැතිවරණ නීතිරීති අනුව විදුහල්පති සේවයේ නිලධාරීන්ට දේශපාලන වරප‍්‍රසාද අහිමිය. එසේම විදුහල්පතිවරු මැතිවරණයේ දී ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපති (SPO) ලෙස රාජකාරිවල නිරත වන පිරිසකි. මේ තත්වය මත විවිධ බලපෑම් සිදුකරමින් මැතිවරණ රැස්වීම් සඳහා විදුහල්පතිවරු කැඳවීම නතර කිරීමට පියවර ගන්නා ලෙස ලංකා ගුරු සංගමය මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට ලිඛිතව පැමිණිලි කොට ඇත."

Share