මැදපෙරදිග ශ්‍රී ලාංකිකයෝ 1700කට කොරෝනා 

නිලුක සදුන් | Author . Translate to English or தமிழ் 6/22/2020 2:06:00 PM
මැදපෙරදිග ශ්‍රී ලාංකිකයෝ 1700කට කොරෝනා 

මැදපෙරදිග රටවල සේවය කරන ශ්‍රී ලාංකිකයන් 1700කට කොරෝනා වෛරසය ආසාදිත වී ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී R. K. K. මංගල රන්දෙණිය මහතා Medialk.com වෙත පැවසීය.

සෞදි අරාබිය, කුවේට්, ඕමාන් යන රටවලින් සහ ඩුබායි, අබුඩාබි යන නගරවලින් එම ආසාදිතයන් වාර්තා වන බවත් ඉන් 23 දෙනකු මිය ගොස් ඇති බවත් ඒ මහතා  කීවේය.

එම රටවල සේවය කළ 7000ක් පමණ මේ වන විට ශ්‍රී ලංකාවට පැමිණ ඇතැයි ඒ රන්දෙණිය මහතා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවේ තත්ත්වය 

පසුගිය සතිය (ජූනි 15-ජූනි 21) තුළ ශ්‍රී ලංකාවේ කොරෝනා රෝගීන් 211 දෙනකු සම්පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇති අතර එම සතියේ තහවුරු කෙරුණ මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 61ක් බව වසංගත රෝග විද්‍යා අංශය කියයි.

මේ වන විට මෙරට තහවුරු වී ඇති මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 1950ක් වන අතර සුවය ලැබූ මුළු කොරෝනා රෝගීන් ගණන 1498කි.මේ වන විට රෝහල්වල ප්‍රතිකාර ලබන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 441ක් වේ.

පසුගිය සතියේ තහවුරු කෙරුණු කොරෝනා රෝගීන් අතරින් 50 දෙනකුම විදේශ රටවල සිට පැමිණ නිරෝධායනය වෙමින් සිටි අය වන අතර 11 දෙනකු නාවික හමුදා සාමාජිකයෝ වෙති.

ඒ අනුව කොරෝනා ආසාදිත වූ නාවික හමුදා සාමාජිකයන් ගණන 901 දක්වාත් විදේශ රටවල සිට නිරෝධායනය වෙමින් සිටියදී කොරෝනා ආසාදිත බවට තහවුරු වූ රෝගීන් සංඛ්‍යාව 651 දක්වාත් ඉහළ ගොස් තිබේ.

පසුගිය සතියේ කොරෝනා රෝගීන් තහවුරු වූ ආකාරය

ජූනි 15 - නව රෝගීන් 16
ජූනි 16 - නව රෝගීන් 10
ජූනි 17 - නව රෝගීන් 09
ජූනි 18 - නව රෝගීන් 23
ජූනි 19 - නව රෝගීන් 03
ජූනි 20 - නව රෝගීන් 00
ජූනි 21 - නව රෝගීන් 00

 

Share