කරුණා අම්මාන්ගෙන් ප්‍රකාශයක් ගන්න පොලිසිය සැරසෙයි

නිලුක සදුන් | Author . Translate to English or தமிழ் 6/22/2020 11:46:00 AM
කරුණා අම්මාන්ගෙන් ප්‍රකාශයක් ගන්න පොලිසිය සැරසෙයි

එල්ටීටීඊ සාමාජිකයෙක් ලෙස සිටි කාලයේ එක් දිනකදී හමුදාවේ 2000-3000ක් ඝාතනය කෙරූ බවට කළ ප්‍රකාශය සම්බන්ධයෙන් කරුණා අම්මාන්ගෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීමට නියමිත බව පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජාලිය සේනාරත්න මහතා Medialk.com වෙත පැවසීය.

විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරන ලෙසට වැඩ බලන පොලිස්පතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළ බව ඒ  මහතා කීවේය.

ඒ අනුව මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා අම්මාන් මහතා සීඅයිඩීයට කැඳවීමට ද උපදෙස් ලැබී ඇතැයි ජාලිය මහතා සඳහන් කළේය.

හිටපු එල්ටීටීඊ සාමාජික කරුණා අම්මාන් මහතා අම්පාර ප්‍රදේශයේ දී මෙසේ ප්‍රකාශ කර තිබිණි.

"මේ පාරත් මහින්ද අගමැතිතුමා මට කතා කළා.අම්මාන් ඔබ මෙි පාරත් ජාතික ලැයිස්තුවෙන් එන්න.මොකටද මහන්සි වෙන්නේ.මම කිව්වා නෑ ⁣එහෙම නෙමෙයි.දෙපාරක් ඔබතුමා දුන්න අවස්ථාවට ස්තුතියි.මම මගේ ජනතාවගේ වරම් දිනාගෙන ඔබතුමා ළඟට එන්නම් කියලා.කාර්තිව් සභාපතිවරයා මා ගැන ප්‍රකාශයක් කරලා තියෙනවා.කරුණා අම්මාන් කොරෝනා වලට වඩා භයානයකයි කියලා.ඒක ඇත්ත තමයි.කොරෝනා ඇවිල්ලා මැරුණේ 9 දෙනෙක් විතරයි.අපි එක රැයකින් අලිමංකඩ දි හමුදාවේ 2000ක් 3000ක් මරා දැම්මා
එයා කියපු එක ඇත්ත තමයි. කිලිනොච්චි වලත් කී දාහක් ද ?"

මුස්ලිම් ජනතාව පාලනය සහ මර්දනය කළ යුතු අතර ඒ සඳහා සුදුසුම පුද්ගලයා ගෝඨාභය රාජපක්ෂ බවට ද කරුණා අම්මාන් මහතා පසුගිය ජනාධිපතිවරණය සමයේදී ප්‍රකාශ කළේය.

ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජික රත්නජීවන් හූල් මහතා කළ පැමිණිල්ලක් අනුව විමර්ශනයක් ආරම්භ වූ නමුත් එම විමර්ශනය ඉදිරියට සිදු නොවූ අතර අම්මාන් මහතා අත්අඩංගුවට ගැනීමක්ද සිදු නොවීය.
 
කරුණා අම්මාන්ගේ එම ප්‍රකාශය ඇතුළත් හඩපටයක්ද පොලීසියට යොමු කර තිබුණු අතර එම විමර්ශනය සිදු කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කළ බවට පොලිසිය ප්‍රකාශ කර තිබිණි.

Share