ඡන්ද ගණන් කිරීම මැතිවරණ දිනයට පසු දින : වියදම ගැන තවම තීරණයක් නෑ

Staff Writer | Author . Translate to English or தமிழ் 6/21/2020 2:13:00 PM
ඡන්ද ගණන් කිරීම මැතිවරණ දිනයට පසු දින : වියදම ගැන තවම තීරණයක් නෑ

මෙවර මහ මැතිවරණය සඳහා යොදවන නිලධාරීන් සංඛ්‍යාව, මැතිවරණය පැවැත්වීමට යන වියදම සහ ඡන්ද මධ්‍යස්ථාන සංඛ්‍යාව පිළිබඳ මෙතෙක් තීරණය කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

මහ මැතිවරණය පැවැත්වීමට ප්‍රථම ආදර්ශ ඡන්ද මධ්‍යස්ථාන 13 ක ආදර්ශ ඡන්ද පැවැත්වු ආකාරයට ඡන්ද ගණන් කිරීමේ පෙරහුරු ද පැවැත්වීමට සිදුව ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා Medialk.com  කළ විමසීමකදී පැවසීය.

මේ අතර මහ මැතිවරණයේ ඡන්ද ගණන් කිරීමේ කටයුතු ආරම්භ කරන්නේ මැතිවරණ දිනයට පසු දින වන අගෝස්තු 6 වැනිදා බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකට සහභාගී වෙමින් කීවේය.

මැතිවරණ කොමිෂන් සභාව ලබන 25 වැනිදා යළි රැස්වීමට නියමිත අතර ඡන්දය භාවිත කිරීමේ කාලය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතය.

ඡන්ද ගණන් කිරීමේ පෙරහුරු පැවැත්වීමට දිස්ත්‍රික්ක මට්ටමින් සිදුකිරීමට අදහස් කර ඇති නමුත් මෙතෙක් ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන නොමැති බව සමන් මහතා පැවසීය.

මැතිවරණය සම්බන්ධයෙන් වන සියලු කාරණා සාකච්ඡා කිරීමෙන් අනතුරුව මෙවර මහ මැතිවරණය සඳහා වන වියදම තීරණය කිරීමට සිදුවන බවත් ඒ සඳහා තවත් සති 02 ක පමණ කාලයක් ගතවනු ඇති බවත් සමන් ශ්‍රී රත්නායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Share