ගුවන්තොටුපොළ නියමිත දිනට පෙර විවෘත කරන්නැයි ඉල්ලීම් රැසක් - ඉල්ලීම් සලකා බලන බව අගමැති කාර්යාලය කියයි

Staff Writer | Author . Translate to English or தமிழ் 6/21/2020 11:36:00 AM
ගුවන්තොටුපොළ නියමිත දිනට පෙර විවෘත කරන්නැයි ඉල්ලීම් රැසක්  - ඉල්ලීම් සලකා බලන බව අගමැති කාර්යාලය කියයි

අගෝස්තු 01 වැනි දා සිට මෙරටට පැමිණෙන මගීන් සඳහා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ යළි විවෘත කිරීමට සැලසුම් කර ඇති බැවින් විදෙස් රටවල සිට මෙරටට පැමිණෙන පිරිස් වෙනුවෙන් ගුවන්තොටුපොළේ සිදුකරන පීසීආර් (PCR) පරීක්ෂණ සංඛ්‍යාව 1000ක් දක්වා ඉහළ නැංවීමට කටයුතු කරන ලෙස රජය උපදෙස් ලබාදී තිබේ.    

ඒ අනුව පීසීආර් (PCR) පරීක්ෂණ වාර්තා පැය 02ක් වැනි කෙටි කාලයක් තුළ මගීන් වෙත නිකුත් කිරීමේ ක්‍රමවේදයක් සකස් කරන ලෙස අදාල අංශ වෙත අග්‍රාමාත්‍ය කාර්යාලය උපදෙස් ලබාදී ඇත.    

මේ සඳහා පරීක්ෂණාගාර නිලධාරීන් 8 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අනියුක්ත කරන ලෙසට ද දැනුම් දී තිබේ.

මේ අතර සංචාරක කර්මාන්තය නියෝජනය කරන පාර්ශව ගණනාවක් ජූලි 15 වැනි දා සිට ගුවන්තොටුපොළ විවෘත කරන්නැයි ඉල්ලා ඇති බව ද මේ සම්බන්ධයෙන් අවධානය යොමුකර ඇති බවද අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේය.

මේ  අතර අප්‍රිකානු මහාද්වීපයේ රටවල සේවය කරන, ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව එම රටවල රැදී සිටින ශ්‍රී ලාංකිකයන් 289 දෙනෙකු රැගත් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් ටැන්සානියාවේ සිට අද (21) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .

කටුනායක ගුවන් තොටුපළ තුළ දී රජයේ සෞඛ්‍ය අංශ විසින් මෙම පිරිස පී.සී.ආර්. පරීක්ෂණ සදහා යොමු කරනු ලැබූ බවත් එම පරීක්ෂණ වල ප්‍රතිඵල ලැබෙන තෙක් ගුවන් තොටුපළ අවට හෝටල් කිහිපයක තාවකාලිකව නවාතැන් ගැනීමට පහසුකම් සළසා දුන් බවත් කටුනායක ගුවන්තොටුපොළ පැවසීය. 

Share