ඇඟළුම් සේවකයෝ 30000ක් දොට්ට :  සේවකයින් ඉවත් කරන්න උප්පරවැට්ටියක්

නිලුක සදුන් | Author . Translate to English or தமிழ் 6/26/2020 9:01:00 PM
ඇඟළුම් සේවකයෝ 30000ක් දොට්ට :  සේවකයින් ඉවත් කරන්න උප්පරවැට්ටියක්

ඇඟළුම් කර්මාන්ත ශාලාවල සේවය කරන සේවකයින් 25000 - 30000ත් අතර සංඛ්‍යාවකට මේ වන විට රැකියා අහිමි වී ඇති බවත් විවිධ උප්පරවැට්ටි භාවිතයෙන් සේවකයින් ඉවත් කරනු ලබන බවත් නිදහස් වෙළෙඳ කලාප හා පොදු සේවක සංගමයේ සම ලේකම් ඇන්ටන් මාකස් මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසූවේ medialk.com සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.

ඔහු සමග කළ සම්පූර්ණ සාකච්ඡාව පහත දැක්වෙයි.

ප්‍රශ්නය : කොරෝනාවලින් මොන වගේ බලපෑමක්ද ලංකාවේ ඇඟළුම් ක්ෂේත්‍රයට ඇති වෙලා තිබෙන්නේ?

පිළිතුර : කොරෝනා කියන්නේ ලංකාවේ ප්‍රශ්නයක් විතරක් නෙමෙයි.මේක ගෝලීය ප්‍රශ්නයක්.අනෙක් රටවල් සමග සංසන්දනය කරද්දි පේ රටේ ආසාදිතයන් ගණන අඩු වුණා⁣ට මරණ ගණන අඩු වුණාට ආර්ථික වශයෙන් වුණ හානිය අනෙක් රටවල් ගොඩකට වඩා වැඩියි.

අපේ තියෙන්නේ විවෘත ආර්ථිකයක් අපනයනය මත පදනම් වෙච්ච ආර්ථිකයක්.ඇඟළුම් නිෂ්පාදන අපනයනය කරද්දි ගෝලීය සැපයුම් දාමය වැදගත්.ඇඟළුම් නිෂ්පාදන සඳහා සියලුම අමුද්‍රව්‍ය ගෙන්නුවේ චීනයෙන්.නමුත් වෛරසය චීනයෙන් පැතිරීම පටන් ගැනීමත් සමග සැපයුම් දාමය සම්පූර්ණයෙන් අවහිර වුණා.මෙික බරපතල ප්‍රශ්නයක් වුණා.මේ සැපයුම් දාමය තාම ගොඩනැගිලා නෑ.නිෂ්පාදන කරන්න බෑ.අලෙවි කරන්න වෙළෙඳපොලට දාන්න බෑ. යුරෝපය , ඇමෙරිකාව ඇතුළු රටවල තාම ලොක්ඩවුන්.ඒ රටවල අත්‍යවශ්‍ය නොවන බඩු ගන්න යන්න තාම සම්පූර්ණ නිදහසක් නෑ.සැපයුම් දාමය දෙදරලා.

ප්‍රශ්නය : මේ සම්බන්ධයෙන් ඇඟළුම් කම්හල් හිමිකරුවන්ගේ පැත්තෙන් මොනවද කියන්නේ?

පිළිතුර : ඇඟළුම් කම්හල්වල හාම්පුතුන් කියනවා ඇණවුම් අවලංගු කරලා කියලා. දීලා තියෙන ඇණවුම්වලට සල්ලි දෙන්නේ නෑ කියලා.ඩොලර් බිලියන 2.5ක් පාඩුයි කියලත් කියනවා.නමුත් ඒක ගැන අපට සැකයක් තියෙනවා.මොකද ලංකාවේ ලක්ෂ 5යි ඇඟළුම් සේවකයින් ඉන්නේ.ඇඟළුම් කම්හල් 350යි තියෙන්නේ. නමුත් ඇඟළුම් සේවකයින් මිලියන 10ක් ඉන්න කම්හල් 10000ක් තියෙන බංග්ලාදේශයේ පාඩුව බිලියන 3.3යි.ඒ නිසා මේ ගැන සැකයක් තියෙනවා.
කම්හල්වල හාම්පුතුන් ඉල්ලුවා ඇඟළුම් සේවකයන් ලක්ෂ 5න් 3ක් ඉවත් කරන්න අවශ්‍යයි කියලා.අපනයන කර්මාන්ත සේවකයින් ලක්ෂ 9න් 60%ක් ඉවත් කරන්න ඉල්ලුවා.

ප්‍රශ්නය : ඒ ප්‍රශ්නෙදි කොහොම මැදිහත්වීමක්ද සිදු වුණේ?

පිළිතුර : අපට පුළුවන් වුණා ඒක සීමා කරන්න.ආණ්ඩුව,කර්මාන්ත ශාලා හිමිකරුවන් සහ වෘත්තීය සමිති වශයෙන් අපි සාකච්ඡා සම්මුතියක් ඇති කරගත්තා.එමගින් මේ රැකියා අහිමි වන සංඛ්‍යාව ගොඩක් අඩු කරගත්තා.නමුත් සමහර කර්මාන්ත ශාලා හිමිකරුවන් මේ සම්මුතියෙන් බැහැර වෙලා සේවකයින් විවිධ හේතු මත ඉවත් කරනවා.අපි එකඟතාවක් ඇති කරගත්තා කොරෝනා ගැටළුව නිසා සේවකයින් ඉවත් කරන එක නවත්වන්න.නිල වශයෙන් අස් කරන්න බැරි වෙන්න සහ ආණ්ඩුව තීරණය කළා කොරෝනා ගැටළුව නිසා සේවකයින් වැටුප් ලැයිස්තුවලින් ඉවත් කරන්න බෑ කියලා.⁣සියලු සේවකයින් නැවත කර්මාන්තවල වැඩ පටන් ගනිද්දි සේවයේ රඳවා තබාගන්න කියලා අපි ඉල්ලා සිටියා.

ප්‍රශ්නය : මේ වෙද්දි කී දෙනෙකුට මේ ක්ෂේත්‍රයේ රැකියා අහිමි වෙලාද?

පිළිතුර : 25000ත් 30000ත් අතර සංඛ්‍යාවකට මෙි වෙද්දි රැකියා අහිමිවෙලා තියෙනවා.ඇතැම් කර්මාන්ත ශාලා අපි ඇති කරගත්ත එකඟතාව කඩ කරමින් වෙනත් වෙනත් විධිවලින් සේවකයින් අයින් කරනවා.ස්වේච්ඡාාවන් ඉවත් වීම කියලා එකක් දැන් ගෙනත් තියෙනවා.කැමති අයට ඉල්ලා අස්වෙන්න කියලා.නමුත් මේ වෙලේ කවුරුත් කැමති නෑ ඉවත් වෙන්න. සමහර කර්මාන්ත ශාලාවල බල කරලා ලියුම් ලියාගෙන සේවකයින් අස්කරනවා.

යක්කල ප්‍රදේශයේ කම්හලක මෙහෙම බලෙන් ලියුම් අරන් සේවකයින් අස් කරලා තියෙනවා.5500ක් වැඩ කරන කර්මාන්ත ශාලා 5ක 1000ක් අයින් කළා. මේ වගේ උප්පරවැට්ටිවලින් සේවකයින් ඉවත් කරනවා.

රත්නපුර එක්තරා කම්හලක සේවකයින් 600ක් හිටියා.150කට කියලා කර්මාන්තශාලාවෙන් ආයෙත් ප්‍රවාහන පහසුකම් දෙන්නේ නෑ කියලා.එතකොට ඒ සේවකයින්ට අතින් වියදම් කරගෙන වැඩපළට එන්න බෑ මේ වෙලාවේ.ඒ නිසා ඔවුන් වැඩට ඇවිත් නෑ.ඊට පස්සේ ඔවුන් සේවය අත්හැර ගියා සේ සලකා ලියුම් ගහලා අස්කරලා.

නිට්ටඹුවේ කර්මාන්ත ශාලාවකත් මේ වගේම දෙයක් වෙලා තිබ්බා.හිටිය සේවකයින්ට එන්න කියලා කැඳවලා නෑ තවම.

කටුනායක කලාපයේ 36000ක් සේවකයින් ඉන්නවා.නමුත් ගෙන්නලා තියෙන්නේ 19000ක් වගේ සංඛ්‍යාවක්.බියගමත් එහෙමයි.සීතාවක නම් ටිකක් මේ තත්ත්වය අඩුයි.

සේවකයින් වන්දි නොගෙවාම ඉවත් කරලා.වැඩට එන්නද එපාද කියලවත් හරියට කියන්නේ නෑ.ඇතැම් තැන්වල 50%යි පඩි දෙන්නෙත්.

ප්‍රශ්නය : මේ ගැටළුවෙන් වෙනම ජීවන රටාවක් තියෙන ඇඟළුම් සේවකයින්ට ඇතිවෙලා තියෙන තත්ත්වය කොයි වගේද?

පිළිතුර : ගොඩක් සේවකයින් කම්කරු ස්ත්‍රීන්.ඔවුන් ගම්වල ඉඳන් වෙනම පළාතකට ඇවිත් තම ජීවන රටාව වෙනස් කරගෙන වෙනම නවාතැනක් ජීවත් වෙන ගමන් තමයි මෙි වෘත්තීයේ යෙදෙන්නේ.එයාලට රැකියා නැති වුණාම ආයේ පරණ ජීවන රටාවට යන්න බෑ.එයාලගේ පවුල් යැපෙන්නේ එයාලාගෙන්.එයාලගේ නංගිලා, මල්ලිලා, දෙමාපියන් ජීවත් වෙන්නේ එයාලා එවන සල්ලි වලින්.ඒ සම්පූර්ණ පවුල් නඩත්තු කළේ ඔවුන්.දැන් රැකියා අහිමිවෙලා ගෙදර ගියාම ඒ පවුලට එයාලාව බරක්.මෙික බරපතල ප්‍රශ්නයක්.මේක ගැන කවුරුත් කතාකරන්නේ නෑ.මාධ්‍යවල දාන්නේ නෑ.මේක ඛේදවාචකයක්.

ප්‍රශ්නය : කොරෝනාවලට කලින් මේ රැකියාවල තත්ත්වය කොහොමද?

පිළිතුර : කොරෝනාවලට කළින් සේවක හිඟයක් තමයි තිබු⁣⁣ණේ.යන්ත්‍ර ක්‍රියාකරුවන් විතරක් 74000ක⁣ට ඇබැර්තූ තිබුණා.ඒ කියන්නේ විශාල සේවක හිඟයක් තිබුණේ කොරෝනාවලට කළින්.නමුත් දැන් තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස්.ඉන්න සේවකයොත් අයින් කරනවා.

ප්‍රශ්නය : මේ සේවක කප්පාදුව ඉස්සරහට බලපාන්නේ කොහොමද?

පිළිතුර : මේකෙන් වෙන්නේ අවුරුද්දකින් හෝ දෙකකින් මේවා යථා තත්ත්වයට පත් වුණම ඇණවුම් සම්පූර්ණ කරන්න සේවකයින් නැති වෙනවා.50%ක් සේවකයින් අයින් කරාම කොහොමද ඉස්සරහට එන ඇණවුම් කරන්නේ.100%ක සේවක පිරිසක් සම්පූර්ණ කරපු ඇණවුමක් කොහොමද 50%කින් කරන්නේ.කළින් 100%ක සේවක පිරිසක් යොදාගෙන කරපු සම්පූර්ණ ඇණවුමම මේ 50%ක් යොදාගෙන කරලා හාම්පුතුන් ලොකු ලාභයක් ලබන්න යනවාද කියන සැකය අපිට තියෙනවා.

ප්‍රශ්නය : වැටුප් නොගෙවීම් සම්බන්ධ සිදුවීම් ගැන වාර්තා වෙලා තියෙනවා ද ?

පිළිතුර : ඇඳිරිනීතිය කියලා ඇතැම් ආයතනවල වැටුප දෙන්න විදියක් නෑ කියලා තිබ්බා.සමහර ආයතනවල අප්‍රේල් වැටුප ගෙවලා නෑ.මැයි ගෙවලා නෑ.මෙහෙම වැටුප් නොගෙවා ඉන්න බෑ.මොකද මේක සේවකයින්ගේ වැරැද්දක් නෙමෙයි.ආණ්ඩුව තමයි කියලා තියෙන්නේ බාගයක් හරි පඩි දෙන්න කියලා.එතකොට ඉතුරු අයට ජීවත් වෙන්න බෑ.එයාලට පඩි දෙන්න ඕනේ.

ප්‍රශ්නය : මේ සම්බන්ධයෙන් පැමිණිලි කළාද?

පිළිතුර : සමාගම් 40ක් ගැන කම්කරු කොමසාරිස්වරයාට පැමිණිල්ලක් කරලා තියෙන්නේ.ලිඛිත පිලිතුරක් නම් ආවේ නෑ.නමුත්  දැනගන්න ලැබුණා නිලධාරීන් ඒ හැම කර්මාන්ත ශාලාවටම ගිහින් විමර්ශන ආරම්භ කළා කියලා.

ප්‍රශ්නය : මේ ගැටළුවෙන් වෘත්තීය සමිති වලට මොන වගේ බලපෑමක්ද එල්ල වෙන්නේ?

පිළිතුර : ඇත්තටම වෘත්තීය සමිති දඩයමක් ක්‍රියාත්මක වෙනවා.ගොඩක් කම්හල්වල වෘත්තීය සමිතිවල ඉන්න අය⁣ට බලපෑම් එල්ල වෙලා තියෙනවා.එහෙම අය සේවයෙන් ඉවත් කරලා තියෙනවා.මේක බරපතල තත්ත්වයක්.

ප්‍රශ්නය : මෙම ගැටළුව සම්බන්ධයෙන් ඇඟළුම්  සේවකයින්ට කියන්න තියෙන්නේ මොනවද?

පිළිතුර : ඔබට මේ වගේ ප්‍රශ්නයක් තියෙයිනම් අපිට කියන්න දෙපාරක් හිතන්නැතුව.අපි කැමතියි සහ අපි ලෑස්තියි උදව් කරන්න.අපි සූදානමින් ඉන්නවා ඔවුන් වෙනුවෙන් පැමිණිලි කරන්න.අපිට තාමත් තොරතුරු එනවා මේ ගැටළු ගැන.අපිට කියන්න ගැටළුව.අපි උදව් කරන්නම්.

Share