හිජාස්ට එරෙහිව තවමත් සාක්කි නෑ - හිජාස්ගේ නීතීඥවරයා කියයි

Staff Writer | Author . Translate to English or தமிழ் 6/18/2020 12:24:00 PM
හිජාස්ට එරෙහිව තවමත් සාක්කි නෑ - හිජාස්ගේ නීතීඥවරයා කියයි

සිනමන් ග්‍රෑන්ඩ් බෝම්බකරු ඉන්සාෆ් මොහොමඩ්හට එම සිද්ධියට ආධාර අනුබලදීම යටතේ නීතීඥ හිජාස් හිස්බුල්ලා මහතා අත්අඩංගුවට ගත්තද ඊට අදාලව කිසිම සාක්කියක් රහස් පොලිසිය මේවන තෙක් සොයාගෙන නැති බව ජනාධිපති නීතීඥ වසන්ත නවරත්න බණ්ඩාර මහතා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී ඊයේ (17) ප්‍රකාශ කළේය.

එම බෝම්බකරු සමඟ නීතීඥ හිජාස් මහතා කිසිම සම්බන්ධයක් නොපැවැත්වූ බවත් ඔවුන් දෙදෙනා අතර පැවැති එකම සම්බන්ධය අදාල පුද්ගලයාගේ සිවිල් නඩු දෙකක නීතීඥයා ලෙස හිජාස් හිස්බුල්ලා මහතා කටයුතු කර තිබීම බවත්, එම නඩු දෙක ඔහුට බාර දී ඇත්තේ ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා විසින් බවත් ජනාධිපති නීතීඥ වසන්ත නවරත්න බණ්ඩාර මහතා පැවසීය.

මෙම සිවිල් නඩු මීට පෙර නීතිඥ අලි සබ්රි මහතා විසින් සිදු කළද මෙම පුද්ගලයන් අනාගතයේ කරන ක්‍රියාවක් ඔවුන් කිසිවෙක් දැන නොසිටි බව ද නීතිඥවරයා කීවේය.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ බෝම්බ පිපිරීම සම්බන්ධ පැමිණිල්ල කැඳවූ අවස්ථාවේ නීතීඥ හිජාස් හිස්බුල්ලා මහතා වෙනුවෙන් කරුණු දක්වමිනි. නීතීඥ හිස්බුල්ලා මහතා මේ වන විට රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන සිටියි.

මෙම පැමිණිල්ල ඊයේ (17) කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේ රහස් පොලිසිය වෙනුවෙන් පෙනී සිටියේ පොලිස් සැරයන්වරයෙකි.

එම සැරයන්වරයා කරුණු දක්වමින් පුත්තලම මදුරංකලිය මද්‍රසා පාසලක තිබී දෙමළ බසින් ඇති පොත් 19ක් අත්අඩංගුවට ගත් බවත්, එයින් පොත් තුනක් සිංහල සහ ඉංග්‍රීසි භාෂාවට පරිවර්ථනය කර ඇති බවත් පැවසීය. එම පොත් තුන කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ මගින් ළමා මනෝවෛද්‍යවරයකුට ඉදිරිපත් කර මෙම පොත් කියවීමෙන් හෝ ඉගෙනීමෙන් ළමා මනස ප්‍රචණ්ඩත්වයට යොමුවන්නේද යන්න ගැන වාර්තාවක් ලබා ගැනීමට නියෝගයක් නිකුත් කරන ලෙස රහස් පොලිසිය ඉල්ලා සිටියේය. 

මරාගෙන මැරුණු බෝම්බකරු ඉන්සාෆ් මොහොමඩ්ගේ නිවසේ තිබී සොයා ගත් ලැප්ටොප් පරිගණකය සහ ඩීවීඩී යන්ත්‍රයක් රස පරීක්ෂක වෙත යොමු  කිරීමට ද රහස් පොලිසියේ සැරයන්වරයා ඉල්ලා සිටියේය. 

එම ඉල්ලීම් දෙකට මහේස්ත්‍රාත්වරයා අවසර ලබා දුන්නේය. 

ඉන් පසු හිජාස් හිස්බුල්ලා මහතා වෙනුවෙන් දීර්ඝ වශයෙන් කරුණු දැක්වූ ජනාධිපතී නීතීඥ වසන්ත නවරත්න බණ්ඩාර මහතා ප්‍රකාශ කළේ හිස්බුල්ලා මහතා අත්අඩංගුවට ගෙන ඇත්තේ කිසිම සාක්කියක් නැතිව බවයි. 

ජනාධිපති නීතීඥ වසන්ත නවරත්න බණ්ඩාර මහතා - ''හිජාස් හිස්බුල්ලා අත්අඩංගුවට අරගෙන තිබෙන්නේ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ. ඒ පනතෙන් ගත්තත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධි විධාන උල්ලංඝණය කරන්න බෑ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිව තිබෙනවා අත්අඩංගුවට ගනිද්දි හේතුව දැනුම් දිය යුතුයි කියලා. අත්අඩංගුවට ගත්  කෙනාව අධිකරණයට ඉදිරිපත් කළ යුතු බව තිබෙනවා. ඒක අභිබවා යන්න ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතට බෑ. හිජාස් හිස්බුල්ලා අත්අඩංගුවට ගනිද්දි හේතුව කියා දීලා නෑ. තවමත් ඔහුට ඇති චෝදනාව කියන්නේ නෑ.

ජනාධිපතිවරයා අත්සන් කරලා තිබෙන රැඳවුම් නියෝගයට අනුව පෙනී යනවා ඉන්සාෆ් අහමඩ් කියන බෝම්බකරුට ආධාර අනුබල දීම ගැන රඳවා තබා ගන්නා බවයි. නමුත් ඒ සම්බන්ධයෙන් එක සාක්කියක්වත් අනාවරණය කරගෙන නෑ. හැබැයි දැන් විමර්ශන යන්නේ ඒ ගැනත් නෙමෙයි. දැන් පේන විදියට විමර්ශන යන්නේ ළමයින්ගේ ඔළුව අවුල් කළා වගේ දේවල් ගැන. බෝම්බකරුට ආධාර අනුබල දුන්නා නම් බෝම්බය සකස් කරන්න හෝ ඔහුව එතැනට රැගෙනයෑම  වගේ දේවල් කරලා තිබිය යුතුයි. දැන් විමර්ශනය කරන්නේ වෙන දේවල් ගැන. 

සේව්ද පර්ල් කියන සංවිධානය සම්බන්ධයෙන් චෝදනා කරනවා. චැරිටි සංවිධානයක් ලියාපදිංචි කරන්න අවශ්‍යතාවකුත් නෑ. මෙම සංවිධානයේ ආරම්භක සාමාජිකයන් 20 දෙනා අතර සිටිනවා රාජ්‍ය ඔත්තු සේවයේ හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙකුත්. සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයෙකුත් ඉන්නවා. ඒවගේ රාජ්‍ය සේවකයන් සහ ප්‍රසිද්ධ පුද්ගලයක් කීප දෙනෙක් එහි සිටිනවා. මේ සංවිධානයෙන් බෞද්ධ පංසල්වලටත් උදව් කරලා තිබෙනවා. අන්තවාදී සංවිධානයක් නම් බෞද්ධ පංසල්වලට උදව් කරන්නේ නෑ. 

බෝම්බකරුත් එක්ක සම්බන්ධයක් තිබෙනවනවා කිව්වට ඉන්සාෆ් කියන බෝම්බකරු එක්ක කිසිම සම්බන්ධයක් නෑ. ඒ බෝම්බකරුත් එක්ක තිබුණු එකම සම්බන්ධතාවය ඔහුගේ සිවිල් නඩු (ඉඩම්) දෙකක නීතීඥයා විදියට කටයුතු කිරීමයි. ඒකත් 2014/2015 වර්ෂවලදී හිජාස් හිස්බුල්ලට යොමු කරලා තියෙන්නේ ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා. අලි සබ්රි කරං ගිය නඩු දෙක තමයි මොහුට කරලා තියෙන්නේ. 

මොහුව අත්අඩංගුවට ගත්තට පස්සේ තමයි ළමයි දෙන්නෙක් එක්කගෙන ගිහින් මහේස්ත්‍රාත් ඉදිරිපිට රහස් ප්‍රකාශයක් දීලා තියෙන්නේ. රහස් ප්‍රකාශයක් වුණාට ඊට පසු දින මව්බිම පුවත්පතේ තිබෙනවා එම රහස් ප්‍රකාශයේ මෙන්න මේවා අඩංගුයි කියලා. අධිකරණයට දුන්නු රහස් ප්‍රකාශයක් අධිකරණයේ සීල් කර තිබිය දී මාධ්‍යට යන්නේ කොහොමද? එහෙමනම් ඒ ළමයි කරපු රහස් ප්‍රකාශ වෙනත් කෙනෙක් නිර්මාණය කරන ලද ප්‍රකාශ විය යුතුයි. 

තමන්ගෙන් බලෙන් ප්‍රකාශ සටහන් කරගත්තා කියලා ළමයි තුන් දෙනෙක් මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කරලා තිබෙනවා. 

වීරසිංහ එදිරිව නීතිපති නඩුවේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ කරුණු අනුව මොකක් යටතේ අත්අඩංගුවට ගත්තු කෙනෙක් වුණත් අධිකරණයට ඉදිරිපත් කළ යුතුයි. ඒ නිසා අඩුතරමේ නිරීක්ෂණ සඳහාවත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස රහස් පොලිසියට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටිනවා.'' 

මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේ එම නඩු තීන්දුව අධ්‍යයනය කර ජුලි පළමු වැනිදා සිය තීන්දුව ලබා දෙන බවයි. 

හිජාස් හිස්බුල්ලා සැකකරුවකු ලෙස නම් කිරීමට තරම් ප්‍රමාණවත් සාක්කි තිබේදැයි මහේස්ත්‍රාත්වරයා රහස් පොලිසියෙන් විමසීමක් කළ අතර රහස් පොලිස් සැරයන්වරයා ප්‍රකාශ කළේ ප්‍රමාණවත් සාක්කි හෙලිකර ගැනීම සඳහා විමර්ශන කරගෙන යන බවයි.  

Share