උසස් පෙළ විභාගයේ දිනය අවිනිශ්චිතයි : සිසුන් අතරමං

Staff Writer | Author . Translate to English or தமிழ் 6/17/2020 5:04:00 PM
උසස් පෙළ විභාගයේ දිනය අවිනිශ්චිතයි : සිසුන් අතරමං

උසස් පෙළ විභාගය පැවැත්වෙන දිනය ගැන රජයේ ස්ථාවරය විටින් විට වෙනස් වීම නිසා මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් අතරමං වී ඇතැයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා Medialk.com වෙත පැවසීය.

අධ්‍යාපන අමාත්‍යාංශයට විධිමත් නිවැරදි තීන්දුවක් ගැනිමට නොහැකි බවත් මෙය සිසුන්ට සිදුකරන අසාධාරණයක් බවත් මෙම තීරණ ගෙන ඇත්තේ ටියුෂන් ව්‍යාපාර දියුණු කරගැනීම සඳහා ටියුෂන් ව්‍යාපාරිකයින්ගෙන් විමසා බවත් ඒ මහතා කීවේය.

"කොරෝනා ගැටළුව ඇති වුණ මුල් කාලයේ සිටම අපි වර්තමාන ආණ්ඩුවට කිව්වා පාසල් ආරම්භ කරන දිනය සහ විභාග පැවැත්වෙන දින හරිය⁣ට කියන්න කියලා.

එතකොට අධ්‍යාපන ඇමතිවරයා කිව්ව ළමයිට හානියක් වෙන්න දෙන්නේ නෑ.හරී තීරණයක් ගන්නවා කියලා.මෙි සම්බන්ධයෙන් විධිමත්ව අධ්‍යාපන අංශයේ පාර්ශව සමග සාකච්ඡා කරලා තීරණයක් අරගෙන නෑ.අත්තනෝමතික ලෙස මේ තීරණ ගත්තේ.ටියුෂන් පන්ති ව්‍යාපාරිකයන්ගෙන් අහලා තමයි මේ  මේ තීරණ අරන් තියෙන්නේ. අධ්‍යාපනයට අදාළ පාර්ශ්වවලින් අහලා මෙිවා කරන්න ඕන.අධ්‍යාපන අමාත්‍යාංශයට විධිමත් නිවැරදි තීන්දුවක් ගන්න බෑ.

මේක ළමයිට සිදුකරන අසාධාරණයක්.ළමයි මේකෙන් අතරමං වෙනවා.ටියුෂන් ව්‍යාපාර දියුණු කරගන්න එයාලට අවශ්‍ය විදියට තමයි මේ තීරණ ගන්නේ.

පාසල් පටන් ගැනීමේ දිනයත් මෙි වගේමයි. එකපාරක් කිව්වා මැයි 11 පටන් ගන්නවා කියලා.ආයේ එ්ක කල් දැම්මා. ස්ථාවර තීරණයක් ගන්න බෑ මේ රජය⁣ට සහ අධ්‍යාපන අමාත්‍යාංශයට." යැයි ඒ මහතා කීවේය.

මීට පෙර රජයේ විවිධ ප්‍රකාශකයින් පැවසුවේ උසස් පෙළ විභාගය නියමිත ආකාරයෙන් අගොස්තු මස පැවැත්වීමට කටයුතු කරන බවයි. නමුත් ජූනි 09 වැනිදා ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් අධ්‍යාපන ඇමති ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රකාශ කළේ උසස් පෙළ විභාගය සැප්තැම්බර් 07 දක්වා කල් දමන බවටයි.

එම තීරණය අධ්‍යාපන අමාත්‍යාංශයේ පෞද්ගලික තීරණයක් හෝ දේශපාලන තීන්දුවක් නොවන බවත් පාර්ශ්ව රැසක් සමග කළ දීර්ඝ සාකච්ඡා ගණනාවකින් අනතුරුව මෙම තීරණය ගත් බවත් අමාත්‍යවරයා එහිදී පැවසීය.

නමුත් ඊයේ (16) නිවෙිදනයක් නිකුත් කරමින් අධ්‍යාපන ලේකම්වරයා පැවසුවේ ජූලි 06 වැනිදා පාසල් ආරම්භ වූ පසු අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ගෙන්,එම පන්තිවල ඉගැන්වීම් කරනු ලබන ගුරු භවතුන්ගේ හා විදුහල්පතිවරුන්ගේ අදහස් හා යෝජනා පුළුල් වශයෙන් සැලකිල්ලට ගනිමින් විභාගය පවත්වන දින පිලිබද අවසන් තීරණය ගන්නා බවයි.

එමෙන්ම එම තීරණය පාසල් ආරම්භ කිරීමෙන් පසු එළඹෙන පළමු සති අන්තයේදීම ප්‍රකාශයට පත් කරන බව ද ඒ මහතා සඳහන් කර තිබිණි.

සැප්තැම්බර් වන විට උසස් පෙළ විභාගයට සූදානම් වීමට කල් මදි බවට සිසුන්ගෙන් ලැබුණු ඉල්ලීම් නිසා නැවත එම තීරණය වෙනස් කිරීම ගැන සලකා බලන බව අධ්‍යාපන අමාත්‍යවරයා ද පසුගියදා පැවසීය.

අධ්‍යාපන ලේකම් චිත්‍රානන්ද මහතා නිකුත් කළ නිවේදනයේ මෙසේද සඳහන් විය.

"කොවිඩ්-19 වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් මෙම වර්ෂය තුළ පාසල් පැවැත්වූ දින ගණන සීමා වීමත් විෂය නිර්දේශ අාවරණය කිරීමට නොහැකි වීමත් හේතුවෙන් මෙවර උසස් පෙළ විභාග අපේක්ෂක සිසුන්ට මුහුණ දීමට සිදුවන අභියෝගය සැලකිල්ලට ගනිමින් උසස් පෙළ විභාගය කල් දමන ලෙසට ඇතැම් පාර්ශ්වයන් වෙතින් අධ්‍යාපන අමාත්‍යවරයා වෙත සහ අධ්‍යාපන අමාත්‍යාංශය වෙත ඉල්ලීම් ලැබී තිබේ.

රට තුළ පවතින තත්ත්වය මත මෙම ඉල්ලීම විභාගයට මුහුණ දෙන ⁣දරුවන්ගෙ සාධාරණ අයිතියක් ලෙස සලකා මේ පිළිබඳ තවදුරටත් විමර්ශනය කොට දැනට නියම කර ඇති පරිදි සැප්තැම්බර් මස 07 වැනිදා උසස් පෙළ විභාගය පැවැත්වීම දරුවන්ට අසාධාරණයක් නොවන පරිදි සලකා බලන ලෙස අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා මා සහ විභාග කොමසාරිස් ජනරාල්වරයා ඇතුළු අමාත්‍යාංශ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් වෙත උපදෙස් ලබා දී ඇත.

2020 ජූලි මස 06 වැනිදා පාසල් ආරම්භ වූ පසු අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ගේ,එම පන්තිවල ඉගැන්වීම් කරනු ලබන ගුරු භවතුන්ගේ හා විදුහල්පතිවරුන්ගේ අදහස් හා යෝජනා පුළුල් වශයෙන් සැලකිල්ලට ගනිමින් විභාගය පවත්වන දින පිලිබද අවසන් තීරණය පාසල් ආරම්භ කිරීමෙන් පසු එළඹෙන පළමු සති අන්තයේ දීම ප්‍රකාශයට පත් කරන බව දැනුම් දීමට කැමැත්තෙමි."

මේ අතර අධ්‍යාපන ලේකම් චිත්‍රානන්ද මහතා පැවසූවේ කොරෝනා වසංගතය උසස් පෙළ සිසුන්ට පැය 400ක පමණ ඉගෙනුම් කාලයක් අහිමි වී ඇති බවයි.

කොරෝනා ලොක්ඩවුන් කාලය මාස දෙකක් පැවති නිසා අහිමි වූ ඉගෙනුම් කාලයට සරිලන ලෙස විභාගය කල් දමා ඇති බවත් අහිමි වූ කාලයට අමතර කාලයක් සිසුන්ට දැන් ලැබී ඇති බැවින් සම්පූර්ණ විෂය නිර්දේශයෙන්ම ප්‍රශ්න සකස් කරන බවත් විභාග කොමසාරිස් සනත් පූජිත මහතා ප්‍රකාශ කළේය.

එමෙන්ම හිටපු අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා ද ප්‍රකාශ කර තිබුණේ සැප්තැම්බර් වන විට සිසුන්ට විභාගය සඳහා සූදානම් වීමට කල් මදි බවත් ඒ පිළිබඳ තවත් වරක් සලකා බලන ලෙසත් ය.

Share