පොලිස් නිලධාරීන් කළේ දේශපාලන පළිගැනීමක් - පෙරටුගාමීන්ගෙන් පොලිස් කොමිසමට පැමිණිල්ලක්

නිලුක සදුන් | Author . Translate to English or தமிழ் 6/17/2020 2:29:00 PM
පොලිස් නිලධාරීන් කළේ දේශපාලන පළිගැනීමක් - පෙරටුගාමීන්ගෙන් පොලිස් කොමිසමට පැමිණිල්ලක්

ජෝර්ජ් ෆ්ලොයිඩ් වෙනුවෙන් පැවති පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ විරෝධතාවය⁣ට පොලිසිය කළ පහරදීම පිළිබඳව ජාතික පොලිස් කොමිසමට පැමිණිල්ලක් කළ බව එම පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා Medialk.com වෙත පැවසීය.

පොලිස් නිලධාරීන් ⁣රාජකාරියෙන් ඔබ්බට ගොස් දේශපාලන පළිගැනීමක් හෝ⁣ දේශපාලන මැදිහත්වීමක් කර ඇත්දැයි විමර්ශනය කරන ලෙස පැමිණිල්ල මගින් කොමිසමෙන් ඉල්ලූ බවද ඒ මහතා කීවේය.

"පසුගිය 9 වැනිදා අප පක්ෂය පවත්වපු සාමකාමී විරෝධතාවයට පොලිසිය යොදා එල්ල කළ ප්‍රහාරය පිළිබඳව ජාතික පොලිස් කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළා.එම විරෝධතාවයට පහරදීමට පැමිණි පොලිස් නිලධාරීන් හැසිරුණ විදිහ ගැන සහ ⁣ඔවුන් දේශපාලන පළිගැනීමක් කළාද කියන එක ගැන විමර්ශනයක් ඉල්ලා සිටියා.ඊට පැමිණි පොලිස් නිලධාරීන් ගැන විමර්ශනය කරන ලෙසත් ඔවුන් රාජකාරීයට ඔබ්බට ගොස් දේශපාලන මැදිහත්වීමක් කළාද යන්න විමර්ශනයක් අවශ්‍යයි. හෙට පොලිස් කොමිසම රැස්වෙනවා කියලා කිව්වා.එතනදී මේ ගැන සාකච්ඡා කර දැනුම් දෙන්නම් කියලා පොලිස් කොමිසමේ නිලධාරීන් කිව්වා.

පෙරටුගාමී පක්ෂය අද (17) බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පිහිටි පොලිස් කොමිෂන් සභාව වෙත අදාළ පැමිණිල්ල ඉදිරිපත් කළේය.

ජූනි 09 වැනිදා කොළඹ ලිප්ටන් වටරවුමේදී පැවති එම උද්ඝෝෂණයට සහභාගි වූවන් මෙන්ම ලිබර්ටි සිනමාහල අසල සිටි උද්ඝෝෂණයට සහභාගි නොවූවන්ද පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබිණි.  

මෙම උද්ඝෝෂණය සම්බන්ධයෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම් ඇතුළු 53 දෙනකු අත්අඩංගුවට ගත් අතර එදිනම අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදාහැරිණි.

Share