මවුලවිලා හතරක් ඇතුළු 08ක් අත්අඩංගුවට ගත් සිද්ධියේ ඇත්ත කතාව

Staff Writer | Author . Translate to English or தமிழ் 6/16/2020 1:27:00 PM
මවුලවිලා හතරක් ඇතුළු 08ක් අත්අඩංගුවට ගත් සිද්ධියේ ඇත්ත කතාව

පල්ලේවෙල පොලිස් ස්ථානය මගින් සැකපිට අත්අඩංගුවට ගත්තේයැයි කියන මවුලවිවරුන් හතර දෙනකු ඇතුළු සැකකරුවන් 08 දෙනකු යම් අපරාධයකට සම්බන්ධ බවට හැඟෙවෙන ආකාරයෙන් මාධ්‍යවල වාර්තා කර තිබුණද ඔවුන් අපරාධවලට සම්බන්ධ පිරිස් නොවන බව පල්ලෙවෙල පොලිසිය කියයි.

පොලිසියට ලැබුණු තොරතුරක් මත පස්යාලට ආසන්න ප්‍රදේශයක නිවසක සිටිය දී මේ පිරිස පොලිසියට රැගෙන ආ බවත්, ඔවුන් එහි ගොස් ඇත්තේ මංගල උත්සවයකට සහභාගී වීමට බවත්, අදාල සියලුම දෙනාට එරෙහිව චෝදනා නැති බව ඔවුන් පදිංචි පොලිස් ස්ථානවලින් තහවුරු කළ බවත් පොලිසිය පවසයි.

ඔවුන් පැමිණි කාරණය තහවුරු කර ගත් පසු ඔවුන් මුදා හැරි බව ද පොලිසිය සඳහන් කරයි.

නිරෝදායන නීති උල්ලංඝණය කරමින් සාද දමන බවට ලද තොරතුරක් අනුව පොලිසිය අදාල නිවස පරීක්ෂා කර තිබේ. 

මේ සම්බන්ධයෙන් කළ විමසීමක දී එම නිවසේ සිටි පුද්ගලයෙක් මෙසේ පැවසීය.

''මංගල උත්සවයකට යන්නයි කට්ටිය මෙහේ ආවේ. කිසිම නීතී විරෝධි දෙයක් එතන වුණේ නෑ. ඉරිදා උදේ 9.00ට විතර පොලිසිය ඇවිත් පරීක්ෂා කළා. ඇවිත් හිටපු අයගෙනුත් ප්‍රශ්න කළා. ගෙවල්වල ලස්සනට එල්ලලා තියන කඩුවක් තිබ්බා. වෙන කිසිම දෙයක් තිබුණේ නෑ. පොලිසිය පස්සේ කට්ටියව මුදාහැරියා.'' යැයි ඔහු කීවේය.

''කල්එලියේ කියලා දාලා තිබ්බට මේ ගෙදර තියෙන්නේ කල්එලියේ නෙමෙයි. හිතාමතාම ප්‍රශ්නයක් ඇති කරන්නයි මීඩියා මෙහෙම දාලා තියෙන්නේ. මද්‍රසා පාසල්වල ඉගෙන ගත්ත මවුලවිලා හතරක් හිටියා කියලා තියනවා. මද්‍රසාපාසල්වල ඉගෙන ගත්ත මවුලවිලා හිටපු එකේ වරද මොකක්ද? කිසිම නීති විරෝධී දෙයක් ඒ අය කරලත් නෑ. එතන එහෙම දෙයක් වුණෙත් නෑ. කවුරු හරි කෝල් කරලා තියන නිසයි පොලිසිය ඇවිත් තියෙන්නේ. හැබැයි මීඩියාවල දාලා තියෙන්නේ මද්‍රසාවල ඉගෙන ගත්තු මවුලවිලා හතර දෙනකුත් එක්ක අට දෙනෙක් යම් අපරාධයකට ලෑස්සි වෙනවා වගේ අදහසක් එන විදියට. සම්පූර්ණයෙන් මිනිස්සු නොමග යවන ප්‍රවෘත්තියක් ඒක. අනික ඒකට මද්‍රසා කතාවක් අදාලම නැහැ. මේක ප්‍රශ්නයක් ඇතිකරන්නම දාපු ප්‍රවෘත්තියක්.'' යැයි නිවසේ සිටි පුද්ගලයෙක් පැවසීය.

මේ සම්බන්ධයෙන් කළ විමසීමක දී පල්ලෙවෙල පොලිස් ස්ථානාධිපතිවරයා MediaLK.com වෙත තහවුරු කළේ මෙම පිරිසට එරෙහිව චෝදනා නැති බව අදාල පොලිසිවලින් තහවුරු කළ බවයි. 

මෙම සිද්ධිය ජනමාධ්‍යවල වාර්තාකර තිබූ අයුරු පහත දැක්වේ.



Share