මාධ්‍යවේදිනියගේ නිවස පරීක්ෂා කර ලැප්ටොප් පරිගණකය රැගෙන ගිහින්

Staff Writer | Author . Translate to English or தமிழ் 6/16/2020 10:17:00 AM
මාධ්‍යවේදිනියගේ නිවස පරීක්ෂා කර ලැප්ටොප් පරිගණකය රැගෙන ගිහින්

සන්ඩේ ඔබ්සර්වර් පුවත්පතේ හිටපු කතෘ දරීෂා බැස්ටියන්ස් මහත්මියගේ නිවස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂා කරනු ලැබ ඇතැයි ද ඇගේ ලැප්ටොප් පරිඝණකය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් රැගෙන යනු ලැබ ඇතැයි ද පොලිස් ආරංචි මාර්ගවලින් පැවසේ.

මුලින් එම දෙපාර්තමේන්තුව නිවස පරීක්ෂා කිරීමට වරෙන්තු නොමැතිව පැමිණ තම ලැප්ටොප් පරිගණකය ගැනීමට උත්සහ කළ බවත් එහිදී විරුද්ධ වීම නිසා පසුව වරෙන්තු සහිතව පැමිණ නිවස පරීක්ෂා කර ලැප්ටොප් පරිගණකය රැගෙන ගිය බවත් මාධ්‍යවේදී දරීෂා බැස්ටියන්ස් මහත්මිය ප්‍රකාශ කළාය.

ඊට පෙර තම දුරකථන ඇමතුම් දත්ත වාර්තා කිසිදු උසාවි නියෝගයකින් තොරව ලබාගත් බව ද, තම මූලාශ්‍ර සහ සම්බන්ධතා අනතුරට ලක්විය හැකි ආකාරයෙන් ප්‍රසිද්ධියට පත් කර ඇති බවද  ඇය කීවාය.

දරීෂා බැස්ටියන්ස් මහත්මිය මෙසේද සඳහන් කළාය.

"මාස කිහිපයක් තිස්සේ මගේ නම 2019 නොවැම්බරයේ සිදු වූ බව කියන පැහැරගැනීමක් සම්බන්ධයෙන් දැනට සිදුවන අපරාධ පරීක්ෂණයකට සම්බන්ධ වී තියෙනවා.

මෙම විමර්ශනයට අදාළව, අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව මගේ ඉලෙක්ට්‍රොනික උපකරණ සම්බන්ධයෙන් මගේ සහායකයින් සහ හිටපු සගයන්ගෙන් විශේෂයෙන් ප්‍රශ්න කරලා තියෙනවා.

2020 මැයි 29 සහ 2020 ජුනි 4 වන දින අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කොළඹ පිහිටි මගේ නිවසට පැමිණ වරෙන්තුවක් නොමැතිව මගේ පුද්ගලික ලැප්ටොප් පරිගණකය අත්පත් කර ගැනීමට උත්සාහ කළා.

අපි නීති ආධාර ලබා ගත් අතර මගේ පවුලේ අය රහස් පොලිසියේ නිලධාරීන්ට දන්වා සිටියේ අධිකරණ නියෝගයකින් තොරව ලැප්ටොප් පරිගණකය භාර දිය නොහැකි බවයි.

2020 ජුනි 9 වන දින රහස් පොලිසියේ නිලධාරීන් පස් දෙනෙකු වරෙන්තුවක් සමඟ කොළඹ පිහිටි මගේ නිවසට පැමිණ නිවස පරීක්ෂා කළා.  නිලධාරීන් නිදන කාමර, මගේ මේසය සහ මගේ රාජකාරී කාමර ඇතුළු මුළු නිවසම පරීක්ෂා කළා.

ඒ අතරතුර ඔවුන් ඡායාරූප ගත්තා.  මගේ ලැප්ටොප් පරිගණකය සොයාගෙන ඔවුන් එයට මුද්‍රා තැබුවා.  ලැප්ටොප් එකට, පවර් ඇඩැප්ටර් එකට සහ ලැප්ටොප් බෑගය සඳහා රිසිට්පතක් ලබා දුන්නා.මගේ නිවසේ පදිංචිව සිටින පවුලේ සාමාජිකයන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගත්තා.

මීට පෙර එම විමර්ශන කටයුතු අතරතුරදී, රහස් පොලිසිය අධිකරණ නියෝගයකින් තොරව මගේ ඇමතුම් දත්ත වාර්තා ලබාගෙන ඒවා සෝදිසි කර පසුව එම තොරතුරු ප්‍රසිද්ධ කළා.

ජනමාධ්‍යවේදියෙකු වශයෙන්, මගේ දුරකථන වාර්තා ප්‍රසිද්ධියේ හෙළිදරව් කිරීම ගැන මම භීතියට පත් වූ අතර, එමඟින් මගේ මූලාශ්‍ර සහ සම්බන්ධතා බරපතල ලෙස දැන් හෝ අනාගතයේදී අනතුරට ලක්විය හැකියි.

සුදුසු නීති බලාත්මක කිරීමේ ආයතන විසින් කරනු ලබන ඕනෑම පරීක්ෂණයකට සහයෝගය දැක්වීමට මම කැමැත්තෙන් සිටිනවා. මගේ පරිගණකය ගැන විමර්ශනය කිරීමේදී රහස් පොලිසියට කිසිදු වැරදි ආකාරයක දෙයක් හමු නොවනු ඇතැයි මට විශ්වාසයි.

නමුත් පවත්නා තත්වයන් යටතේ, ඔවුන් ලබාගත් ලැප්ටොප් පරිගණකයේ සහ මට අයත් වෙනත් ඉලෙක්ට්‍රොනික් ද්‍රව්‍ය / උපාංගවල දෘඩාංග, මෘදුකාංග, දත්ත, ලේඛන ලබාගැනීමට මේ සිද්ධියට උනන්දුවක් දක්වන පාර්ශ්වයන් දරන උත්සාහයන් පිළිබඳව මම දැඩි ලෙස සැලකිලිමත් වෙනවා.

දැන් සීඅයිඩීය භාරයේ ඇති මගේ පරිගණකය සම්බන්ධයෙන් නිසි ක්‍රියාදාමයක් අනුගමනය කරන බවට සහතික කිරීම සඳහා ශ්‍රී ලංකාවේ අධිකරණය කෙරෙහි මා විශ්වාසය තබනවා. විශේෂයෙන්ම මා වරක් මාධ්‍යවේදියෙකු ලෙස මගේ වැඩ කටයුතුවලදී භාවිතා කළ උපකරණයක් නිසා.

Share