අතිකාල දීමනා දෙන්න රජයට ප්‍රතිපාදන නෑ : දකුණේ විරෝධතා දිගටම

නිලුක සදුන් | Author . Translate to English or தமிழ் 6/15/2020 5:07:00 PM
අතිකාල දීමනා දෙන්න රජයට ප්‍රතිපාදන නෑ : දකුණේ විරෝධතා දිගටම

නොගෙවූ අතිකාල දීමනා ලබාදෙන ලෙස ඉල්ලා දකුණු පළාතේ ප්‍රදේශ රැසක පැවැත්වූ විරෝධතා සහ සේවයෙන් ඉවත් වීමේ ක්‍රියාමාර්ග අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව සමස්ත ලංකා සෞඛ්‍ය සේවක සංගමයේ ලේකම් ටැම්පිටියේ සුගතානන්ද හිමියෝ පැවසූහ.

අද (15) ඇල්පිටිය, බලපිටිය, වලස්මුල්ල, තංගල්ල සහ තිස්ස යන ප්‍රදේශවල විරෝධතා පැවැත්වූ අතර සෞඛ්‍ය කාර්යමණ්ඩල සේවකයෝ පැය 4ක කාලයකට සේවයෙන් ඉවත් වී මෙම විරෝධතාවලට සහභාගි වූහ.

මීට අමතරව 11,12 සහ 13 යන දිනවල බලපිටිය රෝහලේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල සේවයෙන් ඉවත් වී විරෝධය දැක්වූ බව ද සුගතානන්ද හිමියෝ කීහ.

දකුණු පළාතට අයත් කණිෂ්ඨ සේවක කාර්ය මණ්ඩලයට මාර්තු සහ අප්‍රේල් මාසවල ලැබිය යුතු අතිකාල දීමනා සාමාන්‍යයෙන් මැයි මස දිය යුතු නමුත් මෙතෙක් නොලැබුණු බව ඒ එහිමියෝ ප්‍රකාශ කළහ.

මෙි සම්බන්ධයෙන් රෝහල් අධ්‍යක්ෂවරුන් සහ දකුණු පළාත් සෞඛ්‍ය අධ්‍යකෂ්වරයා ඇතුළු බලධාරීන් සමග සාකච්ඡා කළ බවද ඒ හිමියෝ පැවසූහ.

"රජයට ප්‍රතිපාදන නෑ කියලා අතිකාල දීමනා දෙන්න විධියක් නෑ කිව්වා.ජූනි මාසේ දීමනා සමග ඒවා දෙන්න උත්සහ කරන්නම් කිව්වා.නමුත් ඒක විශ්වාස නැහැ.අතිකාල දීමනා ලබාදෙන්න කියලා තමයි මේ උද්ඝෝෂණ කරන්නේ.ඉදිරි දිනවලදී මෙම ක්‍රියාමාර්ග අඛණ්ඩව කරනවා."යැයි ද ඒ හිමියෝ සඳහන් කළහ.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී දකුණු පළාත් ⁣සෞඛ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චන්දිම සිරිතුංග මහතා පැවසූවේ අප්‍රේල් මාසයේ අතිකාල දීමනාව ජූනි මස වැටුප සමග ගෙවීමට ප්‍රධාන ලේකම් කාර්යාලයෙන් උපදෙස් ලැබුණ බවත් මැයි මස අතිකාල දීමනා සම්බන්ධයෙන් තමන්ට මෙතෙක් උපදෙස් නොලැබුණු බවයි.

දකුණු පළාත තුළ සෞඛ්‍ය සේවකයින්ට අදාළ මාර්තු මස අතිකාල දීමනා ගෙවා අවසන් බවද ගැටළුව වී ඇත්තේ අප්‍රේල් සහ මැයි මස අතිකාල දීමනා සම්බන්ධයෙන් බව ද ඒ මහතා පැවසීය.

තමා දන්නා පරිදි උද්ඝෝෂකයින් ඉල්ලන්නේ මැයි සහ අප්‍රේල් අතිකාල දීමනා දෙකම ජූනි මස වැටුප සමග ලබාදෙන ලෙසට බව ද ඒ මහතා කීය.

"මැයි මස අතිකාල දීමනා ගැන තවම තහවුරු කරලා නෑ මට.නොගෙවා ඉන්නේ නෑ අනිවාර්යයෙන් ගෙවනවා.මුදල් ලැබෙන්න එපැයි දෙන්න. මුදල් ලැබුණ ගමන් දෙනවා. ප්‍රතිපාදන නොමැති වීම නිසා මහා භාණ්ඩාගාරයෙන් මුදල් එන ප්‍රමාදයක් පමණයි තියෙන්නේ.අනෙක් පළාත්වල මාර්තු මාසයේ එක දෙන්න හදන්නෙත් දැන්.ඒත් අපි මාර්තු එක දීලා තියෙන්නේ." යැයි ඒ මහතා පැවසීය.

ඡායාරූප : සෞඛ්‍ය සේවක සංගමය

Share