මානව හිමිකම් ගැන අගරදගුරු හිමිගේ ප්‍රකාශය වැරදියි : එය පාප් වහන්සේගේ දැක්මටත් පරස්පරයි - රුකී

නිලුක සදුන් | Author . Translate to English or தமிழ் 6/15/2020 12:23:00 PM
මානව හිමිකම් ගැන අගරදගුරු හිමිගේ ප්‍රකාශය වැරදියි : එය පාප් වහන්සේගේ දැක්මටත් පරස්පරයි - රුකී

මානව හිමිකම් සම්බන්ධයෙන් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමා කළ ප්‍රකාශය පාප් වහන්සේගේ දැක්මට හා ප්‍රකාශවලට පරස්පර බව මානව හිමිකම් ක්‍රියාකාරිකයකු මෙන්ම කිතුණු සංවිධානවල ක්‍රියාකාරී සාමාජිකයකු වන රුකී ප්‍රනාන්දු මහතා පැවසීය.

පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණයක් ඉෂ්ඨ වීමට නම් සාධාරණ නඩු විභාගයක් පැවැත්විය යුතු බවත්, එලෙස සාධාරණ නඩු විභාගයක් පැවැත්වීමට නම් සැකකරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා විය යුතු බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

රුකී ප්‍රනාන්දු මහතා මේ බව ප්‍රකාශ කළේ MediaLK.com සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.

ඒ මහතා සමග කළ සම්පූර්ණ සාකච්ඡාව පහත දැක්වෙයි.

ප්‍රශ්නය - රටේ ජනතාවට විනයක් නැහැ කියලා මතයක් ගොඩ නගන්න සමහරු උත්සාහ කළා. විනය හදන්න හමුදා පාලනයක් අවශ්‍ය බවත් සමහරු කිව්වා. මානව හිමිකම් ක්‍රියාකාරිකයෙක් හැටියට මේ කාරණය දකින්නේ කොහොමද?

පිළිතුර- විනය කියන එක නිර්වචනය කරන්න පුළුවන් විවිධ ආකාරයට. කෙනෙකුට විනය හොඳ වෙන්න පුළුවන්ත, තවත් කෙනකුට නරක වෙන්න පුළුවන්. විනයට වඩා නීතිය තමයි වැදගත්. විනයට වඩා අපි අනුගමනය කළ යුත්තේ නීතිය. නීතිවල අඩුපාඩු තියෙනවනම් වෙනස් කරගන්න පුළුවන්. අතීතය පුරාම ඒක සිද්ධ වෙලා තියෙනවා. විනය කියන වචනය රජයකින් භාවිත කිරීම භයානක තත්ත්වයක්.

හමුදා පාලනය ප්‍රජාතන්ත්‍රවාදයට කොහෙත්ම සුදුසු නෑ. ඒක පැහැදිලියි. හමුදාවට යම් යම් කාර්යයන් පැවරෙනවා. හමුදාවට කෙලින්ම බලපාන අවස්ථාවක් තමයි යුද්ධයක් තියෙන අවස්ථාවක්. හමුදාව තමයි ඒක කරන්නේ. ඒක සිවිල් නිලධාරීන් කරන්නේ නෑ. සිවිල් නිලධාරීන් කරන වෙනම රාජකාරී තියෙනවා.⁣ දේශපාලනඥයින් කරන වෙනම රාජකාරී තියෙනවා. පොලිසියෙන් කරන රාජකාරී වෙනම තියෙනවා. දැන් තියෙන්නේ යුද්ධයක් නැති කාලයක්. එතකොට හමුදාවේ සහභාගිත්වය අවම විය යුතුයි.

ඒ වගේම හදිසි අවස්ථාවකදී යම් යම් සහය හමුදාවෙන් ලබාගන්න පුළුවන්. කොරෝනා වගේ ප්‍රශ්නයකදී හෝ ස්වාභාවික ව්‍යසනයක දී ඒ සහය ගන්න පුළුවන්. පිටරටවල වුණත් ඒක සිද්ධ වෙන දෙයක්. නමුත් ඒක සිද්ධ වෙන්නේ සිවිල් නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ.

හමුදාවේ විශේෂ දක්ෂතා තියෙනවනම් විශේෂ උපකරණ තියෙනවානම් ඒවා පාවිච්චි කරන්න පුළුවන් ඒ හදිසි අවස්ථාවලදී. ඒ වුණාට අධීක්ෂණය වෙන්න ඕනෑ, නායකත්වය දෙන්න ඕනෑ ඒ විෂයට අදාළ දැනුමක් තියෙන සිවිල් නිලධාරීන්.

ඒ වුණත් හමුදා පාලනයක් කොහෙත්ම අපට බාරගන්න බෑ. හමුදා පාලනය වක්‍රාකාරව වෙන්නත් පුළුවන්. හමුදාවේ තනතුරු දරපු අය රජයේ ඉහළ තනතුරුවලට පත් කරන එක යම් තාක් දුරට හමුදා පාලනයක ස්වභාවයක් වෙන්න පුළුවන්. හමුදාවක තියෙන විධිය තමයි ඉහළ නිලධාරීන් දෙන අණ පිළිපදින එක. ප්‍රශ්න කිරීම විවේචන කිරීම සාමාන්‍යයෙන් හමුදාවක සිද්ධ වෙන්නේ නෑ. නමුත් ප්‍රජාතන්ත්‍රවාදී සිවිල් සමාජයක වෙන්නේ ඒකේ අනික් පැත්ත. ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක බලයේ ඉන්න අයව විවේචනය කරන්න අවස්ථාව තියෙනවා. විවිධ අයගේ අදහස් මත තීරණ ගන්න තත්ත්වයක් තියෙන්නේ. පාර්ලිමේන්තුවක වෙන්නෙත් ඒකයි. හමුදා පාලනයක තියෙන ලක්ෂණ කොහෙත්ම ප්‍රජාතන්ත්‍රවාදී සමාජයකට ගැලපෙන්නේ නෑ.

ප්‍රශ්නය- කොරෝනා කාලයේ රට මිලිටරිකරණයට ඇදෙමින් ගියා කියලත් සමහරු චෝදනා කළා. එහෙම තත්ත්වයක් ඔබ දැක්කද?

පිළිතුර- අපි දකිනවා කොරෝනා සම්බන්ධයෙන් යම් යම් සංවිධාන ව්‍යූහවල හමුදා නිලධාරීන් නායකත්වය අරගෙන තියෙනවා. සිවිල් නිලධාරීන් ඉන්න ඒවාගෙත් නායකත්වය දරන්නේ හමුදා නිලධාරීන්. එතකො⁣ට සමහර කටයුතුවලට සහය දෙනවට වඩා ඔබ්බට ගිහිල්ලා තියෙනවා. රූපවාහිනිය බලද්දි වුනත් කොරෝනා ගැන කියන්න එන ප්‍රධාන අය හමුදාවේ සහ පොලිසියේ නිලධාරීන් .හමුදාපති වගේ අය තමයි සෞඛ්‍යය ගැන උපදෙස් දෙන වැඩසටහන්වලටත් එන්නේ. සෞඛ්‍ය ප්‍රශ්නයක් වුණත් ඒවාගේ සෞඛ්‍ය අංශවලට දීලා තියෙන තැන අඩුයි. සෞඛ්‍ය ආපදාවකදී වුණත් සෞඛ්‍ය ගැටළුවලටත් උපදෙස් ලැබෙන්නේ හමුදාපති සහ පොලිසියෙ අයගෙන් සෞඛ්‍ය බලධාරීන්ටත් වඩා.

ප්‍රශ්නය- කොරෝනා කාලේ ශ්‍රී ලංකාවේ පොලිසිය හෝ ඒ අයටතේ ඇති ආයතන කරපු සමහර අත්අඩංගුවට ගැනීම් ගැන ලොකු ආන්දෝලනයක් ඇති වුණා. රම්සි රාසික්, හිජාස් හිස්බුල්ලා ඒ අතර ප්‍රධාන තැනක් ගන්නවා. මේ අත්අඩංගුවට ගැනීම් ගැන හොයා බැලීමක් කළාද?

පිළිතුර- ඔව් රම්සි අත්අඩංගුවට ගත්තේ ෆේස්බුක් එකේ දාපු සටහනක් නිසා.මම ඒක කියවලා බැලුවා. ඔහුගේ අවුරුද්දක විතර සටහන් කියවලා බැලුවා.මට අනුව නම් එයා දාපු සටහන්වල වැරදි සටහනක් දාලා නෑ. ඒ සටහන්වල කිසිම ආගමකට ජාතියකට වෙනස්කොට සැලකීමක් වෙලා නෑ වගේම වෛරි කිසිම දෙයක් දාලාත් නෑ. ඒක තමයි මගේ හැඟීම.ඒ වගේ කෙනෙක් අත්අඩංගුවට ගෙන ඇප ලබාගැනීමට නොහැකි විදියට රඳවා තබාගැනීම මම දකින්නේ අසාධාරණයක් විදියට.

එයාට තමයි අනෙක් පාර්ශ්වවලින් මරණ තර්ජන ආවේ. ඒ මරණ තර්ජන කරන අය ගැන සොයන එකට වඩා රම්සිගේ අත්අඩංගුවට ගැනීමට තමයි තැන දීලා තියෙන්නේ. ඒක ගොඩක් අසාධාරණයි. අනික පැමිණිල්ල කරලා තියෙන්නේ ආරක්ෂක ලේකම් යටතේ වැඩ කරන නිලධාරීයෙක්. ආරක්ෂක ලේකම්වරයා යටතේ සිටින කෙනෙක් මේකට පැමිණිලි කිරීම නිසා සැකයක් මතුවෙනවා මේකට රජයේ සම්බන්ධය සම්බන්ධයෙන්.

හිජාස්ව අත්අඩංගුවට ගැනීමෙන් පසු අද වෙනකම් නීතිඥවරයෙක්ට හරි ආකාරයෙන් කතා කරන්න අවස්ථාවක් දීලා නෑ. පාස්කු ප්‍රහාරයේ වින්දිතයයන්ට සාධාරණය ඉටුවිය යුතුයි. නමුත් ඒ නිසි පරිදි ගුණාත්මකභාවයකින් යුතුව නීතිය ආධිපත්‍යය තුළ සිදු වු⁣නොත් විතරයි එහෙම වෙන්නේ. ඕන ඕන විදියට අත්අඩංගුවට අරගෙන නීතිඥ සහය ගන්නත් නොදී රඳවාගෙන තියාගෙන හිටියට පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් යුක්තියක් ඉටුවන්නේ නෑ. ඔහුට නීතිඥ සහය ලබාගැනීමට අවස්ථාව දිය යුතුයි. එතකොට තමයි පාස්කු ප්‍රහාරයට අදාළව යුක්තිය හරි විදියට ඉටුවෙන්නේ.

දැන් කොරෝනා පටන් ගත්ත මුල් කාලයේ විවිධ අය ප්‍රකාශ කළා අපි දැක්කා. කෙනෙක් කියලා තිබ්බා කොරෝනාවලට බේතක් හොයාගෙන කියලා.රජයේ පාර්ශ්වයේ වෛද්‍යවරියක් තමයි කියලා තිබ්බේ. ඒවා මාධ්‍යවල පළ වුණා.සෞඛ්‍ය අමාත්‍යාවරියත් කිව්වා දවසක් කියලා එදාට කොරෝනා ඉවර වෙනවා කියලා. ඒවගේම මුස්ලිම් ජාතිකයින්ට එරෙහිව වෛරී ප්‍රකාශත් සිදු කෙරුණා ප්‍රධාන ධාරාවේ මාධ්‍යවල. ඒවාට විරුද්ධව පොලිසිය කිසිම දෙයක් කරනවා කියලා පෙන්නේ නෑ.අපිට මාධ්‍යවලින් අහන්න ලැබෙන්නෙත් නෑ. මේවා තමයි ජනතාව අතරට යන්නේ. මේ වගේ නොමග යන සුළු ප්‍රකාශ මේ වගේ බොරු ප්‍රකාශ තමයි හුගක් ජනතාවට අතරට යන්නේ, මුහුණු පොතේ කවුරු හරි දාන පෝස්ට් එකකට වඩා.

මේ වගේ දේවල්වලට පොලිසිය ක්‍රියාමාර්ග ගන්නා බවක් අපට මාධ්‍යවලින් දැකගන්න ලැබෙන්නේ නෑ. එතන පරස්පරවිරෝධී බවක් තියෙනවා.

ප්‍රශ්නය- ඔබ කිතුණු සංවිධාන එක්ක ළඟින් වැඩ කරනවා. පාස්කු ප්‍රහාරය භාවිත කරමින් ඇතැම් කිතුණු නායකයන් දේශපාලන හේතු නිසා ජාතිවාදය අවුස්සනවා කියලත් පිරිසක් චෝදනා කරනවා. ඒ ගැන ඔබේ නිරීක්ෂණය මොකක්ද? 

පිළිතුර- මම දැක්කා බස්නාහිර පළාතේ කතෝලික සභාවේ නායකයා වන මැල්කම් රන්ජිත් හිමිපාණන් රූපවාහිනීයේ කියලා තිබ්බා මානව හිමිකම් ලේබලය පිටිපස්සේ සැකකරුවන් හැංගනෙවා කියලා. ඒක වැරදි ප්‍රකාශයක්. මානව හිමිකම් කියන ලේබලය පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ටත් තියෙනවා, සැකකරුවන්ටත් තියෙනවා. චූදිතයන්ටත් තියෙනවා. වරද කරපු අයටත් තියෙනවා.ඒකේ නෑ මානව හිමිකම් නිසා සැකකරුවන්ට බේරිලා යන්න පුළුවන් කියලා එකක්. සැකකරුවන්ගේ චූදිතයන්ගේ අයිතිවාසිකම් තහවුරු ක⁣ළොත් විතරයි පාස්කු ප්‍රහාරයට අදාළව සාධාරණ යුක්තියක් ඉෂ්ට වෙන්නේ. පාස්කු ප්‍රහාරයේ වින්දිතයයන්ට අනිවාර්යයෙන් යුක්තිය ඉටු වෙන්න අවශ්‍යයි. නමුත් හරි විදියට ඒක වුනොත් තමයි නියම ආකාරයට වින්දිතයන්ට යුක්තිය ඉටුවන්නේ.

ඒ නිසා ඔහු කරපු ප්‍රකාශය ආගමික නායකයෙකුගෙන් නොවිය යුතු ප්‍රකාශයක් සහ ඒක සම්පූර්ණයෙන් විරුද්ධයි පාප් තුමා කරලා තියෙන ප්‍රකාශවලට. පාප්තුමා කියලා තිබ්බේ සියලු දෙනාගේ මානව අයිතිවාසිකම්වලට ගරු කළ යුතුයි කියලා.සියලු දෙනාම කියද්දි ඒකට සැකකරුවන් සහ චූදිතයනුත් අයිති වෙනවා. මීට කලින් හිටිය ආගමික නාය⁣ක ජුවාන් පාවුලු පාප්තුමා කියලා තියෙනවා නඩු විභාගයකදී සාධාරණ නඩු විභාගයක් ලැබිය යුතුයි කියලා. මේ තත්ත්වය ඉහත කියපු ඒවාට බලපානවා.රම්සි සහ හිජාස්ටත් සාධාරණ නඩු විභාගයක් අවශයයි.

හිජාස්ට තාම නඩු විභාගයක් නෑ . දැන් මාස දෙකකට ආසන්නයි. නීතිඥ සහය ගන්නත් හරි හැටි අවස්ථාවක් ලබා දීලා නෑ. ආගමික නායකයන්ගේ වගකීම තමයි  පාස්කු ප්‍රහාරයට යුක්තිය වෙනුවෙන් පෙනී සිටිම වගේම සැකකරුවන්ව සහ චූදිතයන් වෙනුවෙනුත් පෙනී සිටීම. දෙකම වෙන්න ඕන.එතකොට තමයි  පාස්කු ප්‍රහාරයට හරි ආකාරයට යුක්තියක් ඉටුවන්නේ.

ප්‍රශ්නය- පාස්කු ප්‍රහාරය වගේ අන්තවාදී හෝ ත්‍රස්තවාදී ක්‍රියා යළි ඇති නොවෙන්න රටේ සිදුවිය යුතු දේශපාලන සහ පරිපාලනමය වෙනස්කම් මොනව කියලද ඔබ හිතන්නේ?

පිළිතුර- ත්‍රස්තවාදී ක්‍රියා ඇති වීමට සමාජ අසාධාරණය සහ මානව හිමිකම් කියන එක බලපානවා. යම්කිසි ප්‍රජාවකට හරි පුද්ගලයන් කිහිප දෙනකුට හරි වෙනස්කොට සලකනවා, මර්දනයට ලක්වෙනවා සහ පීඩාවට පත්වෙනවා කියලා  දැනගත්තම අන්තවාදී ප්‍රචන්ඩකාරී ක්‍රියාවලට යොමු වෙන්න පෙළඹෙන්න පුළුවන්.

ප්‍රධානම කාරණය තමයි කිසිම ප්‍රජාවකට අසාධාරණයක් නොවන වෙනස්කොට සැලකීමක් නොවන සමාජ, ආර්ථික සහ දේශපාලන පසුබිමක් සකසා ගැනීම. කොයි රටෙත් වෙන්නේ ඕක. ලංකාවට විතරක් නෙමෙයි ඒක අදාළ. 

උතුරු නැගෙනහිර යුද්ධය ගත්තත් ඒක ඇතිවුණේ  දෙමළ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී ඉල්ලීම්වල⁣ට සාමකාමීව කරපු අරගලවලට සංවේදී නොවීම. ඉන් පස්සේ අවි ආයුධ ගන්න පෙළඹුණා. ටික කාලෙකට සාමකාමී අරගල කරා. ප්‍රචන්ඩකාරී ක්‍රියාවලට යොමුවීම සමාජයීය,ආර්ථික දේශපාලන ක්‍රියාවලියක්. ඒකට අපි ප්‍රමුඛතාවයක් දෙන්න ඕනේ. මුස්ලිම් ප්‍රජාවටත්, දෙමළ ප්‍රජාවටත් සිංහල ප්‍රජාවටත් ඕන කෙනකුට ඒක අදාළයි.
 
ප්‍රශ්නය- පාස්කු ප්‍රහාරයෙන් විශාල පිරිසක් ජීවිතක්ෂයට පත් වුණා. විශාල පිරිසක් තුවාල ලැබුවා. මේ වින්දිතයන්ට සාධාරණයක් ඉටුවිය යුත්තේ කොහොමද?

පිළිතුර- මේකේ පැති කිහිපයක් තියෙනවා. එකක් තමයි ඇත්තටම මේ ප්‍රහාරයේ ඇත්ත කතන්දරය අපට තාම හරියට එළිවෙලා නෑ. අපි දැක්ක පාර්ලිමේන්තුවේ කමිටුවක් පත් කරලා, ඒකෙන් යම් යම් තොරතුරු අපට ලැබුණා.මේ දවස්වලත් ජනාධිපතිපති කොමිසමකින් විමසීමක් කරගෙන යනවා. යම් තොරතුරු ඒවාගෙනුත් එනවා. ඒවාගෙ පේන කාරණා අනුව මේකේ පාර්ශ්ව දෙකක් තියෙනවා.

එකක් මේ ප්‍රහාරය කරපු අය. දෙවැනි පාර්ශ්වය තමයි මේ ප්‍රහාරය වෙනවයි කියලා තොරතුරු ලැබිලා ඒක වලක්වන්න පෙළඹිච්ච නැති අය. වගකීමක් තිබ්බ අය. එනම් ප්‍රහාරය වළක්වන්න පුළුවන්කමක් තිබ්බ අය. දේශපාලනඥයින්, පොලිසිය සහ විවිධ අංශවල අය වගේ අය. එයාලා මේකට සම්බන්ධ කොහොමද කියලා හොයන්න ඕනේ. එයාලා මේකට වගවීමක් තියෙන්න ඕන.

ඒ වගේම මිය ගිය අයගේ පවුල්වලට, වින්දිතයයන්ට සාධාරණ වන්දියක් ලැබෙන්න ඕනේ. මේක යම්තාක් දුරට වෙලා තියෙනවා. උදාහරණයක් වශයෙන් සමහර පල්ලිවල ගොඩනැගිලි හදලා තියනවා. මාධ්‍යවලින් දැනගන්න ලැබුණ විදියට ඒවට⁣ එක එක අය ලොකු සහයෝගයක් දීලා තියෙනවා. ඒ වගේම පසුගිය රජය ද ගිය අවුරුද්දේ සහය දීලා තිබ්බා. මමත් ඒ පල්ලිවලට ගිහින් තියෙනවා. ඒවගෙත් බලපුවාම මඩකලපුවට ලැබිලා තියෙන සහය අඩුයි මීගමුව කොච්චිකඩේ පල්ලිවලට ලැබිල තියෙන සහය එක්ක බලද්දි. ඡායාරූප බලද්දිත් ඒක පේනවා. ගොඩනැගිලිවල තියෙන තත්ත්වය අනුව.

මීට අමතරව මම දැක්කා  කොළඹ මැල්කම් කාදිනල්තුමා සුබවාදී දෙයක් කරලා තියෙනවා. රජයේ වන්දිවලට අමතරව තුවාල වෙච්ච අයට, මිය ගිය අයගේ පවුල්වලට මූල්‍ය පහසුකම් සහ අධ්‍යාපනය වැනි අනෙක් පහසුකම් සලසන්න නායකත්වය දීලා තියෙනවා.ඒක මම හිතන්නේ හොඳ ප්‍රවණතාවයක්. මේක ආදර්ශයට ගන්න පුලුවන් කාරණයක්.

මේක පළවෙනි පාර නෙමෙයි ලංකාවේ පල්ලියකට ප්‍රහාරයක් එල්ල වුණ. උදාහරණයක් වශයෙන් යාපනය නවාලි පල්ලියකට 1995දී ප්‍රහාරයක් එල්ල වෙලා 100කට අධික ප්‍රමාණයක් මැරුණා අවුරුදු 25කට කළින්. ඒ පහරදීමේදී සමහර වින්දිතයයන් මම අදුරනවා. පාස්කු ප්‍රහාරයේ වින්දිතයයන්ට ලැබුණ වගේ වන්දි ඒ ප්‍රහාරයේ වින්දිතයයන්ට ලැබිලා නෑ. එයාලත් ලංකාවේ පුරවැසියෝ. ඒ හා සංසන්දනාත්මකව බලද්දි මේකේ මැදිහත්වීම හොඳයි.ඒකට කතෝලික සභාවෙන් සැලකිය යුතු වැඩකටයුත්තක් වෙලා තියෙනවා.

ප්‍රශ්නය- මානව හිමිකම් සංවිධාන ඇතුළු සිවිල් සංවිධානවලට දැන් ඇති අභියෝග මොනවාද?

පිළිතුර- අභියෝග අද ඊයේ ඉඳන් තිබ්බ එකක් නෙමෙයි. ගොඩ කාලයක් තිස්සේ ආව අභියෝගම තමයි අදත් තියෙන්නේ. උදාහරණයක් විදියට අවුරුදු ගණනාවක් තිස්සේ අතුරුදහන් වූවන්ගේ පවුල්වල අය යුක්තිය හානිපූර්ණය වෙනුවෙන් අරගල කරගෙන ගියා. එම සංවිධානවල වැඩකටයුකු යම් ප්‍රගතියක් තිබ්බා. ඒවාගේ ගොඩක් කරුණු එළි වුණාට පස්සේ නීතිපති දෙපාර්තමේන්තුවෙන් නඩු පවරලා තිබ්බා. ඒවා යම් තත්ත්වයකට ඇව්ල්ලා තිබුණා. පසුගිය පෙබරවාරි මාර්තු වෙද්දි ඒ තත්ත්වය තමයි තිබ්බේ. එතනදී හුඟක් අභියෝගාත්ම දේවල් දෙකක් වුණා.එකක් තමයි අලුත් ජනාධිපතිවරයෙක් පත්වීම. එතකොට වින්දිතයන්ගේ පවුල්වලට සැකයක් ඇති වුණා අපේ කටයුතුවලට ඉස්සරහට කරගෙන යන්න පුළුවන් වෙයිද කියලා. අනෙක තමයි කොරෝනා වෛරස වසංගතය. එතනදීත් ඒ සැකේ මතු වුණා. මානව හිමිකම් ක්‍රියාධරයන්ට, ප්‍රගතිශීලී කණ්ඩායම්වලට, මාධ්‍යවලට තියෙන අභියෝගය තමා මේවා ඉස්සරහට අරගෙන යන එක.

ශ්‍රී ලංකාවේ අතුරුදහන් වූවන්ට කොරෝනා අභියෝගයෙන් සහ පාර්ලිමේන්තු මැතිවරණයෙන් පස්සේ  යුක්තිය සහ හානිපූර්ණය ලබාගැනීමේ අරගලය ඉස්සරහට අරගෙන යාමට සහයෝගය ලබාදෙන එක තියෙන ලොකු අභියෝගයක්. ලංකාවේ වින්දිතයයන් අවුරුදු ගණනක් තිස්සේ විශාල කාර්යභාරයක් ඉටු කරලා තියෙනවා.කොළඹත් එහෙමයි උතුරු නැගෙනහිරත් එහෙමයි වෙනත් පැතිවලත් එහෙමයි. 

නව ප්‍රවණතාවක් තමයි හමුදාවේ මැදිහත්වීම. ඒකත් අභියෝගයක් සිවිල් සංවිධානවලට.කොහොමද මේ හමුදාවේ මැදිහත්වීම සීමාවට එහා යාම වළක්වගන්නේ කියන එක තවත් අභියෝගයක්.

තවත් දෙයක් තමයි පසුගිය කාලයේදී විසම්මුතියට එරෙහිව මර්දනයක් එනවා.සාමකාමී නිරෝධායන නීති අනුකුලව තිබ්බ උද්ඝෝෂණයකට පොලිසිය ඇවිත් උද්ඝෝෂකයින්ව අත්අඩංගුවට ගත්තා. උද්ඝෝෂණය නොකළ අයත් අමානුෂික ලෙස අත්අඩංගුවට ගත්තා. නීතිඥවරියක් අත්අඩංගුවට අරගෙන තිබ්බා එතන හිටිය අය අත්අඩංගුවට ගන්න හේතුව අහන්න ගිහින්. තවත් නීතිඥවරියකට තර්ජන ඇවිත් තිබ්බා. විවිධ වෘත්තිකයන්ට, ජනමාධ්‍යවේදීන් නීතිඥයින්ටත් ඇතැම් රාජ්‍ය නිලධාරීන්ටත් තර්ජන වෙනවා කියලා මාධ්‍යවලින් දැනගන්න ලැබෙනවා.විසම්මුතියට එරෙහි මේ අභියෝගවලට මුහුණ දෙන එක  අභියෝගයක්.

ප්‍රශ්නය- සිවිල් සංවිධානය තමන්ගේ වගකීම හරියට ඉෂ්ඨ කරනවා කියලා ඔබ විශ්වාස කරනවද?

පිළිතුර-  100%ක් ඒක වෙනවා කියලා කියන්නේ නෑ.ස්වයං විවේචනාත්මකව බලන එක සුදුසුයි. මම කිව්ව සමහර කාරණාවලදී මම හිතන්නෑ සමහර වින්දිතයයන්ට යුක්තිය ලබාගැනීමට කරන සමහර අරගලවලට සිවිල් සංවිධාන දීලා තියෙන සහයෝගය මදි. ඊට වඩා සහයක් ලබාදෙන්න ඕන.බලපෑම් කරන්න ඕනේ.සංකේතාත්මකව වෙන්න පුළුවන්.විවිධ ක්‍රමවලින් වෙන්න පුළුවන්.නමුත් ඒ වෙන ප්‍රමාණය මදි.

අනික් කාරණය තමයි සමහර සිවිල් නියෝජිතයෝ සමහර අවස්ථාවලදී යම් යම් පක්ෂවලට සහය දෙනවා. මානව හිමිකම් ක්‍රියාකාරකයෝ විදියට යම් කිසි ස්වාධීනත්වයකුත් තිබිය යුතුයි. හැමදෙනාම සමාන වෙන්න ඕනේ.කුමන දේශපාලන පක්ෂයක කෙනෙකුගේ වුණත් කුමන නිලධාරීයකු අතින් වුණත් මානව හිමිකම් උල්ලංඝණයක් සිදු වුණොත් ඒකට විරුද්ධව නැගී සිටින්න ඕනේ. ඒක සැහීමට පත් වෙන්න පුළුවන් විදියට වෙලා නෑ.

Share